Main Logo

Monday 8 April 2019

මානව අයිතිවාසිකම්, රාජ්‍ය අයිතිවාසිකම් හා වීසා

මානව අයිතිවාසිකම්, රාජ්‍ය අයිතිවාසිකම් හා වීසා

කලකට පෙර පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ ජාතික හිමිකම් සුරූකීමේ සංවිධානය නමින් එකමුතුවක් සෑදුවා. එහෙත් එයට ජනමාධ්‍යයෙන් කිසිම ප්‍රචාරයක් ලැබුණේ නැහැ. උන්වහන්සේ ජනමාධ්‍යවේදීන්ගේ වීරයෙකු නො වෙයි. ජනමාධ්‍යවේදීන්ගේ වීරයකු සුරතලකු වෙන එක ලෙහෙසු පහසු කටයුත්තක් නො වෙයි. උන්වහන්සේට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ ජනමාධ්‍යවලට ආකර්ෂණයක් ඇති සංවිධානයක මාධ්‍ය සාකච්ඡාවකට හරි රැස්වීමකට හරි සහභාගි වුණොත් පමණයි. ඒ කොහොම වුණත් රාජ්‍ය අයිතිවාසිකම් බටහිරයන්ගෙන් ආරක්‍ෂා කර ගන්න අප කටයුතු කරන්න ඕන. බටහිරයන් අපේ රාජ්‍ය අයිතිවාසිකම්, ස්වෛරීභාවය, නැති කරන්නෙ ඊනියා මානව අයිතිවාසිකම් සංකල්පය ඔවුන්ට ඕන විධියට යොදා ගනිමින්. 


මා මේ ලිපිය ලියන්නේ ඊනියා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මෙරට සිදු වී යැයි කියන වධ හිංසා සෙවීමේ අනුකමිටුවක නියෝජිතයන් මෙරටට එවා ඇති බවට පළ වී ඇති පුවත්පත් වාර්තා නිසා.  ප්‍රශ්නය වන්නේ මේ නියෝජිතයන්ට වීසා ලබා දුන්නේ ඇයි ද යන්න ය. එයට පිළිතුර පැහැදිලියි. බටහිරයන් හා ඉන්දියාව රනිල්ගේ ආණ්ඩුව පත් කර ගත්තේ ම දෙමළ ජාතිවාදයට කප්පන් දීමටත් මහින්දට ගෝඨාභයට හා රණවිරුවන්ට දඬුවම් කිරීමටත්. රනිල් යනු දෙවැනි දොන් ජුවන් ධර්මපාලයි. අප අද එක් එක් ප්‍රශ්නය වෙන වෙන ම ගෙන කතා කරනවා. එහෙත් පොදුවේ ප්‍රශ්නය ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන නම් මට ඇත්තේ කණගාටුවක්. 

දෙමළ ජාතිවාදයේ ආරම්භය, බටහිරයන්ගේ මැදිහත් වීම, ඉන්දියාවේ ඕනෑ එපාකම්, බටහිර රාජ්‍යවල වක්‍ර හෝ සෘජු හෝ නියෝජිතයන් වන ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල කාර්යභාරය, ලෝකයේ ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය, ස්වෛරීභාවය හා මානව හිමිකම් ආදී සාධාරණ (පොදු) කරුණු ගැන අප කතා කරන්නේ ම නැති තරම්. දෙමළ ජාතිවාදය ආරම්භ වුණේ  සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් පසු යැයි කියන ජාතිකවාදීන් ද ඉන්නවා. අප ඒ ගැන ලජ්ජා විය යුතුයි.  අවුරුදු තිස්පහක් පමණ ලියා ඇති දෙයින් වැඩක් වී නැතැයි මට හැඟෙන්නේ එබැවිනුයි. 

රනිල් වැඩ බැරි ටාසන් කෙනකු බව බටහිරයන් නොදන්නවා විය නො හැකියි. එහෙත් බටහිරයන්ට ඔහුට වඩා කෙනකු හොයා ගන්නට බැහැ.  ඔහු අද යන ගී කියවමින් සිටිනවා. ඔහු පරාක්‍රමබාහුලා ගැන කියනවා. පරාක්‍රමබාහු රජු බදු පැණ වූ බව ද ඔහු කියා තියෙනවා. බදු පැණවීම එයටත් වඩා පැරණියි. මල නොතලා රොන් ගන්නා බමරකු මෙන් බදු පැණවීමක් ගැන අප අසා තියෙනවා. රනිල්ගේ ආණ්ඩුව බදු පනවන්නේ වැඩිහිටියන්ගේ පමණක් නොව දරුවන්ගේත් ගෙල මිරිකමින්. මා කල්පනා කරන්නේ රනිල් ඉතිහාසයට එකතු වන්නේ පළමුවැනි දොන් ජුවන් ධර්මපාලට පහළින් ද ඉහළින් ද යන්න පමණයි. ඉහළ පහළ තීරණය වන්නේ තමන් බලන ආකාරය අනුව බව මට අමතක වන්නේ නැහැ.


