යාපනයේ සිංහපුරය
ඊයේ (30) සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ හිටපූ පුරා විද්‍යා කොමසාරිස් රාජා ද සිල්වා මහතාගේ ලංකා ඉතිහාසයේ එතරම් දැනුමක් නැති පැතිකඩ: චෝල කුමරියක් හා යාපනයේ පැරණි නම මැයෙන් වැදගත් ලිපියක් පළ වී තිබුණා. ඒ ලිපිය කොටස් දෙකකින් සමන්විතයි. එකක් නිකවැරටිය අසළ බුදුමුත්තාව ගමේ ඇති දෙමළ සෙල්ලිපියක් සම්බන්ධ ව. එය දෙමළ බිසවක විසින් කරවන ලද්දක් බවයි කියැවුණේ. ඒ ගැන පුරා විද්‍යා හා උරුමය සංවිධානය මගින් කෙරෙන මගේ දේශනවල දී සඳහන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි කොණක් විජයබාහු රජු කරා යනවා. බොහෝ කලක සිට මෙරට රජවරු ඉන්දීය බිසොවුන් ද සරණ පාවා ගෙන තියෙනවා. නුවර යුගය දක්වා ම ඒ කතාව දකින්න පුළුවන්. එක් කතාවකට අනුව ධාතුසේන රජුගේ එක් බිසොවක් පල්ලව කුමාරීියක්. කාශ්‍යප ඔවුන්ගේ පුතා. පල්ලවයන් භාරතයේ වයඹ දිග රජ කළ ආර්ය සංස්කෘතියට අයත් පිරිසක් බවත් පසුව ඔවුන් දකුණු ඉන්දියාවට (භාරතයට) ගිය බවත් කියැවෙනවා. එකල භාරතයේ රාජ වංස හා ජනයා එක ම සංස්කෘතියට අයත් වීම අනිවාර්ය වී නැහැ.
ලිපියේ දෙවැනි කොටස යාපනයේ පැරණි නම ගැනයි. රාජා ද සිල්වා මහතා මූලාශ්‍ර දෙකක් ගැන කියනවා. එකක් රාසනායගම්ගේ පැරණි යාපනය (Ancient
Jaffna) පොත. අනෙක සී නාගලිංගම් නමැත්තකු කලින් කී බුදුමුත්තාවේ සෙල්ලිපිය ගැන ලියූ පත්‍රිකාවක්. එය ශ්‍රී ලංකාවේ රාජකීය ආසියාතික සංගමයේ ඇති බව කියැවෙනවා. ඒ ලිපි ලේඛනවල යාපනයේ පැරණි නම් ලෙස සිංහයි නගර් හා කාලිංග දේශ යනුවෙන් කියැවෙන බව සඳහන් වෙනවා. නිශ්සංක මල්ල රජු පොළොන්නරුවට පැමිණයේ කොහේ සිට ද යන ප්‍රශ්නයත් මතුවෙන බව රාජා ද සිල්වා මහතා පෙන්වා දෙනවා.
මා
නාගලිංගම්ගේ ලිපිය කියවා නැහැ. රාසනායගම්ගේ පොත නම් කියවා තියෙනවා. එයට කලින් යාල්පානම් වෛපව මාලෙයි නමැති මාලය ලියා තියෙනවා. එය ලියැවුණේ ලන්දේසි ආණ්ඩුකාරයාගේ ආරාධනයෙන්. ලන්දේසීන් විසින් ආනයනය කෙරුණු වෙල්ලාලයන් ඉංගිරිසි යටත්විජිත පාලකයන්ගේ අනුග්‍රහයෙන් හා ආශිර්වාදෙයන් රටේ ඉහළ තනතුරුවලට තම ජන අනුපාතය බෙහෙවින් ඉක්මවා යන ආකාරයෙන් පත් වූ පසු රටේ ම නායකත්වය බලාපොරොත්තු වුණා. 1920න් පමණ පසු වෙල්ලාලයන් විසින් ලියැවුණු ලිපි ලේඛනවල අරමුණ වුණේ යාපනේ දෙමළ රාජ්‍යයක් තිබූ බව පෙන්වීම. මාලය ඉතා නග්න ව කළ දේ ඉන්පසු ඊනියා ශාස්ත්‍රීය බවක් ආරෝපණය කරගෙන ලියා තියෙනවා.
මගේ
මතකයේ හැටියට මාලයේ
උත්සාහ කරන්නේ උග්‍ර සිංහම් නමැත්තකුගෙන් පැවත එන්නන් යාපනයේ රාජ්‍යයක් පිහිටුවීමට කටයුතු කළ බව පෙන්වීමයි. උග්‍ර සිංහම් විජය රජුගේ සහොදරයකු බව කියනවා. ඔවුන්ට ඇති කාලිංග සම්බන්ධයයි කියන්න හදන්නේ. උග්‍ර සිංහම් දහවැනි සියවසේ රජ කළ බවක් ද කියනවා. රාසනායගම් ඒ මත පදනම් වී තවත් කතා කියනවා. ඔවුන් උත්සාහ කරන්නේ යාපන රාජධානිය කාලිංගයට සම්බන්ධ කිරීමටත් කාලිංගයන්ට ද්‍රවිඩ බවක් ආරෝපණය කිරීමටත්.
