Main Logo

Tuesday 16 April 2019

නොට්රෙ ඩාම් දේවස්ථානය

නොට්රෙ ඩාම් දේවස්ථානය

පැරීසියේ නොට්රෙ ඩාම් දේවස්ථානය ගිනි ගැනීමේ ඡායාරූප රූහඬපට රූපවාහිනියේ දකින විට ඇති වන්නේ කණගාටුවක්. මේ නොට්රෙ ඩාම් කියන වචන මා ලියා ඇති ආකාරය වැරදි වෙන්න පුළුවන්. ප්‍රංශ භාෂාව උච්චාරණය කරන ආකාරය දැන ගැනීම අපහසුයි. මෙය රෝම අකාරාදියෙන් ලියැවෙන්නෙ Notre Dame කියායි. මේ ඩාම් කිව්වත් ඉංගිරිසියට ගිහින් තියෙන්නෙ ඩේම් කියලයි. ඒ කාන්තාව කියන අරුතින්. නොට්රෙ (ඉංගිරිසියෙන් our)  කියන්නෙ අපේ කියලයි පරිවර්තනය වෙන්නෙ. දේවස්ථානයෙහි සම්පූර්ණ නම සිංහලෙන් කියැවෙන්නෙ පැරීසියෙ අප  කාන්තාවගේ (දෙව්මෑණියන්ගෙ)  දේවස්ථානය කියායි. මෙහි සම්පූර්ණ නම ලියැවෙන්නේ Cathedral Notre Dame de Paris කියායි. කතෝලිකයන් දන්නවා මේ මරිය තුමිය ගැනයි කියැවෙන්නෙ කියල. 


නොට්රෙ ඩාම් දේවස්ථානය වසර අටසිය පනහක් පමණ පැරණි කියා කියනවා. ඒ මරිය තුමිය වෙනුවෙන් තැනූ දේවස්ථානයක්. ප්‍රංශ සංස්කෘතියේ සංකේතයක් ලෙස දේවස්ථානය හඳුන්වන්න පුළුවන්. එය ප්‍රංශ ගොතික් සම්ප්‍රදායෙ ගෘහ නිර්මාණ ශිල්පය නිරූපණය කරනව කියල කියනවා. මෙහි චිත්‍ර, පිළිම, වීදුරු චිත්‍ර, කැටයම් ආදිය ඉතා ඉහළ මට්ටමක තියෙන බවයි කියැවෙන්නෙ. වික්ටර් හියුගෝ තම නවකතාවකටත් දේවස්ථානය මාතෘකා කර ගෙන තියෙනවා. පැරීසියේ ඉතිහාසය, සංස්කෘතිය නිරූපණය කරන මේ දේවස්ථානය ප්‍රංශ විප්ලවය වෙලාවෙදි ප්‍රශ්නවලට මුහුණ දීල තියෙනවා. පිළිම කිහිපයක් කියන විධියට වරදවා වටහාගෙන කඩා බිඳ දාලා තියෙනවා. එහෙත් දේවස්ථානය 1871 පැරිස් කොමියුනය ඊනියා ලෝක යුද්ධ ආදියට මුහුණ දීල තියෙනවා.

දේවස්ථානය ගිනි ගැනීම ප්‍රංශයන්ට කතෝලිකයන්ට පමණක් නොව සංස්කෘතීන් අගය කරන සියල්ලන්ට ම කණගාටුවට කරුණක්. අවුරුදු පතා ලක්‍ෂ ගණනක් දේවස්ථානය නැරඹීමට එන බව පැවසෙනවා. ප්‍රංශය යුරෝපයේ කලා මධ්‍යස්ථානය ලෙස සැලකෙනවා. අවාසනාවකට දේවස්ථානයේ වහළ සම්පූර්ණයෙන් වගේ පිච්චිලා. ප්‍රංශ ජනාධිපති කියල තියෙනවා එය ප්‍රතිසංස්කරණය කරනව කියලා. එය ඉක්මණින් ම සිදු වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

ඒ අතර අපට අමතක කරන්න බැහැ දළදා මාළිගාවට පහර දීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල වෙඩි තැබීම්, එහි අරක්කු බීමට කරන යෝජනා, සහ සමස්තයක් වශයෙන් අවුරුදු දෙදහස් පන්සියක රෙද්ද. අප බටහිර සංස්කෘතියවත් බටහිර විද්‍යාවවත්, බටහිර කලාවවත් ඒ විධියට අගෞරවයෙන් සලකන්නෙ නැහැ. අප විරුද්ධ වන්නෙ බටහිර සංස්කෘතික ආධිපත්‍යයට. අවුරුදු දෙදහස් පන්සීයක රෙද්ද කතාව කරන්නෙත් ඒ ආධිපත්‍යයෙ සෙවණෙ ඉඳගෙන. නැතුව සිංහල බෞද්ධ සංස්කෘතියෙ ඇතුළතින් කෙරෙන විවේචනයක් ලෙස නො වෙයි. බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් අධ්‍යාපනය හා ජඩමාධ්‍ය හරහා නිවටයන් ටිකක් බිහි කෙරී තියෙනවා. මේ නිවටයන්ට යම් හීනමානයක් ද තියෙනවා. ඒ හීනමානය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. 

