Main Logo

Saturday 29 July 2023

වෙල්ලාලයන්ට කොළඹ අහිමි වීම

 

වෙල්ලාලයන්ට කොළඹ අහිමි වීම

 

වරද්දා ගත් තරුණ පරපුර හෙවත් ජේ ආර්ගේ දරුවන් ඉතිහාසය නොදැනීමත් ප්‍රශ්නයක්. ජේ ආර් සාහිත්‍යය කන්න කියා ඇසූ මුත් ඉතිහාසය කන්න කියා ඇසූ බවක් දැන ගන්න නැහැ. එහෙත් මෙරට ඉතිහාසය ඉගැන්වීම පිළිබඳ ප්‍රශ්න නම් තියෙනවා. එක් පැත්තකින් ජී සී මැන්දිස්ගේ ඉතිහාසකරණය අනෙක් පැත්තෙන් සිංහල ඉතිහාසය මකා දැමීමට කරන ප්‍රයත්නය. ජේ ආර්ගෙ දරුවන් දෙමළ ජාතිවාදය පිළිබඳ හැදෑරීමක් කර ඇතැයි හිතන්න බැහැ. ඔවුන් දන්නේ සිංහල ආණ්ඩු විසින් කරන ලද ඊනියා අසාධාරණයක් ගැනයි. ඔවුන් ප්‍රබුද්ධයන්.

 

මේ බුද්ධිමතුන්ට කියා දෙන්න ජී සී මැන්දිස්ගේ ගෝල බාලයන් සෑදී පෑදි සිටිනවා. ඔවුන්ට අනුව මා දන්නා ඉතිහාසයක් නැහැ. පඬි නැට්ටන් කියන්නේ ගණිතය හැදෑරුවන් බොහෝ විට උද්ධච්ඡයන් බවත් ඔවුන් ශාස්ත්‍ර විෂය ධාරාවේ අය කිසිවක් බැරිවුන් ලෙස හඳුන්වන බවත්. ඒක නම් මා දන්නේ නැහැ. මා නම් ගණිතයවත් හරියට දන්නේ නැහැ. මා ඉතිහාසය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතුව වෙන්න පුළුවන්. ශාස්ත්‍ර විෂය ධාරාවේ අය මා ඉතිහාසය ගැන කතා කරනවාටත් විරුද්ධයි. මේ දිනවල මා සතිපතා කරන දේශන මාලාව සංවිධානය කරන අයට ගහන්න ඕන යැයි කී අයකුගේ කතාව අනුමත කරල තිබුණෙ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙක්. මා දන්නෙ නැහැ එය උද්ධච්ඡ කමක් නැත්නම් දාමරික කමක් වෙනත් දෙයක් කියා. කොහොම වෙතත් ජේ ආර්ගෙ දරුවන් දෙමළ ජාතිවාදය ගැන මා කියන දේ හොයා බැලීමකින් තොරව ප්‍රතික්‍ෂෙප කරන බව නම් මා දන්නවා.

 

දෙමළ ජාතිවාදය ඇති වන්නෙ ලන්දේසීන් දුම්කොළ වගාව සඳහා මෙරටට ආනයන කළ වෙල්ලාලයන් නිසා. වෙල්ලාලයන් ආපහු දකුණූ ඉන්දියාවේ තම නිජභූමියට යෑම වැළැක්වීම සඳහා ලන්දේසීන් තේසවලාමේ නීතිය පැනවුයේ වෙල්ලාලයන්ට යාපා පටුනේ ඉඩම් හිමිකර දීමෙන් හා එහි සිටි සිංහලයන් දෙමළ හින්දු සංස්කෘතියට අවශෝෂණය කර වහලුන් බවට නීතියෙන් පත් කරමින්. ඉන්පසු ඉංගිරිසින් නැවත වතාවක් තේසවලාමේ නීතිය පනචා තියෙනවා. ඔවුන් පසුව අර වහලුන් ලෙස සලකන වගන්තිය ඉවත් කර තියෙනවා.

 

ඉංගිරිසින්ගේ යටත් විජිත පාලන සමයේ දී ඉංගිරිසි අධ්‍යාපනය වෙල්ලාලයන්ට වෑඩිපුර ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ඉංගිරිසි උගතුන් අතර ඉතා වැඩි පිරිසක් වෙල්ලාලයන් වුණා. ඉතා මෑතක් වන තුරු වෛද්‍ය ඉංජිනේරු වැනි වෘත්තීන්වල වෙල්ලාල අනුපාතය ජන අනුපාතයට වඩා බෙහෙවින් වැඩියි. වෙල්ලාලයන් බුද්ධිමත් යන කතාවකුත් අප කුඩා කාලයේ තිබුණා. වෙල්ලාලයන් කියා නොව දෙමළ කියා. එහෙත් දෙමළ ජන කොටස කිවුවත් ඉතා වැඩි පිරීිස වෙල්ලාල.

