මහාවංසය හා පඬි නැටි ප්‍රශ්න
එක් පඬි නැට්ටකු ඉතිහාසයට නව සුසමාදර්ශයක් යන මැයෙන් පැවැත්වෙන දේශන මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අසා තිබුණා. ඒ ප්‍රශ්නය මෙසේයි. “මහාවිහාරය ධර්මාශෝක රජුට ඇති මනාපය නිසා ඉන්දියාවේ ඒ කාලයේ එම වංශය ඉවර වී ඇති නිසා, ක්‍යෂපගේ ක්‍රියාව නිසා මහසෙන් රජුගෙන් මහවංශය ලිවීම නතර කලත්, මහාවිහාරය අඛණ්ඩව පවත්වගෙන ආපු ඉතිහාස සටහන් වල ධාතුසේන රජුගෙන් මෞර්ය වංශය කෘතිමව ලංකාවේ පැල කරන්න හදපූ බව හැගෙනවා නේද ?"
මේ
ප්‍රශ්නය අසන්නේ කුමකට ද යන්න පැහැදිලියි. ලියා ඇති දෙය පැහැදිලි නැති වුවත් කියන්න හදන්නේ කුමක් ද යන්න තරමකට තේරුම් ගන්න පුළුවන්. මට තේරෙන විධියට ඔහු කියන්නේ මෙයයි. සමහර විට මා වැරදි වෙන්න පුළුවන්. එසේ නම් වරද ප්‍රශ්නය අසන්නා අත ම බව කියන්න ඕන. මහා විහාරය ධර්මාශෝක රජුට මනාපයි. මහාවංසය ලියපු කාලය වෙන විට මෞරය වංශය දඹදිවෙන් තුරන් වෙලා. කාශ්‍යප රජුගේ ක්‍රියාව නිසා මහාවංසය ලිවීම මහසෙන් රජුගෙන් නවත්තලා. ඒත් මහාවිහාරය අඛණ්ඩ ව පවත්වාගෙන ආ ඉතිහාස සටහන්වල ධාතුසේන රජුගෙන් කෘත්‍රීම ව මෞර්ය වංශය ලංකාවෙ පැල කරන්න හදපු බවක් පේනවා නේ ද?
එහෙම
ලිවුවත් කියන්නෙ මොකක් ද කියන එක තේරුම් ගන්න අමාරුයි. මහාවිහාරය ධර්මාශෝක රජුට මනාප කියන එක පිළිගත්තා කියමු. මහාවංසය ලියපු කාලය වන විට මෞර්ය රාජ්‍ය අවසන් වී ඇති බවත් පිළිගනිමු. කාශ්‍යප රජුගේ ක්‍රියාව කුමක් ද? පීතෘ ඝාතනය යැයි කියැවෙන්න ද? ප්‍රශ්න විචාරකයා කාශ්‍යප රජු පිතෘ ඝාතනයක් කළ බව පිළිගන්නේ ද? ඒ එසේ නම් මහාවංස කතෘ හිමියන් මහාවංසය ලිවීම මහසෙන් රජුගෙන් නතර කෙළේ ඒ නිසා ද? එහෙත් මෞර්ය වංශය ලංකාවෙ පැළ කරන්න ධාතුසේන රජු කෘත්‍රිම ව මෞර්ය කළා ද?
පඬි
නැට්ටාට අවශ්‍ය බොහෝ සිංහල බෞද්ධ විරෝධීන්ට මෙන් ම මහාවංසයට පහර ගැසීම බව පැහැදිලියි. එහෙත් ඔහු නොදන්නා කරුණ නම් ධාතුසේන රජුගේ පියා මෞර්ය වාංශිකයකු බව. මහාවිහාරය ධාතුසේන රජුට මෞර්ය වංසයක් පටබැන්දා නො වෙයි. ධාතුසේන රජුගේ පියා දඹදිවින් ලංකාවට පැමිණි මෞර්ය වාංශිකයෙක්. පරණවිතාන මහතා තම ග්‍රීකයෝ හා මෞර්යයෝ කෘතියේ සඳහන් කරන පොත්වලට අනුව නම් පූණ්ඩ්‍රා රාජ්‍යයෙන් පැමිණි මෞර්ය වාංශිකයෙක්. මේ ගැන මා පසුව දේශනයක දී විස්තර කරන්නම්. ඒ පැමිණි මෞර්ය වාංශිකයා මහානාම රජුගේ දියණිය සමග විවාහ වෙලා තියෙනවා. ධාතුසේන කුමරු ඒ විවාහයෙන් උපන් පුතා. ඒ එක් කතාවක්. මොන කතාවෙදිත් කියන්නේ ධාතුසේන රජුගේ පියා මෞර්ය වාංශිකයකු බව. මෞර්ය රාජ්‍යය නැති වීම හා මොෟර්ය වංශය නැති වීම කියන්නෙ එකක් නොව දෙකක්.
