Main Logo

Thursday, 25 April 2019

ඒ සරත් මේ සරත් හා අනෙක් සරත්


ඒ සරත් මේ සරත් හා අනෙක් සරත් 

ඊයේ සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී හොඳ කතාවක් කළා. ඔහු ද වෙනත් බොහෝ අය මෙන් ම වෛරී දේශපාලනයේ ගොදුරක්. ඔහු සුදු කොඩි කතාව කෙළේත් වෛරී දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස. මා ඒ කතාවට සම්පූර්ණයෙන් ම විරුද්ධයි. එය රට පාවාදීමක් වුණා. ඔහු අත්අඩංගුවට ගත යුතු යැයි මුලින් ම කී අයකු වූයේ මා. එහෙත් ඔහු කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී කළ කාර්යභාරය කිසිවකුට අමතක කරන්න බැහැ. අප රටේ එක් ලක්‍ෂණයක් වී ඇත්තේ යමකු කොතරම් ගුණ කළත් එක වරදකින් පමණක් ඒ සියල්ල අමතක කිරීමයි. ඇතැම් විට වරදක් කිරීමත් අවශ්‍ය නැහැ. තමන් දරණ මතයට විරුද්ධ මතයක් ප්‍රකාශ කළ පමණින් ඒ කළ හොඳ සියල්ල අමතක කරනවා. 




සරත් ෆොන්සේකා පමණක් නොවෙයි එ ජා පාක්‍ෂිකයන් ද රටට ද්‍රෝහීන් කියා මා කියන්නේ නැහැ. ඇතැමුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දාසයන්. ඔවුන්ට ලැබුණු පවුල් පසුබිමෙන් අධ්‍යාපනයෙන් ආදියෙන් ඔවුන් රටට යහපතක් කරනවා කියන්නේ බටහිර අනුව වැඩ කිරීමටයි. අප සියලු දෙනා ම පාහේ අද සිංගප්පූරුවක් වීමට කතා කරන්නේ අප ඒ ඊනියා දියුණුව එක ම දියුණුව ලෙස සලකන නිසයි. එසේ සිතීමට අප පුරුදු කෙරී තිබෙනවා. 



එකල බොහෝ හාමුදුරුවරුන් ඩී එස් සේනානායකට පක්‍ෂපාති වුණා. ඒ ඔහු අපට නිදහස ලබා දීමේ මූලිකයා වීය යන පදනමින්. ඔහු රටට අහිතවත් අයකු යැයි මා සිතන්නේ නැහැ. ඔහු රටට හිතවත් වූයේ ඉංගිරිසින් ඔහුට පුරුදු කර තිබූ ආකාරයට. ඔහු එකල සිටි අනෙක් බොහෝ නායකයන් මෙන් ම පෙත්සම් මගින් යම් නිදහසක් ලබා ගැනීමට උත්සාහ කළ අයෙක්. ඔහුගේ නිදහස ඩොමීනියන් තත්වයෙන් එහාට ගියේ නැහැ. ඔහුට ඉන්දියාවට වඩා ඉංගිරිසින් විශ්වාසවන්ත වුණා. ඔහු කටුනායක හා ත්‍රිකුණාමලේ කඳවුරු ඉංගිරිසින්ට ම භාර දුන්නා. ඒ ඉන්දියාවෙන් ආරක්‍ෂා වීමට.



වාමාංශිකයන් රටට හිතවත් වූයේ ඔවුන්ට මාක්ස්වාදයෙන් උගන්වා තිබූ ආකාරයට. රටේ බොහෝ දෙනා ඔවුන්ට විරුද්ධ වුණා. හාමුදුරුවරුන් කිහිප නමක් හැරෙන්න ඔවුන්ට කැමති වුණේ නැහැ. එහෙත් ඔවුන් රටට ද්‍රෝහි වුණේ නැහැ. මාත් කලක් වාමාංශිකයකු වුණා. මාක්ස්වාදයට අනුව දෙමළ ජාතිවාදය විමුක්තිවාදයක් ලෙස සැලකුවා. මා ජාතිකවාදයට පැමිණියේ අවුරුදු විස්සක් පමණ වාමාංශික දේශපාලනයේ නිරත වීමෙන් පසුව. ඒ දැනට අවුරුදු තිස්පහකට පමණ පෙර.



