Main Logo

Sunday 9 July 2023

ගෝඨාභය වෙනුවෙන්

ගෝඨාභය වෙනුවෙන්

 

මා දන්නවා මේ ලිපිය ලිවීමෙන් මා ඊනියා බුද්ධිමතුන් උගතුන් හෙවත් පඬි නැට්ටන් අතර පමණක් නොව ඇතැම් ජාතිකවාදීන් හා තවත් අය අතරත් තව තවත් ගර්හාවට පාත්‍ර වෙන බව. එහෙත් මා ජීවත් වන්නේ කිසිවකුගේවත් ගෞරවයට පාත්‍රවීම අරමුණු කර ගෙන නො වෙයි. මගේ ජීවිතයේ අවසන් කාලයේ බලාපොරොත්තුව වන්නේ මා මියගිය පසු භාර්යාව දරුවන් ඥාතීන් හා හිතමිතුරන් පාංශුකූලය දීමෙන් පසු කතාවලින් තොරව (භික්‍ෂූන් වහන්සේගේ හෝ ගිහියන්ගේ හෝ, ගුණ හෝ අගුණ හෝ) පින් පමුණුවා සිරුර ආදාහනය කිරීමයි. පින් පැමිණවීමක් අවශ්‍ය වන්නේ මා සසර ගැන විශ්වාස කරන මෝඩයකු නිසා යම්කිසි ආකාරයකින් චුති චිත්තය අනුව ලැබෙන්නේ පිං බලාපොරොත්තුවන භවයක් නම් පිංකම බලා පහන් සිත් ඇති කර ගැනීමටයි. ගුණ හෝ අගුණ හෝ කතා කිසියම් භවයක සිට අසන්න ලැබුණොත් මට අකුසල් සිත් පහළ වේවි.

 

මා විද්‍යාඥයකු නොවන නිසාත් පඬි නැට්ටකු නොවන නිසාත් නොදත් දොස්තර කෙනකු නොවන නිසාත් තාර්කික ජාතිකවාදියකු නොවන නිසාත් ඉන්ද්‍රිය ගෝචර නොවන දේ විශ්වාස කරනවා. බුද්ධිමතුන් නම් බටහිර විද්‍යාඥයන් ශාස්ත්‍රඥයන් කියන දේ විශ්වාස කරනවා. ඔවුන් අයින්ස්ටයින් කියන ගුරුත්වජ තරංග (Gravitational Waves) විශ්වාස කරන්නේ අදාළ පර්යේෂණ කර නො වෙයි. විද්‍යාවේ පූජකවරුන් කියන නිසා. ඔවුන්ට බුදුහාමුදුරුවන්ට වඩා අයින්ස්ටයින් විශ්වාසයි. ඔය කිසිවකුට ගුරුත්වාකර්ෂණ බලය දැනිලා නැහැ. එය ඉන්ද්‍රිය ගෝචර නැහැ. එහෙත් ඔවුන් එය විශ්වාස කරනවා.

 

දිනක් මා කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්යවරයකුට කිවුවා ගුරුත්වාකර්ෂණ බලය ගෝචර වන ඉන්ද්‍රිය පෙන්නන්න කියා. ඔහු ලජ්ජාවෙන් මෙන් යන්න ගියා. ඔහු ඉන්ද්‍රිය මට පෙන්වීමට අකමැති වුණේ ඇයි කියා මට තාමත් හිතා ගන්න බැහැ. ඔහුත් මෙරට අනෙක් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් මෙන් දැනුමට යමක් එකතු කර නැහැ.  අනෙක් උගතුනුත් එහෙම තමයි.     

 

මා රටට වැඩක් කළ අයකු නොවෙයි. මා යම් යම් අදහස් පළ කර තියෙනවා. එපමණයි. මා මිය ගිය පසු භාර්යාව දරුවන් ඇතුළු ඥාති මිත්‍රයන් අවශ්‍ය දේ කරාවි. අනෙක් අය තව තවත් බනීවි. ජීවත් වන විට කිසිම ගෞරවයක් බලපොරොත්තු නොවන මට මිය ගිය පසු අවශ්‍ය කරන ගෞරවය මොකක් ? අවසන් කටයුතුවලට සහභාගි වන පිරිස අඩුවන තරමට හොඳයි.

