Main Logo

Monday 15 April 2019

වැඩ ඇල්ලීම


වැඩ ඇල්ලීම

මේ දිනවල දේශපාලනයේ ඇත්තේ නොනගතයක්. එය සිංහල පැය තිස්දෙකක් නැත්නම් ඉංගිරිසි පැය (හෝරා) දොළහයි විනාඩි හතළිස්අටක් වෙන අවුරුදු නොනගතයට වඩා බෙහෙවින් වැඩියි. සමහරවිට සතියක් විතර යන්න පුළුවන්.  මෛත්‍රිපාල මොකක් ද ප්‍රකාශයක් කරන්න සූදානම්ලු. එක එක අය තමන් දකින ආකාරයට ඒ ප්‍රකාශය දැනටමත් දැකල. සජිත් අගමැති කරන්න යනව කියල කියනව. සජිත් අගමැති කරයි ද නැද්ද කියල නම් මා දන්නෙ නැහැ. හැබැයි සජිත් අගමැති කළොත් ඔහු 113 ලබා ගනීවි. 


ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුව රැකගන්න කටයුතු කරපු නැති එකේ ප්‍රතිඵල තමයි අද අත්විඳින්නෙ. අපේ කඳවුරේ අය බද්‍යුද්දීන්ගෙ මුස්ලිම් කොංග්‍රසය කඩන්න කැමති නැති වීම එක් හේතුවක් වුණා. එදා ඇති වුණේ මහින්ද මෛත්‍රිපාල සමගියක්. මා එවැනි සමගියක් ගැන කතා කරන්න වෙලා බොහෝ කල්. එය කෙසේ නමුත් ඇති වීම ගැන මා සතුටු වෙනවා. එහෙත් ඇතැම් පඬියන් තාම හිතන්නෙ එවැනි සමගියක් ඇති කරන්න බැහැ කියලයි! ඒකෙන් ම පේන්නෙ පඬි කමේ දිග පළල. 

ඒ සමගිය තාමත් තියෙනවා. එය කඩන්න හදන අයත් ඉන්නවා. ඒ තම ආසන සංවිධායකකම් මන්ත්‍රීකම් ගැන පමණක් හිතන අය. අද රටේ ජාතික ව්‍යාපාරය එතරම් ශක්තිමත් නැති නිසා සමගිය කැඩෙන්නත් පුළුවන්. එහෙත් මා දන්න එක් කරුණක් තමයි සමගිය කැඩීම හරි පළල් වීම සිංහල බෞද්ධ සංස්කෘතියට පහරක් බව. සමගිය පළල් වීම යන්නෙන් මා අදහස් කරන්නෙ සජිත් හරි බැරි වෙලාවත් හරි රනිල් හරි එකතු වීම. 

සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගහන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය දේශපාලන ව්‍යාපෘතියක්. එකෙන් විසි කෙරෙන කටු තමයි මෙරට ඉන්න ඒකෙ දාසයන් හා වහලුන් අහුල ගන්නෙ. ඒ දාසයන්  හරි වහලුන් හරි විසි කරන කටු ඔවුන් වටේ ඉන්න අය අහුල ගන්නවා. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ විවිධ මුහුණුවර තියෙනවා.  ලිබරල්වාදය වගේ ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් එහි අංග. පඬියන් බොහොමයක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයෙ. ඔය එක පඬියකුවත් තමන්ගෙ මතයක් ඉදිරිපත් කරල නැහැ. අඩුම තරමෙන් බටහිරයකුගෙ මතයක්වත් තමන්ගෙ වචනවලින් ඉදිරිපත් කරල නැහැ. 

සිංහල බෞද්ධ සංස්කෘතියට මතවාදී වශයෙන් වැඩියෙන් ම විරුද්ධ වන්නෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. අද මාක්ස්වාදයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හැටියට ම තමයි බොහෝ විට ක්‍රියාත්මක වන්නෙ. ජ වි පෙරමුණත් අද සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක් වෙලා. බොරු විප්ලවයක් ගැන කතා කරන පෙරටුගාමින්ට රටේ ඡන්ද පනස්දාහක්වත් නැහැ. ඔය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්වත් මැතිවරණයක දි ඔවුන්ට ඡන්දය දෙන එකක් නැහැ.

ඒ කොහොම වුණත් මගේ දේශපාලනය මූලික වශයෙන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ආධිපත්‍යයට විරුද්ධ ව. ඒ අනුව තමයි මගේ යෝජනා ඉදිරිපත් කෙරෙන්නෙ. ඔය හැම පඬියම, ලිබරල් මෙන් ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, කොටි පරාජය කරන්න බැහැ කියන කාලයෙ කොටි පරාජය කළ හැකිය කළ යුතු ය කියල අප කිවුව. එකල එට හිනාවුණු අය අද නිහඬ ව ඒ බව අමතක කරලා. 

