කළු කුහර හා උළුඳු වඩ
ලංකාවේ උගතුන් අතර කළු කුහර මෙතරම් ජනප්‍රිය බව මා දැන සිටියේ නැහැ. බටහිර ජනමාධ්‍ය ලංකාවේ ජනමාධ්‍යවල ලොකු අයියා. බටහිර තාරකා විද්‍යාඥයන් කළු කුහරයක් දැක ඇති බවයි ඔවුන් වාර්තා කෙළේ. මෙරට උගතුනුත් කළු කුහරයක ඡායාරූප දැකලා. ඒක හොඳයි. සමහරුන් ඒ ගැන තම තමන්ගෙ කතන්දරත් හදලා. කළු කුහර පේන්න නම් ඒ එච්චර ම කළු වෙන්න බැහැලු. ඒකත් ඇත්ත. අවුරුදු පනහකට ඉස්සර, ඒ කියන්නෙ මගේ දැන් වයසින් තුනෙන් එකක පමණ කාලෙ, මාත් ඔය කුහර ගැන අධ්‍යයනය කළා. ඒ කුහර පේන බවක් නම් ඒ දවස්වල කිව්වෙ නැහැ. දැන් පේන්න පටන් අරන් ද දන්නෙ නැහැ. ඔහොම යන කොට කළු කුහරය කුහරයෙන් එළියට එන්නත් බැරි නැහැ. අපි අහස දිහා බලන් ඉමු. මා නම් කළු කුහර ගැන ඉගෙන ගන්න කාලෙ අහස දිහා බැලුවෙ නැහැ. ඊට පස්සෙ නම් අහස දිහා තමයි බලන් ඉන්නෙ. ඒ අහසින් තරුවක් කඩා වැටෙනකම් නො වෙයි.
අවුරුදු දෙකකට පමණ පෙර කැලණිය විශ්වවිද්‍යාලයෙ වසන්ත කටුගම්පොළ කළු කුහර බෝසෝන් තාරකා ලෙස නමින් එම විශ්වවිද්‍යාලයෙ වාර්ෂික පර්යේෂණ සැසිවාරයට පොඩි කතන්දරයක් ඉදිරිපත් කළා. බටහිර විද්‍යාවෙත් තියෙනවා ප්‍රධාන ධාරාවක්. ඒ ප්‍රධාන ධාරාවෙ නැත්නම් එතරම් ප්‍රචාරයක් ලැබෙන්නෙ නැහැ. ඒ කොහොම වුණත් ලංකාවෙ උගතුන් මුහුණු පොතේ පඬියන් ජනමාධ්‍යවේදීන් ආදීන් වසන්ත ගැන අහලවත් නැතිව ඇති. කළු කුහර අහළින් ඇති දේ ගැනවත් යමක් දන්නා වසන්ත, ශෂින්කා විමලධර්ම, කුමුදුමලී ජයකොඩි ආදීන් උගතුන්ගේ කතාබහට ලක් වෙන්නෙ නැහැ.
මට කළු කුහර ගැන ප්‍රශ්නයක් තියෙනවා. එය තරමක දාර්ශනික ප්‍රශ්නයක්. මා දාර්ශනිකයකු නොවෙයි. ඒත් මට ප්‍රශ්න හිතට එනවා. කළු කුහරයට අයත් වන්නේ මොනවා ද? ඔය දැක ඇතැයි කියන කළු කුහරය ද්විමානයෙ පේන්නෙ උළුඳු වඩයක් වගේ. ඒකට අහස් උළුඳු වඩයක් කිව්වත් කමක් නැහැ. අර ඉලිප්සීය මන්දාකිණි මසල වඩ වගේ. තව සර්පිලාකාර සහ හැඩ නැති මන්දාකිණිත් තියෙනවා. අහස් උළුඳු වඩය අර පෙම්වතුන් මවන අහස් මාළිගා වගේ නො වෙයි. ඒ වගේම සාමාන්‍ය උළුඳු වඩයක් වගේත් නො වෙයි.
