Main Logo

Wednesday 12 July 2023

තිස්ස තිස්ස

 

තිස්ස තිස්ස

 

මිහිඳු මහා රහතන් වහන්සේ තිස්ස තිස්ස කියා කතා කරළ දැන් අවුරුදු දෙදහස් තුන්සීයක් පමණ වෙනවා. හරියට දවස මහාවංසය බලල දැන ගන්න පුළුවන්. ඒක විශ්වාස නැත්නම් ඇතැම් ඉන්දීය ලිපි ලේඛන බලන්න පුළුවන්. ඒවත් විශ්වාස නැත්නම් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නෙ නැත්නම් බලා කියා ගෙන එන්න පුළුවන්. එන ගමන් මිහින්තලේ ගිහින් රජරට විශ්වවිද්‍යාලෙ වැඳ පුදා ගෙන එන්න පුළුවන්. රජරට විශ්වවිද්‍යාලෙ විවෘත දිනය කවද දන්නෙ නැහැ. අවුරුදු විස්සකට විතර ඉස්සර නම් මා එහි දේශනයකට ගියා. කාලෙ හිටියෙ කවුද කියලවත් මට මතක නැහැ. ගුණමකු කමක් නිසා නො වෙයි. මගේ මතකය දුර්වල නිසා.

 

තිස්ස හැරෙන්න තවත් තිස්සලා ඉන්නවා කියල මිහිඳූ හාමුදුරුවන් ඇහුව බවට සාක්‍ෂියක් නැහැ. පස්සෙ කාලෙක කාකවර්ණ තිස්ස කියල කෙනෙක් හිටියා. එතුමා කළු කළු වෙන්න ඇති. කොහොමද එච්චර කළු වුණෙ? තිස්සත් අනෙක් තිස්සත් හැරෙන්න තවත් තිස්සල  ඉඳලා තියෙනවා. යටාල තිස්ස කෙනෙක් ගැන කියැවෙනවා. මොන තිස්සත් යටලු තිස්ස අත්තනායකට.

 

රනිල් ඔහුට තිස්ස තිස්ස කියල කතා කරනවා දන්නෙ නැහැ. ඇමතිකමක් දෙන්න නොවෙයි. රනිල් පොහොට්ටුවට තවත් ඇමතිකම් දෙන්නෙ නැද්ද? දේවානම්පිය තිස්ස රජු තිස්ස තිස්ස කියනව ඇහුනම බය වුණා කියනවා යකෙක් කියල. කියන්නෙ කාලෙ යක්කු රජුට නමින් කතා කරල තියෙනවා. රජු යකුන්ට බය වෙලත් ඉඳල තියෙනවා. යක්‍ෂයො සිංහල ජාතියට අවශෝෂණය වෙන්න බොහෝ කල් ගිහින් තියෙනවා.

 

ඒත් දේවානම්පිය තිස්ස රජු දෙවරක් අභිෂේක කරල තියෙනවා. රනිලුත් දෙවරක් අභිෂේක වෙයි ? ඒක අහන්න ඕන තිස්සගෙන් තමයි. මොකක් වුණත් අශෝක රජුත් දෙවරක් අභිෂේක කරල. පළමු වර අශෝක ලෙස දෙවැනි වර දේවානම්පියදස්සි ලෙස. ඒක තරමක ගැටළුවක්. කතාව දීපවංසෙ තියෙනවා කියනවා. දේවානම්පිය අභිධානය දුන්නෙ දේවානම්පිය තිස්ස රජු ?

 

මේ ඉතිහාස කතා නිසා තිස්ස අත්තනායක යට යනවා. රනිල් දැන් දෙවැනි අභිෂේකයට සූදානම් වෙනවා. ඔහු කමිටුවක් පත් කරල. අභිෂේකෙට නො වෙයි. රට බංකොළොත් වුණෙ මොකද කියල දැන ගන්න. ඒක දැන ගන්න එක වැදගත්. ඒකට තිස්ස පත්කරල නැතුව වගේ. ඒක නම් එව්වර හොඳ වැඩක් නො වෙයි. මොනව වුණත් තිස්ස කාලයක් රනිල්ගෙ පක්‍ෂෙ ලේකම් වෙලා හිටියා.