 

සාමාන්‍යයෙන් රජයේ සේවයේ වැඩිය හිටියේ වෙල්ලාලයන්. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් ඉතා වැඩි පිරිස දෙමළ වෙල්ලාල. යාපා පටුනේ තිබුණේ මනි ඕඩර් ( මුදල් ඇණවුම්) ආර්ථිකයක් බව කියැවුණා. කොළඹ සිටි රජයේ සේවකයන් තම වැටුප මුදල් ඇණවුම් මගින් යාපා පටුනට යැවීම ආර්ථිකයේ පදනම වූ බැවින්. වැල්ලවත්ත හා කොටහේන ක්‍රම ක්‍රමයෙන් දෙමළ ජන කොටස් ඒක රාශී වූ පෙදෙස් බවට පත් වුණා. තවම පෙදෙස් දෙමළ නිජභූමි ලෙස ප්‍රකාශ කෙරිලා නැහැ. වෙල්ලාල ප්‍රභූන් පළමුව මුට්වෝල් ප්‍රදේශයේත් පසුව කොළඹ තුනේත් හතේත් පදිංචි වුණේ සිංහල ප්‍රභූන් සමග.

 

ඉංගිරිසි ආණ්ඩුව යටතේ ප්‍රධාන නිලතල වෙල්ලාලයන්ට හිමි වුණා. විශේෂයෙන් කුමාරස්වාමි පොන්නම්බලම් පවුලට. එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ ප්‍රධානීන් බවට  පත් වුණේ වෙල්ලාලයන්. ඔවුන් කටයුතු කෙළේත් තමන් ඊනියා ලාංකික ජනතාවකගේ ප්‍රධානීන් ලෙස. 1912 පැවති සීමිත මැතිවරණයේ දී ජය ගත්තේ අර පවුලේ අයකු වූ පොන්නම්බලම් රාමනාදන්. 1919 දී ලංකා ජාතික සංගමය පිහිටුවනු ලැබුවේත් වෙල්ලාලයන්ගේ ප්‍රධානත්වයෙන්. එහි ප්‍රථම සභාපති වුණේ රාමනාදන්ගේ සොහොයුරු අරුණාශලම්.

 

වත්මන් දෙමළ ජාතිවාදයේ මුල් අවස්ථාව 1920 මැනිං යෝජනා හා සම්බන්ධයි. ඔය මැනිං ආණ්ඩුකාරයා සිහි වෙන්න තමයි මැනිං ටවුම හා මැනිං වෙළෙඳ පොළ තියෙන්නෙ. මේ වන විට ධර්මපාලතුමාගෙ ව්‍යාපාරයත් සමග අමද්‍යප ව්‍යාපාරයත් ඇති වෙලා තිබුණා. කොළඹ ඉංගිරිසි කතා කරන අය ඉංගිරිසි ආණ්ඩුකාරයන් සමග කර ගෙන ගිය ව්‍යවස්ථාදායක සභාවෙ ඊනියා ලාංකිකයන්ගෙ බලතල තව තවත් වැඩි කර ගැනීමේ ව්‍යාපාරයට පිටින් සිංහලයන්ගෙ අමද්‍යප ව්‍යාපාරය බිහි වුණා. එය නිදහස් සටනක් කියා කියන්න පුළුවන්. අමද්‍යප ව්‍යාපාරය ඉංගිරිසි ආණ්ඩුවේ ආදායමට පහරක් වුණා.

 

මේ සියල්ලෙහි ප්‍රතිඵලය වුණෙ අර ප්‍රබුද්ධ කුමාරි සොයිසා ජයවර්ධන කියන නිකමුන් වැදගතුන් බවට පත් වීම. එහෙමත් නැත්තන් සොක්කන් ලොක්කන් වීම. මේ සොක්කන් බොහෝ විට ඉගෙන ගත්තෙ ශාන්ත තෝමස් විදුහලේ. රාජකීය විදුහලේ ඉගෙන ගත් ඇතැම් සොක්කන් පසුව ශාන්ත තෝමස් විදුහලට ගියා. රාජකීය ශාන්ත තෝමස් පාසල් මුල දී ප්‍රභූන් පදිංච වී සිටිය මුට්වෝල් ප්‍රදේශයේ පිහිටෙවුවෙ. පසුව ප්‍රභූන් ප්‍රදේශ අතහැර යෑමත් සමග ප්‍රදේශවල ප්‍රභූත්වය නැති වුණා. රාජකීය විදුහල ප්‍රභූන් සමග කොළඹ තුනේ පිහිටි දැන් කොළඹ විශ්වවිද්‍යාලය පිහිටා ඇති ප්‍රදේශයටත් පසුව අල්ලපු වත්තේ කුරුඳුවත්ත ලිපිනයටත් ගෙනාවා. සොක්කන් ඉගෙන ගත් ශාන්ත තෝමස් විදුහල ගල්කිස්සට ගියා.

 

සේනානායකලා අමද්‍යප ව්‍යාපාරයේ නායකයන් වුණා. ඉන් එෆ් ආර් රාජකීය විදුහලේ ඉගෙන ගත්තෙ. ඩී එස් ශාන්ත තෝමස් විදුහලේ. සේනානායකලා ලංකා ජාතික සංගමයේ බලවත් වුණා. 1920 දී ජාතික සංගමයේ සභාපති ධුරයට ජේම්ස් පීරිස් පත් කෙරුණා. එෆ් ආර් සේනානායකගේ මැදිහත් වීමෙන්. වෘත්තීන්හි බලය අඩු නුණත් දෙමළ වෙල්ලාලයන්ට කොළඹ දේශපාලන බලය අහිමි වෙන්න පටන් ගත්තා. එහි දී ජේම්ස් පීරිස් වැදගත් කාර්ය භාරයක් ඉටු කළා. (මතු සම්බන්ධයි)