මානව හිමිකම් කතාවන්නේ රාජ්‍ය හිමිකම් සමගින්. රාජ්‍යයෙන් මිනිසුන් ආරක්‍ෂා කර ගන්නේ කෙසේ ද යන්න එහි ප්‍රධාන කරුණයි. රාජ්‍යයේ ප්‍රධාන කාර්යභාරය රාජ්‍යය ආරක්‍ෂා කිරීමයි. ආණ්ඩුව තමයි එහි දී මැදිහත් වන ප්‍රධාන ම උපකරණය. ආණ්ඩුව රාජ්‍යය ආරක්‍ෂා කළ යුතුයි. බටහිරයන්ගේ අනුග්‍රහයෙන් දෙමළ ජාතිවාදය රාජ්‍යයට ප්‍රහාරයක් දියත් කළ විට ආණ්ඩුව රාජ්‍යය ආරක්‍ෂා කර ගන්න ඕන. මහින්ද කෙළේ එයයි. එය කළ හැකි බව හා කළ යුතු බව අප කියන්න පටන් අරන් අවුරුදු තිහක් පමණ වෙනවා. ඒත් අනෙක් ආණ්ඩු කිසිවක් එයට සවන් දුන්නේ නැහැ. මහින්දත් සවන් දුන්නා ම නොවෙයි. 

මිනිසුන් රාජ්‍යයේ ආධිපත්‍යයෙන් ආරක්‍ෂා කර ගන්න ඕන. ඒත් මිනිසුන්ට තමන් කැමති දෙයක් කරන්න බැහැ. එක් පැත්තකින් මිනිසුන් සංස්කෘතියට (හැදිච්චකමට) ගරු කරන්න ඕන. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතික ආධිපත්‍යයෙන් කෙරෙන එක් කාර්යයක් තමයි අනෙක් සංස්කෘතීන් පාගා දැමීම. අප නූතනත්වයට යනවා කියන විට එහි අපේ සංස්කෘතියට විරුද්ධ වීමක් ද තියෙනවා. සදාචාරය සංස්කෘතියට සාපේක්‍ෂයි. අද අප සදාචාරය මනින්නේත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ මිනුම් දඬුවලින්.

තව පැත්තකින් මිනිසුන් රටේ නීතියට යටත් වෙන්න ඕන. අපට මානව හිමිකම් ඇතැයි කියමින් පාරේ හෙළුවෙන් යන්න බැහැ. සංස්කෘතිය වගේ ම නීතියත් එයට ඉඩ දෙන්නේ නැහැ. ඇත්තට ම පඬියන්ට බැරි ද බටහිර රටවල පාරෙ ප්‍රසිද්ධියේ හෙළුවෙන් යෑමට ඉඩ දියව් කියලා උද්ඝෝෂණයක් ආරම්භ කරන්න. එහෙමත් නැත්නම් තිරිසනුන් මෙන් ප්‍රසිද්ධියේ ලිංගික කාර්යයේ යෙදීමට ඉඩ දෙන්න කියා උද්ඝෝෂණය කරන්න. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තිරිසනුන්ට ප්‍රසිද්ධියේ කියන සංකල්පය තියෙනවා ද? ඒ කොහොම වුණත් සංස්කෘතිය රට බල්ලකුට දැම්මත් නීතියට විරුද්ධ ව යන්න නම් පඬි පෝතකයන් හා පෝතිකාවන් ඉදිරිපත් වෙන එකක් නැහැ. ඔවුන් අප්‍රසිද්ධියේ කරන මගුලක් කර ගනීවි. 

මානව අයිතිවාසිකම් තියෙනවා කියල අනෙක් මිනිහකුට ගහන්න බැහැ. මිනිහකු මරන්න බැහැ. ගැහැණියක් දූෂණය කරන්න බැහැ. අනෙක් අයටත් මානව අයිතිවාසිකම් තියෙනවා. ඒවත් රකින්න වෙන්නෙ සංස්කෘතියෙන් හා නීතියෙන්. ආණ්ඩු නීති හදනවා. දඬුවම් දෙනවා. අප විරුද්ධ වුණත් නැතත් ඕන නම් එල්ලන්නත් පුළුවන්. මත් ද්‍රව්‍ය විකුණන එක මානව අයිතිවාසිකමක් ද? මත් ද්‍රව්‍ය පාවිච්චි කරන එක මානව අයිතිවාසිකමක් ද? කැඳ විකුණන එක මානව අයිතිවාසිකමක් ද? කැඳ බොන එක මානව අයිතිවාසිකමක් ද? අර කංජි කාගෙන් ද අහල බලන්න.