මේ නිවටකම සිංහල බෞද්ධයනට පමණක් නොව මුස්ලිමුන්ටත් හින්දුන්ටත් අඩු වැඩි වශයෙන් තියෙනවා. මේ අය බටහිර විද්‍යාවෙ නව දැනුම තම සංස්කෘතීවලත් තියෙනව කියන්න හරි කැමතියි. මා ඊයේ පෙරේදා දැක්කා බුදුහාමුදුරුවො කළුකුහර ගැනත් දේශනා කරල තියෙනවා කියන ප්‍රකාශ. බුදුහාමුදුරුවන් දේශනා කරල තියෙනවා මේ විශ්වයේ ආලෝකය පතතිත නොවන තැන් තියෙනව කියල. කළු කුහර කියන්නෙ  බටහිර තාරකා විද්‍යාඥයන් කියන විධියට ආලෝකය පතිත නොවන තැන් නොවෙයි ආලෝකය පිට නොවන වස්තු. මේ දෙකේ කොච්චර වෙනසක් තියෙනවා ද? එහෙත් සමහරුන් කැමතියි බුදුහාමුදුරුවන් කළු කුහර ගැන දේශනා කරල තියෙනව කියන්න.

මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියල කියන්නෙ බටහිර විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරන්න නොවන බව කියල තියෙනවා. මා බටහිර විද්‍යාව හා තාක්‍ෂණය යොදා ගන්නවා. මා නොට්රෙ ඩාම් චිත්‍ර  අගය කරනවා. මා ඒ දැක තියෙනවා.  මා මරියතුමියට ඇනුම්පද කියන්නෙ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගෙ පුත්‍රයා වීම මා ත්‍රිකෝටික න්‍යායෙන් පැහැදිලි කරනවා. මා එය කොළඹ විශ්වවිද්‍යාලයෙ සිසුන්ට කියල දීල තියෙනවා. රේඛීය ද්විකෝටිකය පමණක් යොදා ගන්න අය තමයි අහන්නෙ දෙවියන් වහන්සෙ තමන් වහන්සේගේ ම පුතා වුණෙ කොහොම ද කියල. කතෝලික න්‍යායට (logic) එය ප්‍රශ්නයක් නො වෙයි.  බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන්නේ ඒ මගේ සංස්කෘතියට අනුව පට්ටපල් බොරු නිසා. 

අප සියලු දෙනා දන්නෙ බොරු කියන්න විතරයි. මේ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්මාභෝධය (අවබෝධය නොවෙයි) නොමැති නිසා අප කරන නිර්මාණ. ඒ නිර්මාණ අපේ ඉන්ද්‍රිය පද්ධතියට, මනසට, සංස්කෘතියට සාපේක්‍ෂයි. මේ බොරු සමහරක් වියුක්තයි. මා ඒවට පට්ටපල් බොරු කියල කියනවා. මා මේ කියන දෙයත් බොරුවක්. දැන් අහන්න එපා බොරු කාරයකු කියන දේ බොරු ද වගේ රේඛීය චින්තනයෙහි දී පරස්පරවලට තුඩු දෙන ව්‍යාජ දාර්ශනික ප්‍රශ්න. 

බටහිර විද්‍යාව ම අද කාලය මායාවක් කියල කියනවා. ඔවුන් කාල හීය කියා (Arrow of Time)  සංකල්පයක් යෙදා ගන්නවා. මගේ ආචාර්ය උපාධි නිබන්ධනය විභාග කරපු මහාචාර්ය විට්රෝ කාලය යනු කුමක් ද (What is Time) කියා පොතක් ලියල තියෙනවා. කාල හීයත් ඒකෙ සාකච්ඡා වෙනවා. කාලය රේඛීය ව වැඩි වෙනව කියන එක තමයි කාල හීය සංකල්පයෙන් කියැවෙන්නෙ. කාලය අඩු වෙනව නම් චක්‍රීය වෙන්න පුළුවන්. අයින්ස්ටයින්ගෙ ක්‍ෂෙත්‍ර සමීකරණවල  ගර්ඩ්ල්ගෙ විසඳුමක් තියෙනවා සංවෘත කාලයක් තියෙන්න පුළුවන්. යමකු අතීතයට ගිහිල්ල තම සීයා මැරුවහොත් තමා ඉපදෙන්න පුළුවන් ද? 
   
කාලය ගැන ඕන තරම් බටහිර ලියල ඇති. ඒත් කී දෙනකු කියවල තියෙනවා ද බුද්ධඝෝෂ හාමුදුරුවො ලංකාවෙදි අටුවා ලියන විට අත්ථසාලිනියෙහි කාලය පඤ්ඤත්තියක් කියල කිව්ව බව. මගේ ලෝකයෙහි මා ඒ බව සඳහන් කරල තියෙනවා. අප කාලය ගැන බටහිර අදහස් පමණක් කතා කරල පෙරදිග නිර්මාණය වෙච්ච අදහස් සලකන්නෙ නැත්නම් එතැන තියෙන්නෙ හීනමානය. එතැන තියෙන්නෙ බටහිර සංස්කෘතික  ආධිපත්‍යය. මා විරුද්ධ වෙන්නෙ මේ ආධිපත්‍යයට මිසක් නොට්රෙ ඩාම් දේවස්ථානයට නො වෙයි.