කාලිංගය කියන්නේ ආන්ද්‍ර ප්‍රදේශයට උතුරින් වූ ප්‍රදේශයක්. එය අංග වංග පුණ්ඩ්‍ර සුංග රාජ්‍යයන් හා සම්බන්ධයන්. ඒ ප්‍රදේශවලට භාරතයේ වයඹ දිශාවට තරම් නැති වුවත් යම් ආර්ය සංස්කෘතියක් බුදුහාමුදුරුවන්ගෙ
කාලයෙත් පැමිණ තිබුණා. ආර්ය කියන්නේ සංස්කෘතික ව පැතිරෙන්නක් මිස ජානවලින් පැතිරෙන්නක් නො වෙයි. මා අංග වංග කාලිංග ආදී ප්‍රදේශ හඳුන්වන්නේ අර්ධ වෛදික කියා. ඒ වෛදික සංස්කෘතිය ඒ ප්‍රදේශවලට පැමිණෙමින් තිබූ නිසා. කාලිංගය අද හැඳින්වෙන්නේ ඔඩෙස්සා ඔරිස්සා ආදී නම්වලින්.
වෙල්ලාලයන්ට තම "ඉතිහාසය" සංගත ව ලියන්න බැහැ. විජය රජු හා උග්‍ර සිංහම් ඥාතීන් නම් ද්‍රවිඩ කතාව වෙල්ලාලයන්ට ලැබුණේ කවදා ද? එහෙමත් නැත්නම් කාලිංග වංග සියල්ලන් ම ද්‍රවිඩ ද? අනාර්ය යනු ද්‍රවිඩ පමණ ද? රාසනායගම්ට පළමුව මාලයේ
කියැවෙන්නේ උග්‍ර සිංහම් කදිරමාලෙයි සිට රාජ්‍යය සෙංකඩ නගරයට (මහනුවර) ගිය බවක්. කදිරමලෙයි කතරගම ලෙස ද හඳුනා ගෙන තියෙනවා. එහෙත් රාසනායගම් කදිරමලෙයි කදුරුගොඩ ලෙස හඳුනාගෙන රාජ්‍යය සිංගයිනගරයට (සිංගපුරයට) ගෙන ගිය බව කියනවා. මේ සිංහපුරය යාපනයේ ප්‍රදේශයක් බව කියනවා.
මේ
සිංහපුරය කවදා ඇති වුණු එකක් ද? රාජා ද සිල්වා මහතාගේ ලිපියට අනුව නාගලිංගම් මේ ප්‍රදේශය කාලිංග දේශය ලෙස හඳුනා ගන්නවා. මට ඒ ගැන නිශ්චිත ව කියන්න බැරි මා නාගලිංගම්ගේ ලිපිය කියවා නැති නිසයි. ඒ කෙසේ වෙතත් මේ සියල්ලෙන් කියැවෙන්නේ එක්තරා කාලයක යාපනය හරි ඒ අසළ ප්‍රදේශයක් හරි සිංහපුරය කාලිංග දේශය ලෙස හැඳින්වී තිබෙන බවයි. ඒ කවදා ද කියන එක නිශ්චිත නැහැ. එහෙත් ඒ පරාක්‍රමබාහු නිශ්සංක මල්ල රජවරුන්ට පෙර වෙන්න ඕන. අනුරාධපුර යුගයේ අවසානයේ වෙන්න ඉඩ තියෙනවා.
ඒ රජවරුන්ට පෙර කාලිංගයේ සිංහපුරයේ සිට පැමිණි පිරිසක් යාපනයේ යාපාවරුන් ලෙස කටයුතු කර ඇති බවයි මින් පැහැදිලි වන්නෙ. ඒ යාපාවරුන්ගෙන් පැවත එන, ඔවුන්ට ඥාති සම්බන්ධකම් තිබූ ඇතැමුන් පොළොන්නරුවේ රජ බවටත් පත් වී තියෙනවා. නිශ්සංක මල්ල රජු කාලිංග දේශයෙන් පැමිණ ඇතැයි යන්නෙන් කියන්නේ ඔහු ඒ යාපාවරුන් හිටි යාපනෙන් පොළොන්නරුවට ගොස් ඇති බවයි.
ඒ යාපාවරුන්ගේ රාජ්‍යය දෙමළ රාජ්‍යයක් බව පෙන්වීමට ලන්දේසීන්ට හා ඔවුන් ආනයනය කළ වෙල්ලාලයන්ට අවශ්‍ය වී ඇති බවයි රාජා ද සිල්වා මහතාගේ ලිපිය කියවන විට මට හැඟී ගියේ. කෙසේ වෙතත් යාපනයේ ද (යාපනය හරි අසළ ප්‍රදේශයක හරි) සිංහපුරයක් තිබූ බව පැහැදිලියි. ඉන් තහවුරු වන්නේ සිංහල කතාව ම මිස වෙනත් කතාවක් නො වෙයි.