 

තිස්ස කමිටුව පත්කිරිල්ලට විරුද්ධ වෙලා. ඔහු කියන්නෙ රට බංකොළොත් කෙළෙ පහුගිය අවුරුදු තුන හතරෙ බවත් කමිටුවට රට බංකොළොත් කරපු අය පත් කරන එක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් කියලා. ඒත් මා හිතුවෙ කමිටුවෙ ඉන්නෙ රට බංකොළොත් කළ අය නම් ඉන් කියැවෙන්නෙ හොරාගෙන් පේන ඇහිල්ලක් කියල.

 

අවුරුදු තුන හතරකින් රටක් බංකොළොත් කරනව කියන එක ලෙහෙසි පහසු දෙයක් නො වෙයි. රාජපක්‍ෂල දක්‍ෂයො වෙන්න ඕන.  කොහොම වෙතත් රට බංකොළොත් කරපු ක්‍රමය නම් අර ප්‍රබුද්ධ බුද්ධිමත් තරුණ පරම්පරාව දන්නවා. පරම්පරාව ජෙ ආර්ගෙ දරුවො. ඉතා බුද්ධිමත් අය. ඔවුන්ගෙ බුද්ධි ප්‍රභාවෙන් මුළු ලොව ඒකාලෝක වෙනවා.  ඔවුන් මේ දවස්වල කණස්සල්ලෙන් පසු වෙන්නෙ. මෙරට  බෞද්ධ සංස්කෘතිය මිහිඳූ මහා රහතන් වහන්සේගෙන් පස්සෙ ඇති වුණත් නැතත් සංස්කෘතිය නැති වෙයි කියල ඔවුන් බයෙන් ඉන්නෙ. ඇතැම් හාමුදුරුවරුන්ගෙ කල්ක්‍රියාව ගැන ඔවුන් විමසිල්ලෙන් ඉන්නෙ.

 

ජේ ආර්ගෙ දරුවො කියන්නෙ තමුන් අප වගේ ලිංමැඩියො නො වෙයි ලෝකෙ ගැන දන්න ප්‍රබුද්ධයන් කියලා. මා හිතන්නෙ තිස්සත් ඔවුන් ගැන දන්නවා කියා. ඔවුන්ට අනුව රාජපක්‍ෂලා හොරකම් කිරීම නිසා තමයි රට බංකොළොත් වෙලා තියෙන්න. තිස්ස දරුවන් වගේ ක්‍රමය කිවුවෙ නැතත් රාජපක්‍ෂලාට තමයි ඇඟිල්ල දික් කරන්නෙ. අනෙක් ඇඟිලි හතර දික් වෙන්නෙ මොන දිහාවට කියල  අහන්න එපා. ඕන නම් අහන්න ඇඟිල්ල හැරෙන්න තවත් ඇඟිලි තියෙනවා කියා. ඒකට තිස්ස දෙන උත්තරේ මහාවංසයෙ ඊළඟ කොටසින් බලා ගන්න පුළුවන්.

 

2010 -– 2015 කාලයෙත් රාජපක්‍ෂලා හොරකම් කරල රට බංකොළොත් කරන්න ඇති. වාසනාවකට අපි දන්නෙ නැතුව රනිල් යහපාලන කාලෙදි බංකොළොත් බවෙන් අප නිදහස් කර ගන්න ඇති. රාජපක්‍ෂල 2019න් පස්සෙ විතරක් හොරකම් කරාවියැ. අර ජේ ආර්ගෙ දරුවන් රනිල්ට කියන්නෙ රනිල් රාජපක්‍ෂ කියල නොවැ. 2015 ඉස්සෙල්ල රට බංකොළොත් කිරීම ගැන රනිල් මොකුත් කියන එකක් නැහැ. රාජපක්‍ෂලා ආරක්‍ෂා කරන්න එපායැ.

 

මේව ලියන එකෙන් ජේ ආර්ගෙ දරුවො මා රාජපක්‍ෂවාදියකු කියල දහස්වැනි වතාවටත් තහවුරු කර ගනීවි. රාජපක්‍ෂලා හොරකම් කරල රට බංකොළොත් වුණා කියන නිගමනයට අපෝහකය යොදා ගෙන ආපු ඔවුන්ට මා රාජපක්‍ෂවාදියකු කියන නිගමනයට එන එක මොකක් ? ඒත් තිස්සට නම් ඕවයින් වැඩක් නැහැ.