එහෙත් මේ රටට ද්‍රෝහි පිරිසක් ඉන්නවා. ඒ සිවල් සාමාජිකයන්ගෙන් හා පඬියන්ගෙන් කොටසක්. ඔවුන් නොයෙකුත් හේතූන් නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධයි. පඬියන් හා සිවල් සාමාජිකයන් අතර ක්‍රිස්තියානි කතෝලික හින්දු අය ඉන්නවා. මට ඔවුන් තේරුම් ගත හැකියි. ඔවුන්ට යම් යම් ආකාරවලින් උගන්වා තියෙනවා සිංහල බෞද්ධ සංස්කෘතිය අධිපතිවාදී කියා. මා ද්‍රෝහීන් ලෙස හඳුන්වන්නේ සිංහල බෞද්ධ පවුල්වල ඉපදිලා විවිධ හීනමාන නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වන අය.



ඔවුන් ඇතැම් විට යම් කුල පීඩනයක් නිසා හීනමානයෙන් පෙළෙන අය. සිංහල බෞද්ධ සංස්කෘතියේ දෙමළ හින්දු සංස්කෘතියේ තරමට දරුණු කුල පීඩනයක් නැහැ. එහෙත් මේ සිංහල බෞද්ධ පවුල්වල උපන් පඬියන් ඒ කුල පීඩනය නිසා හීනමානයක් ඇති කරගත් අය. ඇතැමුන්ට කුල පීඩනයක් නැති වුවත් පියා රෙද්ද බැනියම අඳින නිසා එහෙමත් නැත්නම් පියාට ඉංගිරිසියෙන් කතා කරන්න බැරි නිසා, ඉංගිරිසියෙන් ලියන්න බැරි නිසා, පියා සිංහල ගුරුවරයකු, වෙදමහතකු, සිංහල ජනමාධ්‍යවේදියකු වීම නිසා හීනමානයෙන් පෙළෙන අය. මේ අයට තමයි වැඩියෙන් ම සිංහල බෞද්ධ විරෝධයක් තියෙන්නෙ.



ඔවුන්ට තවමත් පාස්කු ඉරිදා ප්‍රහාරයට සිංහල බෞද්ධයනට වරද පැටවීමට ක්‍රමයක් හොයා ගැනීමට බැරිව තියෙනවා. ඔවුන් නිහඬ ඒ නිසා. එහෙත් අතනින් මෙතනින් පඬියන්ගේ, පඬි පෝතකයන්ගේ හා පඬි නැට්ටන්ගේ හීන් කෙඳිරියක් ඇහෙනවා. ඔවුන් බොහෝ විට කරන්නේ සිංහල බෞද්ධයන්ට අවවාද කරන එක. එහෙමත් නැත්නම් මුස්ලිම් අන්තවාදයට හේතුව සිංහල බෞද්ධයන්ගේ මුස්ලිම් විරෝධය බවට මතයක් ගොඩ නැගීමට කටයුතු කිරීම.

මුස්ලිම් අන්තවාදය හා ත්‍රස්තවාදය ඇති වුණේ ලංකාවේ නොවේ. සිරියාවේ හෝ වෙනත් රටක මුස්ලිම් ත්‍රස්තවාදය ඇති වුණේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව නො වෙයි. එහි මුල ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයයි. බටහිරයන් මුස්ලිම් ත්‍රස්තවාදය ඇති කෙළේ තම විරුද්ධවාදීන්ට පහර දීමට. අද වන විට මුස්ලිම් ත්‍රස්තවාදය තමන්ගේ ම මාවතකට එළඹිලා. එය අද ඒබ්‍රාහිමික ආගම් තුන, ක්‍රිස්තියානි, යුදෙව්, ඉස්ලාම් අතර ඇති ගැටුමේ තවත් අවස්ථාවක් බවට පත් වෙලා. මේ එක ම දෙවියන් අදහන ආගම්. ඊනියා සමස්තයක් ගැන කතා කළාට එක ම දෙවියන් බෙදා ගන්න හදනවා.



