Main Logo

Friday 5 April 2019

ඛෙමාගේ කොලුවාගේ අයවැය


ඛෙමාගේ කොලුවාගේ අයවැය


අද උදේ දහයට ශ්‍රී ල නි පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අයවැය සම්බන්ධයෙන් කිනම් තීරණයක් ගනීවි දැයි  කියන්න බැහැ. මා නම් කැමති ඔවුන් අයවැයට විරුද්ධ වීමට තීරණයක් ගන්නවා දැකීමට. ඒත් ඔවුන් කිනම් තීරණයක් ගත්තත් ඔවුන් අපේ කඳවුරෙන් පන්නා දැමීමට මා කතා කරන්නේ නැහැ. ඔවුන් කඳවුරෙන් ඉවත් වනු දැකීමට මා අකමැතියි. ඒ ඔවුන් නැතිව ජනාධිපතිවරණය දිනන්න බැරි වීම නිසා ම නො වෙයි. ඔවුන් සිටිය යුත්තේ අපේ කඳවුරේ. මෛත්‍රිපාල එ ජා ප විරෝධි කඳවුරේ අයෙක්. ඔහු වරදක් කළ බව සැබෑවක්. ඒත් එය ඔහු අතින් පමණක් සිදු වූ දෙයක් නො වෙයි. එයට වරදකරුවන් කවුද කියා මා දැන් කතා කරන්නේ නැහැ. ඒත් කඳවුරේ සමගිය හා ශක්තිය වෙනුවෙන්.




සිංහලයන් බොහෝ විට කැමති පුද්ගලයන්ට පක්‍ෂයට මිස රටට ජාතියට නො වෙයි. මට කැමති ටික දෙනකුත් තවමත් රටේ ඉන්නවා. දේවදත්තට කැමති භික්‍ෂූන් වහන්සේ බුදුහාමුදුරුවො වැඩ ඉන්න කාලෙත් හිටියා. මට කැමති කිහිප දෙනා මගේ වරදක් නොදකිනවා වෙන්න පුළුවන්. ඒත් මගේ වැරදි ගැන වැඩියෙන් ම දන්නේ මා මිස වෙන කවුරුන්වත් නො වෙයි. මට කැමති ව සිටි කිහිප දෙනා අතරින් අති විශාල බහුතරය (ජනගහණයෙන් නොගිණිය හැකි පිරිසක්) සයිටම් ප්‍රශ්නයේ දී මට විරුද්ධ වුණා. ඒ පෞද්ගලික අධ්‍යාපනය ගැන ඔවුන් දැරූ මතය ඔවුන් මගේ නිවැරදිබව ගැන දැක් වූ මතය ඉක්මවා ගිය අවස්ථාවක. එය හැඟීම මත මිස තර්කය මත සිදු වූවක් නො වෙයි. ඉතිරි ව සිටි කිහිප දෙනාගෙන් ද අති මහත් බහුතරය සිරිසේන සම්බන්ධයෙන් මා දැරූ මතයට විරුද්ධ වුණා. ඒත් හැඟීම මත. ඔවුන් මට සිරිජාතිකවාදියා කියන්න පටන් ගත්තා. මා ඉන්පසු කිසිවක් නොදත් නාකි මැන්ටලයක් බවට පත් වුණා. නාථ දෙවියන් ගැන මා කී දේත් මැන්ටලයේ අගය තවත් අඩු කළා.  



ශ්‍රී ල නි පක්‍ෂය තේරුම් ගත යුතු කරුණ තමයි අයවැයට විරුද්ධ ව ඡන්දය දීම ජනාධිපතිට විරුද්ධ ව ඡන්දය දීමක් නොවන බව. මේ වන විට මෙරට ආණ්ඩු දෙකක් තියෙනවා. එකක් රනිල්ගේ ආණ්ඩුව, අනෙක මෛත්‍රිපාලගේ ආණ්ඩුව. අයවැය පොදුවේ ගත්ත ම රනිල්ගේ ආණ්ඩුවේ අයවැයක්. එහි ජනාධිපති වැය ශීර්ෂත් තියෙනවා. ඒවා සම්මත වී අවසන්. පොදු අයවැයට විරුද්ධ වීමට ජනාධිපති වැය ශීර්ෂ බාධාවක් නොවන බව මා ඊයේ ලිපියෙන් පැහැදිලි කළා.



අයවැයට විරුද්ධ වීමෙන් රනිල්ගේ ආණ්ඩුව පරාජය කරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. දෙමළ ජාතික සංධානය ආණ්ඩුව රකීවි. ජ වි පෙරමුණ මහජන බලපෑම නිසා අයවැයට ඡන්දය දේවි. මෙහි දී වැදගත් වන්නේ රනිල්ගේ ආණ්ඩුව  පරාජය කරන එක නො වෙයි. 

