Main Logo

Sunday 7 April 2019

මහින්දගෙ ප්‍රකාශය

මහින්දගෙ ප්‍රකාශය

ඇතැමුන් තමන් මහින්දවාදීන් කියා කිවුවත් ඔවුන් මහින්ද කියන දෙයක් විශ්වාස නොකරන බව පැහැදිලියි. අයවැයට ඡන්දය දීම ගැන ශ්‍රී ල නි පක්‍ෂයේ එහෙත් ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායමේ නොවන මන්ත්‍රීවරුන් තුන් ආකාරයකට කටයුතු කර තිබෙනවා. කිහිප දෙනෙකු අයවැයට පක්‍ෂව ඡන්දය දීලා. දුම්න්ද දිසානායක, අප්පච්චි මළෝ වැනි අය අද එ  ජා පාක්‍ෂිකයන් ලෙසයි කටයුතු කරන්නෙ. ඔවුන් ඒ පක්‍ෂයේ සාමාජිකත්වය අරගෙන නැතිව ඇති. ඒත් මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වෙනව නම් ඒ එ ජා පක්‍ෂයෙන්. 


එස් බී වැනි කිහිප දෙනකු අයවැයට විරුද්ධ වෙලා. ඔවුන් තමයි මුල සිට ම වගේ ඔක්තෝම්බර් විසිහය සඳහා කටයුතු කෙළේ. ඔවුන් බොහෝ දෙනා ජාතිකවාදීන් නො වෙයි. ඔක්තෝම්බර් විසිහයට මුල් වූ අයගෙන් වැඩි දෙනා වාම කේන්ද්‍රියවාදීන්. කණගාටුවෙන් වුවත් කිව යුත්තේ ජාතිකවාදීන් බොහෝ දෙනකුට මහින්ද මෛත්‍රිපාලට ශක්තිය දිය යුතු ය  කියන එක තේරුණෙ නැහැ.  ඒ ඔවුන්ගේ වෛරය නිසා. ඔවුන් ස්මාර්ට් ජාතිකවාදීන් සමග එකතු වෙලා මට අවලාද නැගුවා, අපහාස කළා, පරිභව කළා.  

ශ්‍රී ල නි පක්‍ෂයේ  තවත් කිහිප දෙනකු අයවැයට ඡන්දය දීමෙන් වැළකිලා. ඒ අතර මහින්ද අමරවීර ප්‍රධානයි. ඔවුන් මෛත්‍රිපාලගෙ ස්ථාවරය අනුව කටයුතු කළ අය. මෛත්‍රිපාල ජනාධිපති නිසා ආණ්ඩුවේ ප්‍රධානියා නිසා අයවැයට විරුද්ධ ව ඡන්දය දීම නුසුදුසු යැයි ඔවුන් කල්පනා කර තියෙන බව පැහැදිලියි. මා මුල සිට ම කියා සිටි කරුණ, එනම් දැන් ආණ්ඩු දෙකක් තිබෙන බව ඔවුන් ප්‍රතික්‍ෂෙප කර තියෙනවා. නෛතික වශයෙන් තියෙන්නේ එක් ආණ්ඩුවක් පමණයි. එහෙත් ප්‍රායෝගික ව ආණ්ඩු දෙකක් තියෙන බව තේරුම් ගැනීම තරමක් අපහසු වෙන්න පුළුවන්. දේශපාලන විද්‍යා පොත්වල ආණ්ඩු දෙකක් ගැන කියැවෙන්නේ නැහැ. 

මෛත්‍රිපාලට හා ඡන්දය දීමෙන් වැළකී සිටි අයට අපේ කඳවුරෙ ඡන්ද තිබෙන බවත් ඒ ඡන්ද ලබාගත හැකි හා යුතු බවත් ඇතැම් මහින්දවාදීන්ට තේරෙන්නේ නැහැ. එහෙත් මහින්දට ඒ බව තේරෙනවා. ලංකා සී නිවුස් හි පළ වී තිබුණු මහින්දගේ පහත සඳහන් ප්‍රකාශය නිවැරදි ය කියා මා හිතනවා. මහින්ද කියන්නේ කුමක් ද?

“මෙම අයවැය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටියේ ජනාධිපතිවරයා ගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව නිසා විය හැකි බව විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අවසන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුවේ නිසා ඔහු ද අද සිදුවන දේවල් වලට වගකිවයුතු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

‘සන්ධාන ආණ්ඩුව මෙහෙම ඇදීගෙන යයි. මැතිවරණයක් ආවම විසී වෙලා යයි’ ද පැවසූ ඔහු ශ‍්‍රීලනිප පොහොට්ටු සාකච්ඡා අවසන් නැති බවත් ඉදිරියේ දී සියලු දෙනාම එක්ව සටනට බහින බවත් වැඩිදුරටත් පැවසීය.”