මෙරට දෙමළ ජාතිවදය හා මුස්ලිම් අන්තවාදය අතර වෙනසක් තියෙනවා. දෙමළ ජාතිවාදය බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව ඇති කරන ලද්දක්. වත්මන් මුස්ලිම් අන්තවාදය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට විරුද්ධව ඇති වූවක්. මුස්ලිම් අන්තවාදය පදනම් වන්නේ අනෙක් ආගම් වැරදිය කියන මතයේ පමණක් නොවයි. ඒ ආගම් නැති විය යුතු ය යන මතයේත්. මෙයින් කියන්නේ සියලු මුස්ලිමුන් එසේ හිතන බව නො වෙයි. මුස්ලිම් අන්තවාදීන් පදනම් වන මතය. ක්‍රිස්තියානි නූතනත්වයෙ අන්තවාදය ඇති වුණෙත් මේ මතයෙ. යටත්විජිතවාදීන් අපේ රටවලට ඇවිත් ක්‍රියා කෙළෙ ඒ මතයෙ ඉඳගෙන. ඔවුන් එදා යොදාගත් ක්‍රම හා අද මුස්ලිම් අන්තවාදීන් යොදා ගන්නා ක්‍රම අතරෙ වැදගත් වෙනසක් නැහැ. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය එදාට වඩා බොහෝ සියුම්. ඔවුන් අපේ සංස්කෘතීන් ඝාතනය කරන ආකාරය අපට පේන්නෙවත් නැහැ. අද ලොවේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයක් තියෙන බවවත් අප බොහෝ දෙනකුට තේරෙන්නේ නැහැ. අධ්‍යාපනය හා ජනමාධ්‍යය විසින් ඒ ආධිපත්‍යය අපෙන් වසෙන් කෙරෙනවා.



ලංකාවේ මුස්ලිම් අන්තවාදය හා මුස්ලිම් ජාතිවාදය (එය ජාතියක් නොවන බව මා දන්නවා. එහෙත් ජාතිවාදය කියන වචනය යොදා ගන්නවා.) ඇති වුණේ සිංහල බෞද්ධයන්ට විරුද්ධව නො වෙයි. එය ජාත්‍යන්තර ජාතිවාදයක හා අන්තවාදයක කොටසක්. අන්තවාදී මුස්ලිමුන්ගේ සමස්තය කියන්නෙ ලෝකයේ ම මුස්ලිම් සමස්තයට. අන්තවාදය සමස්තයක්. එය ගලා එන්නේ මුස්ලිම් සහෝදරත්වය වැනි සංකල්පවලින්. ලංකාවෙ මුස්ලිම් ජාතිවාදය ජාත්‍යන්තරවාදයක්. එය දෙමළ ජාතිවාදයෙන් වෙනස් වන්නේ එබැවිනුයි. ජාතිවාදය ජාත්‍යන්තරවාදයක් කියන එකේ පරස්පරයක්, විසංවාදයක් නැහැ. මුස්ලිම් අන්තවාදීන් තමන් ලෝකයේ ම එක ම පිරිසක් ලෙස  සලකනවා.



සිංහල බෞද්ධයන් ප්‍රතිචාර දක්වන්නේ මේ අන්තවාදයටයි. ඒ මිස සිංහල බෞද්ධ අධිපතිවාදයකට එරෙහිව මුස්ලිම් ජාතිවාදයක් අන්තවාදයක් ත්‍රස්තවාදයක් ඇති වුණා නො වෙයි. මුස්ලිම් අන්තවාදයට මෙරට ධනවත් මුස්ලිමුන් කිහිප දෙනකු ම දායක වන බව පැහැදිලියි. ඔවුන් බේරා ගැනීමට අසාද් සාලි, මුජිබර් රහමන්, රිෂාඩ් බද්‍යුද්දීන් වැනි දේශපාලනඥයන් ක්‍රියා කර  ඇති බවත් පැහැදිලියි. ඔවුන්ගෙන් ප්‍රශ්න නොකරන්නේ සිංහල බෞද්ධ නායකත්වය නිවට නිසයි.