මහාවංසය මහසෙන් රජුගෙන් නතර කරන්නේ එය වංස කතාවක් එහෙමත් නැත්නම් වෙනත් දේත් අඩංගු ඉතිහාසයක් නිසා. එය ලියා ඇත්තේ ඊනියා ඉතිහාසඥයන්ට නොවෙයි. හුදී ජන පගන් සංවේගය සඳහා. මහාවංස කතෘ හිමියන් තීරණය කරල තියෙනවා වංසකතාව තමන් වහන්සේ වැඩ විසු යුගයට පෙර නවත්වන්න. තමන් වහන්සේ වැඩ විසු යුගය ගැන ලිවීම අද්‍යතන (වර්තමාන) කතාවක්. මහානාම රජු ධාතුසේන රජු ආදීන් එකල හැටියට අද්‍යතන යුගයට අයත් අය. ඒ නිසා මහසෙන් රජුගෙන් කතාව නැවැත්තුවා මිස කාශ්‍යප නිසා නැවැත්තුවා නො වෙයි.
මේ
ප්‍රශ්න විචාරකයා යොමු කර ඇති තව ප්‍රශ්නයක්. "මහාවංසය ලියන්නත් පාදකකරගත් පුරාණ සිහල කතා,අට්ඨ කතා නිසා,එකල බහුතර සාමාන්‍ය සිංහල ජනතාව මෞර්ය වංශිකද? නැත්නම් දීපවංසය වගේ දෙයක් ලියන්න කිව් ධාතුසේන රජුගේ හැංගිලා තිබ්බ උභයකුල පාරිශුද්ධ එක් ලේ ධාතුව පමණක් මෞර්ය
වංශිකද?” මේ ද්වේෂය පදනම් කර ගත් කතාවක්. බහුතර සිංහල ජනතාවගේ වංශයක් ගැන නොවෙයි මෙහි කියැවෙන්නේ. රාජ වංශයක් ගැන. ලංකාවේ විවිධ වංශවල රජවරු ඉඳලා තියෙනවා. මහාවංසයට අනුව ඉන් මෞර්ය වංශය ප්‍රධාන කොට සැලකී ඇති බව පමණයි මා කියන්නේ.
ඉංගිරිසි ඉතිහාසය ගැන අබමල් රේණුවක්වත් දන්නවා නම් 1053න් පසුව ඉංගිරිසි ජාතිය සඳහා පදනම වැටුණු බවත් ඉන් පසු විවිධ වාංශිකයන් එංගලන්තයේ රජ වී ඇති බවත් දැන ගන්න ඕන. ජාතියක හරි ජන කොටසක හරි අනන්‍යතාව එකක් රජවරුන්ගේ වංශය තව එකක්. දඹදිව හා අප අතර ඇති වෙනස වනනේ දඹදිව ඉංගිරිසින්ට යටත්වීමට පෙර ජාතියක් කිසි දා නොතිබීමත් තිබුණේ වාංශික රාජ්‍ය පමණක් වීමත්. ඉංගිරිසින් විවිධ වංශවල රාජ්‍ය එකතු කර නෛතික ජාතියක් ගොඩ නැගුවා. 1947 දී එය කැබලි දෙකකට කඩා ඉන්දියාව හා පකිස්ථානය බිහි කෙරුවා. අද බංග්ලා දේශයකුත් තියෙනවා.
ලංකාවේ සිංහල ජාතියට විවිධ රාජවංශ තිබී තියෙනවා. අපි දේශන මාලාවේ දී ලම්බකර්ණ වංශය ගැනත් පසුව කතා කරමු. අපට අවසාන වශයෙන් හිටියෙ නායක්කාර් වාංශික රජවරු. සිංහල බෞද්ධ විරෝධීන් පඬි නැට්ටන් ද්වේෂ සහගත ව මහාවංසයට පහර දෙන්නේ මෙරට සංස්කෘතිය සිංහල බෞද්ධයන් විසින් නිර්මාණය කෙරී ඇති බව පිළිගැනීමට ඇති අකමැත්ත නිසා. ඔවුන්ට අවශ්‍ය මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු විශේෂිත බව නැති කිරීමට පමණයි.