ආණ්ඩුවක් රාජ්‍යය ආරක්‍ෂා කර ගන්න ඕන. විශේෂයෙන් ම වෙනත් රාජ්‍යවලින් රාජ්‍ය ආරක්‍ෂා කර ගන්න ඕන. දෙමළ ජාතිවාදය අදත් ක්‍රියාත්මක වන්නෙ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල ආධාරයෙන්. ඒ නවක වධය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වෙනව වගේ. නවක වධය දීම ගැන කාහට හරි දඬුවම් කළොත් අන්තරේ පෙළපාලි යනවා පාලකයන් අහිංසක ශිෂ්‍යයන් නවක වධය මුවාවෙන් මර්දනය කරනව කියමින්. අන්තරේත් ටිකක් එංගලන්තෙ වගේ. 

දෙමළ ජාතිවාදීන් ඝාතනය වීම ගැන එංගලන්තෙට තියෙන රුදාව මොකක් ද? හමුදාවෙන් යම් වරදක් සිදු වී ඇත්නම් අපේ නීති අනුව අපි ඒක බලා ගන්නම්. එංගලන්තෙ දෙමළ ජාතිවාදීන් රටට විරුද්ධව සටන් කරන්න දාලා දැන් එනව මිනීමරුවන්ගෙ මානව අයිතිවාසිකම් ගැන කියන්න. මා කියන්න යන්නෙ නැහැ බ්‍රවුන්රිග් ඌව වෙල්ලස්සෙ දී අවුරුදු දෙසීයකට ඉස්සර ක්‍රියා කරපු විධිය. ඒව ගැන නේස්බි වාර්තාව ගැන අප කතා කරල දශක දෙකකට වැඩියි. ඒ කාලෙ කවුරුන්වත් අප කී දේ ගණනකට ගත්තෙ නැහැ. අද බටහිර ආසියාවෙ, බටහිරයන් කියන විධියට මැද පෙරදිග (ඒක මැද වෙන්නෙ බටහිරයන්ට මිසක් අපට නො වෙයි. පෙරදිග අපට කොහෙන් ද මැද පෙරදිගක්) එංගලන්තය හා අනෙක් බටහිර රටවල් මානව අයිතිවාසිකම් රකිනවා ද? අනුන්ගෙ රටවල මානව අයිතිවාසිකම් ගැන බටහිර රටවල් කතා කරන්නෙ තම ආධිපත්‍යය හැර වෙන මොකක් රකින්න ද?

ඔය ඊනියා වධ හිංසා සොයා බලන නියෝජිතයන්ට රටට ඒමට වීසා දීම තදබල වරදක්. ඔවුන්ට ඊනියා මානව අයිතිවාසිකම් නැහැ අපේ රටට එන්න. බටහිර රටකට යෑමේ දී අපට ඔවුන්ගෙ ආගමන නීතිවලට විතරක් නොවෙයි රේගු නීතිවලටත් ගරු කරන්න වෙනවා. මා ඒකෙ වරදක් දකින්නෙ නැහැ. තම තමන්ගෙ රටවල් ආරක්‍ෂා කර ගැනීම ඒ ඒ අයගෙ වගකීම. අපට පුළුවන් අපට හානිකර පුද්ගලයන්ට, ඒ කියන්නෙ රාජ්‍යයට තර්ජනයක් වන පුද්ගලයන්ට වීසා නොදී ඉන්න. ඒක ඔවුන්ගෙ මානව අයිතිවාසිකම් කඩ වීමක් කියල කියාවි. පඬියන් ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටීවි. ඒ පඬියන්ට දී ඇති රාජකාරිය. එහෙත් අපට රටේ ආරක්‍ෂාව, රාජ්‍යයේ ආරක්‍ෂාව වැදගත්. 

වීසා නොදිය යුතු පුද්ගලයන්ගෙ නම් වහාම අසාධු ලේඛනයකට ඇතුල් කරල සියලු විදේශ තානාපති කාර්යාලවලට යවන්න ඕන. ඒක රනිල්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි බවත් ඒ සමග කියන්න ඕන.