සාමාන්‍ය උළුඳු වඩයක මැද හිස්. එහි කුහරයක් තියෙනවා. කුහරය කන්න බැහැ. අර වටේ තියෙන වළල්ල වගේ කොටස තමයි කන්නෙ. බටහිර සංස්කෘතියෙ උළුඳු වඩ නැහැ. එහි තියෙන්නෙ ඩෝනට්. සිංහල සංස්කෘතියෙත් දැන් ඩෝනට් තියෙනවා. සිංහල සංස්කෘතියෙ නැත්තෙ සිංහලකම විතර ද කියලත් වෙලාවකට හිතෙනවා. ඔය ගණිතය උගන්වන අය ස්ථල විද්‍යාව (Topology) කියා එකක් උගන්වනවා. ඒකෙ සමහර පෘෂ්ඨ වගයක් ගැන උගන්වන කොට ගන්න උදාහරණය ඩෝනට්. නිකම්වත් උළුඳු වඩයක් කියන්නෙ නැහැ. කිව්වොත් ජී එල් පිරීස් වගේ අයකු කියන්න බැරි නැහැ ජාතික චින්තනය උගන්වනවා කියලා. ඒත් ජාතික චින්තනය කියන්නෙ උළුඳු වඩයක් නො වෙයි. මේ රටේ සමහරු නම් හිතනවා ඇති ජාතික චින්තනය කියන්නෙ උළුඳු වඩයක් කියලා. ඔවුන් දැන් කියන්න බැරි නැහැ ජාතික චින්තනය කියන්නෙ කළු කුහරයක් කියලා.
මා නම් කැමතියි ජාතික චින්තනය උළුඳු වඩයකට වඩා කළු කුහරයක් කියල කියනවට. අපි පාවිච්චි කරන වචන හරිම පුදමයි. අපි කුහරයක් තියෙන උළුඳු වඩයට වඩයක් කියන්නෙ කුහරය අමතක කරලා. ඒත් කුහරයක් නැති කළු කුහරයට කියනවා කළු කුහරය කියලා. කළු කුහරයෙ ඊනියා කුහරය පේන්නෙ නැහැ. ඒත් ඒකෙ මොනවද තියෙනවා. වසන්ත කියන්නෙ නම් කුහරයෙ තියෙන්නෙ බෝසෝන කියල. කවුද දන්නෙ. ඒක කතන්දරයක් විතරයි. හැම එක ම කතන්දර බවත් අමතක කරන්න එපා. කළු කුහරයට වැටෙන ඒවට, විකිරණවලට ද්‍රව්‍යවලට මොකද වෙන්නෙ. ඒවා නැති වෙනවා ද? අපොයි එහෙම වුණොත් ද්‍රව්‍යවාදයට මොකද වෙන්නෙ. ද්‍රව්‍යවාදයෙ පිහිටට එන්නෙ වසන්ත කටුගම්පොළ.
කළු කුහරයෙ කුහරයෙ කුහරයක් නැහැ. ඒත් ඒ තියෙන ඒවා පේන්නෙ නැහැ. මගේ ප්‍රශ්නය ඒ අදෘශ්‍යමාන ඊනියා කුහරය පමණ ද කළු කුහරය කියන්නෙ කියල. මා හිතන්නෙ කළු කුහරයට අදෘශ්‍යමාන කොටසින් පිටත තියෙන කොටසකුත් ඇතුළත් කියලා. ඔය බටහිර තාරකා විද්‍යාඥයන් පෘථිවියේ තැන් අටක තියපු දුරේක්‍ෂවලින් පින්තුර අරන් තියෙන්නෙ කළු කුහරයෙ ඊනියා කුහරයෙන් පිටත තියෙන කොටසෙ. ඒ පින්තුර එකතු කරල තමයි අප දකින පින්තුරෙ හදල තියෙන්නෙ.
පිටත කොටසෙ තියෙන ද්‍රව්‍ය කුහරයට යනවා. ඒ අතරෙ ඒ ද්‍රව්‍ය අතර ඝර්ෂණයක් ඇති වෙනවා. ඒ ඝර්ෂණය නිසා ආලෝක ධාරා පිටවෙනවා. ඒ ධාරා සමහරක් කුහරයට ම යනවා. සමහරක් කුහරයෙන් පිට පැත්තට යනවා. ඉන් කොටසක් තමයි අප ඉන්නා පෘථිවියට ලැබෙන්නෙ. ඒ ධාරා උපයෝගී කර ගෙන තමයි ඔය පින්තුරය හදල තියෙන්නෙ.
කළු කුහරයක සීමාව අර්ථ දක්වන්න වෙනවා. ඒ ඊනියා කුහරයෙන් පිටතට කොපමණ තියෙනව ද? වෙනත් චචනවලින් කියනවා නම් කළු කුහරයක සීමාව ගැන කතන්දරයක් හදන්න වෙනවා. ඒක අමාරු වැඩක් නො වෙයි. ඒත් මට නම් ඒ ගැන උනන්දුවක් නැහැ. මා අහස දිහා බලන් ඉන්නවා. ඒ අපේ රට කළු කුහරයක් ඇතුළට යෑම වැළැක්වීමට අදහස් ලබා ගන්න. සමහර වෙලාවට අදහස් එනවා. ඒ අදහස් බටහිර ලෝකයෙන් ගන්න බැහැ. පඬියන් ඒ අදහස්වලට බයයි.