අයවැය පැරදුණත් ජනාධිපති නීතිඥයන්ගේ තර්කවලින් නම් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. ගියවර එය ඔප්පු වුණා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න වෙන තර්ක උපයෝගී කරගන්න පුළුවන්. ඒත් උගත් ජනාධිපති නීතිඥයන් ඒ තර්ක පිළිගන්නේ නැහැ.



අයවැය පරාද වුණොත් ජනාධිපතිට රනිල් ඉවත් කර වෙනත් අගමැති කෙනකු පත් කරන්න පුළුවන්. ඒත් අපේ කඳවුරේ අය අපෙන් කවුරු හරි අගමැති ලෙස පත් කරනවාට විරුද්ධ  වේවි. ඒ නිසා ඒ ගැන කතා කරල වැඩක් නැහැ. ශී ල නි ප අයවැයට විරුද්ධ විය යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමවත් වෙනත් අගමැති කෙනකු පත් කිරීමවත් ප්‍රධාන කාරණය කර ගෙන නොව කඳවුර තව තවත් ශක්තිමත් කිරීම සඳහායි.



මේ අයවැය රනිල්ගේ ආණ්ඩුවේ මුදල් ඇමති මෙන් ම නිල නොවන විදේශ ඇමති ද වූ මංගල ඉදිරිපත් කරන ලද අයවැයක්. මා මංගල  දන්නේ අවුරුදු විසිහතකට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ සිසුන් පිරිසකගේ උපවාසය දැක බලා ගැනීමට ඔහු පැමිණි දවසේ සිට. එකල ඔහු වැලේ වැල් නැතිව සිටි ශ්‍රී ල නි පාක්‍ෂිකයෙක්. එකල උපකුලපති ජී එල් පිරිස් ප්‍රේමදාසට සේවය කළා. මංගල එකලත් සිංහල බෞද්ධ මතයට විරුද්ධයි. චන්ද්‍රිකාගමනයෙන් පසු ඔහු චන්ද්‍රිකාවාදියෙක් වුණා. ජී එලුත් චන්ද්‍රිකාවාදියෙක් වුණා. අද නැවතත් ජී එල් හා මංගල දෘශ්‍යමාන ලෙස විරුද්ධ පැතිවල.



මංගල පසුගිය දා තිලක් මාරපන මහතා විවේචනය කර තිබුණා. ඒ ජෙනීවාහි දී තිලක් මාරපන මහතා කටයුතු කළ ආකාරය ගැන. ඉතා පැහැදිලි ව අද ආණ්ඩු දෙකක් තියෙනවා. මංගල රනිල්ගේ ආණ්ඩුවේ මුදල් ඇමති මෙන් ම නිල නොවන  විදේශ ඇමති. මනෝ තිත්තවැල්ල ජෙනීවාහි ලංකා නියෝජිතයාට මෙවර යෝජනාවට සම අනුග්‍රහ දක්වන ලෙස උපදෙස් දී ඇත්තේ මුදල් අමාත්‍යංශයේ සිට යවන ලද විද්‍යුත් ලිපියකින්. මාරපන මහතා මෛත්‍රිපාලගේ ආණ්ඩුවේ විදේශ ඇමතිත් නො වෙයි. ඔහු ආණ්ඩු දෙකක් මැද හිර වූ අයෙක්.



කෙසේ වෙතත් ජෙනීවාහි මානව අයිතිවාසිකම් අයිතිකාරිය මෛත්‍රිපාල ආණ්ඩුවෙන් විමසා තියෙනවා 2015 ජෙනීවා යෝජනා ක්‍රියාත්මක නොකරන්නේ නම් විකල්ප ක්‍රියා මාර්ගය කුමක් ද කියා. මෛත්‍රිපාල ඇයට දිය යුත්තේ එක් පිළිතුරක් පමණයි. තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියා පමණයි. ඉංගිරිසියෙන් නම් mind your own business  කියායි.



මා මේ කරුණ සඳහන් කෙළේ අද ආණ්ඩු දෙකේ කතාව ජෙනීවා දක්වා ගොස් ඇති බව කීමටයි. එය තවදුරටත් හංගන්න බැහැ. ශ්‍රී ල නි පක්‍ෂ සභාපති රනිල්ගේ ආණ්ඩුවේ නො වෙයි. ඔහු වෙන ම ආණ්ඩුවක. ඔහු ඉන්නේ විපක්‍ෂයේ. ශ්‍රී ල නි පක්‍ෂයට එස්මන්ඩ්ගේ කොලුවාගේ මුදල් ඇමති හා නිල නොවන විදේශ ඇමති ඛෙමාගේ කොලුවාගේ අයවැයට විරුද්ධ වන්න බැරි කමක් නැහැ.