සිංහල
බෞද්ධ සංස්කෘතිය මෙරටට විශේෂිත වූවක්. එය ලෝකයේ ඇති අනන්‍ය සංස්කෘතියක්. ලංකාවේ වෙන කිසිම සංස්කෘතියකට අවුරුදු හයසීයකට එහා යන අඛණ්ඩ ඉතිහාසයක් නැහැ. හැකි නම් සාක්‍ෂි සහිත ව පෙන්වන්න. පඬි නැට්ටන්ට අඛණ්ඩ යන වචනය තේරෙන්නේ නැති බව මා අත්දැකීමෙන් දන්නවා. අඛණ්ඩ කියන්නේ වෙනස් නොවන යන්න නො වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියට අවුරුදු දෙදහස් ගණනක අඛණ්ඩ ඉතිහාසයක් තියෙනවා. එයින් කියැවෙන්නේ ඒ සංස්කෘතිය වෙනස් වී නැති බවක් නො වෙයි.
අනෙක්
අතට ලංකාවේ ඇති අනෙකුත් සංස්කෘතීන් විවිධ රටවල විවිධ සංස්කෘතීන්ගේ අනුකරණ පමණයි. ඉන්දියාවේ ඇති හින්දු කෝවිල් තමයි ලංකාවෙ තියෙන්නෙත්. ක්‍රිස්තියානි පල්ලි ඉස්ලාම් පල්ලි ගැනත් කියන්න තියෙන්නෙ එවැන්නක්. එහෙත් සිංහල බෞද්ධ ආකෘතියේ පන්සල් දාගැබ් බෝධි වන්දනා තියෙන්නෙ වෙන මොන රටේ ද? තිබුණත් ඒ සිංහල බෞද්ධ සංස්කෘතියෙ ආභාසයෙන් නිර්මාණය කර ගත් දේ. අප තැනූ වැවු ඇත්තෙ කාම්බෝජයේ. ඒ ආකෘතිය සිංහලයන්ගෙ. ලංකාව හා කාම්බෝජය අතර ඇති ඓතිහාසික සම්බන්ධය හරිහැටි අධ්‍යයනය කෙරි නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතිය අපේ ම නිර්මණයක්. පඬි නැට්ටන්ට මෙන් නොව අපට ඒ ගැන ඇත්තේ අභිමානයක්.
මහාවංසයේ අඩුපාඩු තියෙනවා. එළාර දෙමළ ලෙස හැඳින්වීම එකක්. පසුව චූලවංසය කාශ්‍යප පීතෘ ඝාතකයකු ලෙස හඳුන්වනවා. මට තේරෙන විධියට එළාර වත්මන් මුම්බායි පැත්තෙන් පැමිණි පාතියන් ජනකොටසට අයත් අයෙක්. පාතියන් කියන්නෙ පර්සියාවෙ ජනකොටසක්. මහාවංසයේ යක්‍ෂයන් අමතක කරනවා. යක්‍ෂයන් ද පර්සියාවෙන් දඹදිවට පැමිණ පසුව ලංකාවටත් පැමිණි ජනකොටසක්. ඔවුන් පාතියන්වරු දඹදිවට පැමිණීමට පෙර පැමිණි අය වෙන්න ඕන. අදත් යක්‍ෂයන් ඉන්දියාවේ සුළු ප්‍රතිශතයක් ලෙස නමුත් ඉන්නවා. අපි මහාවංසයේ අඩුපාඩු හදා ගනිමු. එහෙත් මූලික වශයෙන් මහාවංසය මෙරට රජවරු ගැන කියනවා. එහි මෞර්ය වාංශික රජුන්ගේ වංශය තමයි ප්‍රධාන වන්නෙ. එහෙත් අනෙක් වංශ ද රජ කර තියෙනවා. මහාවංසය යන්නෙන් මා චූලවංසය ද සලකනවා. අප මහාවංසයෙ අඩුපාඩු දකින්නේ ශ්‍රද්ධාවෙන් මිස ද්වේෂයෙන් නො වෙයි.