දේශපාලන යෝජනාවක කළ යුතු වැඩ ගැන කියනවා.  ඒ වගේ ම කළ හැකි දේ ගැනත් කියනවා. සමහර කළ යුතු දේ කළ නොහැකි වන්න පුළුවන්. මෛත්‍රිපාල මහින්ද සමගිය ඇති කිරීම සිංහල බෞද්ධ සංස්කෘතිය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයෙන් මුදවා ගැනීමට කළ යුතු ම කාර්යයක්. එයට විරුද්ධ අය එසේ කෙළේ මූලික වශයෙන් ම වෛරය මුල් කර ගෙන. ඔවුන්ගේ විරුද්ධත්වය කෙසේ වුවත් එය කෙරුණා. එය තවමත් පවතිනවා. එහෙත් සමස්ත දේශපාලනය වෙනුවට ආසන සංවිධායක තනතුරු දේශපාලනයක යෙදෙන අය ඒ සමගිය කැඩීමට දඟලනවා. අර පඬියන් පැත්තක ඉඳිමින් එයට ආධාර කරනවා. තනතුරු රැක ගැනීමට කටයුතු කරන ආසන සවිධායකයන් හා මන්ත්‍රිවරුන් පරදවා සාමාන්‍ය මිනිසුන්ට ක්‍රියාත්මක වීමට තිබූ ජාතික ව්‍යාපාරය අද විවිධ පුද්ගලයන් විසින් දුර්වල කෙරිලා. 

රනිල්ගේ ආණ්ඩුව අද ඉතාමත් දුර්වලයි. ජාතික ව්‍යාපාරයත් දුර්වලයි. රනිල්ගේ ආණ්ඩුව වෙනුවට ඇති කළ මහින්දගේ ආණ්ඩුව බිඳ වැටුණේ ම ජාතික ව්‍යාපාරය දුර්වල නිසා. කිසිම ජාතිකත්වයක් නැති අය මහින්දගේ ආණ්ඩුව පවත්වා ගෙන යෑමට තම යුතුකම් නිසි ලෙස ඉටු නොකළ නිසා. වත්මන් නොනගතය මේ සියල්ලේම ප්‍රතිඵලයක්. මෙහි දී විවිධ පඬියන් ගැන අප සැලකිලිමත් වෙන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට සමාජයේ තබා සමාජයීය මාධ්‍යවලවත් කළ හැකි දෙයක් නැහැ. 

නොනගතය ඉවර වී වැඩ ඇල්ලීම ගෝඨාභයට වැට බැඳීමක් වෙන්න පුළුවන්. සාමාන්‍ය මිනිසුන්ගේ වුවමනා එපාකම් නියෝජනය වූයේ ජාතික ව්‍යාපාරයෙන්. එහෙත් අද ජාතික ව්‍යාපාරය දුර්වලයි. සාමාන්‍ය මිනිසුන්ට ගෝඨාභය ඕන. එහෙත් වියත්මගවත් එළියවත් සාමාන්‍ය මිනිසුන් නියෝජනය කරන්නේ නැහැ. සාමාන්‍ය මිනිසුන් නියෝජනය කරන සංවිධානයක් හදන්න කිසිවකු උනන්දුවක් ගත්තේ නැහැ. අප කියන දේට ගෝඨාභය වටා ඉන්නවුන් සවන් දෙන්නේ නැහැ. 

මෙහි ප්‍රතිඵලය ඉතා භයානක වෙන්න පුළුවන්. ගෝඨාභයට අකමැති රනිල් ප්‍රමුඛ එ ජා පක්‍ෂය පමණක් නොවෙයි. සජිත් ද අකමැතියි. තවත් අයත් අකමැතියි. ගෝඨාභයට අකමැති අය එකතු වීමේ ප්‍රවණතාවක් තියෙනවා. සජිත් අගමැති කිරීම, ජ වි පෙ විස්ස හරි විධායක ජනාධිපති ධුරය අහෝසි කරන වෙනත් විස්සක් හරි සම්මත කිරීම, මෛත්‍රිපාල විධායක නොවන ජනාධිපති කිරීම, මහා මැතිවරණයකට අවශ්‍ය පාර්ලිමේන්තු තුනෙන් දෙක එකතු කර මැතිවරණයක් පැවැත්වීම ආදී ක්‍රමයකින් හෝ කිහිපයකින් හෝ වැඩ අල්ලන්න පුළුවන්. මෛත්‍රිපාල මහින්ද සමගිය තව තවත් තහවුරු කර ඒ සංධානය මගින් ගෝඨාභය ඉදිරිපත් කිරීමට ගෝඨාභය වටා වියත්මග පරයා යන ජනතාමගක් ඇති කිරීම ඉතාමත් අවශ්‍ය ක්‍රියාවලියක් වෙනවා. බණ්ඩාරනායක මහතා වැඩ කෙළේ අප අතරත් ටයි කෝට් කාරයන් ඉන්න බව එ ජා පක්‍ෂයට පෙන්වීමට නො වෙයි.