මහින්ද කියන දේ පැහැදිලියි. ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමුන් අයවැයට විරුද්ධ ව ඡන්දය නුදුන්නේ ඇයි ද  යන්නට ඔහු පිළිතුරක් දෙනවා. ඔහු ඇතැම් මහින්දවාදීන් මෙන් මෛත්‍රිපාල අත්හැර දැමිය යුතු යැයි කියන්නේ නැහැ. ඔහු ජනාධිපති ආණ්ඩුවේ වැඩවලට වග කිව යුතු බව ද පවසනවා. එහෙත් ඔහු කියනවා ශ්‍රී ල නි ප පොහොට්ටු සාකච්ඡා තවම අවසන් වී නැති බවත් ඉදිරියේ දී සියල්ලන් එකතුව සටන් වදින බවත් මැතිවරණයේ දී සංධාන ආණ්ඩුව විසි වෙලා යන බවත්.

මහින්ද සංධාන ආණ්ඩුව කියන්නෙ මෛත්‍රිපාලගෙ ජනාධිපතිත්වයෙන් තියෙන ආණ්ඩුවට. මේ විසි වෙලා යනවා කියන එකට අර්ථ දෙකක් තියෙනවා, එකක් ආණ්ඩුව දෙකඩ වෙනවා කියන එක. ඒ කියන්නෙ මෛත්‍රිපාල ආණ්ඩුවෙන් වෙන් වෙන බව. අනෙක ආණ්ඩුව පරදින බව. එහෙත් ඒ අතර මහින්ද කියනවා සියලු දෙනා එක් ව සටන් වදින බවත්. වෙන කවුරු නොදැන සිටියත් මහින්ද දන්නවා මෛත්‍රිපාල කණ්ඩායමේ ඡන්ද නැතිව දිනන්න බැරි බව. කොහොමටත් මෛත්‍රිපාල, මහින්ද අමරවීර, එස් බී වැන්නන් ජාතිකවාදී/වාම කේන්ද්‍රවාදී කඳවුරේ අය.

අයවැයට ඡන්දය දීම හෝ නොදීම හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීම හෝ දහවැනි දාට නියමිත ශ්‍රී ල නි ප පොහොට්ටු සාකච්ඡාවලට ප්‍රශ්නයක් නොවිය යුතුයි. ඒත් මට සාකච්ඡා මෙහෙයවන ජී එල් පීරිස් ගැනවත් දයාසිරි ජයසේකර ගැනවත් එතරම් විශ්වාසයක් නැහැ. දයාසිරි කොළඹ විශ්වවිද්‍යාලෙ දි ජී එල්ගේ ශිෂ්‍යයෙක්. මගේ නම් ශිෂ්‍යයෙක් නො වෙයි. මට දැන් හිතෙන්නෙ මගේ ශිෂ්‍යයො කවුරුන්වත් නැහැ කියලා.

දයාසිරිවත් ජී එල්වත් සමගියක් වෙනුවෙන් වැඩ කරන අය නො වෙයි. දෙදෙනාගෙ ම ප්‍රකාශ සමගියට විරුද්ධවයි. මට ජී එල් ගැන කිසිම විශ්වාසයක් නැහැ. කවුරු මොනවා කිවුවත් මට මෛත්‍රිපාල ගැන තියෙන විශ්වාසයවත් ජී එල් ගැන නැහැ. ඔහු වාම කේන්ද්‍රියවාදියකුවත් ජාතිකවාදියකුවත් නො වෙයි. ඒ වගේ ම මුහුණු පොතේ කතාත් සමගියට විරුද්ධවයි. එහෙත් අපේ කඳවුරේ ඉන්න රටේ සාමාන්‍ය ජනයාට සමගියක් අවශ්‍යයි. හොඳ දේශපාලන ඉවක් ඇති මහින්දටත් සමගියක් අවශ්‍යයි. 

මුහුණු පොතේ අයට අනුව නම් මා මුග්ධයෙක්, කපටියෙක්, කොන්ත්‍රාත්කාරයෙක්. කොහොමටත් මා අසාර්ථක අයෙක්. ඒ නිසා මා කියන දෙය වැදගත් නොවන්න පුළුවන්. මට සවන් නොදුන්නත් මහින්දවාදීන් මහින්දට සවන් දෙනව නම් හොඳයි.