මේ නිවටයන් රණවිරුවන් අත්අඩංගුවට ගත්තා. බුද්ධි අංශය දුර්වල කළා. අවසානයේ දී ඉන්දියාවෙන් ලැබුණු තොරතුරුවත් රටේ ආරක්‍ෂාවට යොදා ගත්තේ නැහැ. සරත් ෆොන්සේකා මේ සම්බන්ධ වැදගත් හෙළිදරවුවක් කළා. බුද්ධි අංශ ප්‍රධානියා තොරතුරු යවන්න ඕනෙ ආරක්‍ෂක ලේකම්ට හා ආරක්‍ෂක ඇමතිට. එය පොලිස්පතිට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් යවනවා ඇති. ආරක්‍ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක වී ඇත්තේ ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සැපයීමට පමණයි.



කතෝලික පල්ලි ආරක්‍ෂා කිරීමට ඔවුන් ක්‍රියාත්මක වී නැහැ. ලංකාවේ සියලු පල්ලිවලට ආරක්‍ෂාව දෙන්න බැහැ. අප එය පිළිගන්නවා. එහෙත් ආරක්‍ෂක අමාත්‍යාංශය අඩු තරමෙන් කාදිනල්තුමාට ඒ බව දැන්නුවා නම් විශාල ඝාතනයක් වළක්වන්න තිබුණා. මෙයට ආරක්‍ෂක ලේකම් වග කියන්න ඕන. ඔහු අද ඉවත් කෙරිලා. එහෙත් ජනාධිපතිත් ආරක්‍ෂක ඇමති ලෙස එයට වග කියන්න ඕන. එපමණක් නො වෙයි. සමස්ත කැබිනට් මණ්ඩලය ම වග කියන්න ඕන. ආරක්‍ෂක මණ්ඩලයට අගමැති කැඳෙවුවෙ නැත්තෙ මේ ආණ්ඩු දෙකේ ප්‍රශ්නය නිසා. අගමැති ඒ බව කලින් ම දැනුම් දෙන්න තිබුණ. දැන් ඔක්තෝම්බර් විසිහය ගැන කතා කරල වැඩක් නැහැ. සරත් ෆොන්සේකත් ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුවට විරුද්ධ වූ බව පමණක් සඳහන් කරනවා.



මුස්ලිම් අන්තවාදීන් මේ ප්‍රහාරයට ලංකාව තෝරාගැනීමට හේතු දෙකක් ඇති බවයි මට වැටහෙන්නෙ. එකක් මෙරට බුද්ධි අංශය දුර්වල කර තිබීම, අනෙක රනිල්ගෙ ආණ්ඩුව බටහිර ගැති වීම. මුස්ලිම් අන්තවාදීන් අද ක්‍රියා කරන්නේ බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයට විරුද්ධව. (ඔවුන් ඒ වචනවලින් ම එය කියනවා කියා මා කියන්නේ නැහැ). එහි දී ලංකාවත් සැලකෙන්නෙ බටහිර ගැති රටක් ලෙස. එමෙන් ම දුර්වල රටක් ලෙස. අප ඊනියා ජාත්‍යන්තරය දිනාගත්තා කියා පහුගිය කාලයෙ මොර දී ඇත්තේ මේ බටහිර ගැති බව ප්‍රදර්ශනය කිරීමටයි. මුස්ලිම් අන්තවාදීන් ඔවුන් සිතන විධියට බටහිර දම්වලේ දුර්වල ම පුරුකක් තෝරා ගෙන තියෙනවා.