 

පඬි නැට්ටන් මා ගැන දන්නේ මා බටහිර දැනුමට බණින එහෙත් යොදා ගන්නා, බටහිරට බණිමින් එහි ජීවත්වන කුහක මිථ්‍යා මතධාරී ලිං මැඩි මෝඩ රාජපක්‍ෂවාදියකු ලෙසයි. එමෙන් බටහිර දැනුමට බැණ බැණ දරුවන් බටහිර විශ්වවිද්‍යාලවලට යවා අධ්‍යාපනය ලබා දුන් කුහකයකු ලෙසයි. මට පුදුම රැකියාවකුත් නැතුව සිටි කලයක, රාජපක්‍ෂලාගෙන් ආධාරයක් ගන්න ඔවුන්ගේ ආණ්ඩුවකුත් නැති කාලයක දරුවන් පිටරට යැවීමට මට ලොතරැයි දිනුමක් ලැබීම ගැනයි. මේ ලිපියෙන් ඔවුන් මගේ කුහකකම හා මෝඩකම තවත් තහවුරු කර ගනීවි. මට කිසිවක් ප්‍රශ්නයක් නොවන්නේ මා උගතකුවත් බුද්ධිමතකුවත් නොවන බව මා දන්නා බැවින්. මට අවශ්‍ය නැහැ කියද්දී දුන් ආචාර්ය උපාධියක් නම් තියෙනවා. එහෙත් මා විශ්වවිද්‍යාල දෙකකට එපා වූ අයෙක්. තුන්වැන්නෙන් ගර්හාවට ලක් වූ අයෙක්.

 

අපට කිසිම චංචල නිශ්චල දේපොළක් නැහැ. තිබූ සියල්ල අයට දී අවසන්. රන් භාණ්ඩ විකුණා මුදල් රණවිරු ආබාධිතයන් බලා කියා ගන්නා තැනකට දුන්නා. අපට දැන් ඇත්තේ ඇඳූම් පැලඳුම් කිහිපයක් හා ගෘහභාණ්ඩ කිහිපයකුත් ස්ථාවර තැන්පත් කිහිපයක් පමණයි. අප අදාළ පොළියෙන් ජීවත් වෙනවා.  පහුගිය දා ස්ථාවර තැන්පත් ගණනාවක පොළිය තුනෙන් එකකින් පමණ අඩු වුණා. නැතත් දරුවන් අප රැක බලා ගනීවි. අප දැන් ඔවුන්ගේ ගෙවල්වල මාරුවෙන් මාරුවට ජීවත් වෙනවා. ලංකාවෙත් ඉන්නවා. කුහක කමක් වෙන්න ඇති.

 

මා ගෝඨභාය රාජපක්‍ෂ සමග වචන සීයක් හමාරක් කතා කර ඇති. මා ඔහු හමුවී ඇති වාර ගණන අත් දෙකේ ඇඟිලි ගණනටත් අඩුයි. බැසිල් ගැනත් කියන්න තියෙන්නේ එවැන්නක්. චමල් දෙසැරයක් හමුවෙලා තියෙනවා. අර චම්පකලාගේ ඡායාරූපයේ මා බුලත් දෙන නාමල් මට එක් වතාවක්වත් හමු වී නැහැ. මට කලින් කිවුවා නම් ඡායාරූපය එයට වඩා  "තාත්වික" හදල දෙන්න තිබුණා. ඡායාරූපයෙ මගේ ජාතික බැනියමේ අත් පියවලා තිබුණෙ. මට මහින්ද පමණක් කිහිප වතාවක් හමු වී තියෙනවා. ඒත් මට ඔහුට බුලත් දෙන්න බැරි වුණා.  මහින්දට හා ගෝඨාභයට පමණක් යම් ජාතිකත්වයක් තියෙනවා. චමල් ගැන මා දන්නේ නැහැ. අනෙක් අයට නම් කිසිම ජාතිකත්වයක් නැහැ. අනෙක් අය නිසා තමයි 2015 දී පරාජය වුණේ.

 

මා රාජපක්‍ෂවාදියකු වන්නේ අයුරින්. මහින්දටත් 2005 දි ජාතිකත්වයක් තිබුණෙ නැහැ. එහෙත් ජාතිකවාදීන්ට පුළුවන් වුණා ඔහු ජාතිකත්වයට ගන්න. ජාතිකවාදීන් මහින්දවාදීන් වුණා නොව මහින්ද ජාතිකවාදියකු වුණා. ඔහුත් ගෝඨාභයත් සරත් ෆොන්සේකාත් එක් වී දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදීන් හමුදා මෙහෙයුම්වලින් පරාජය කළා. සරත් ෆොන්සේකා හා රාජපක්‍ෂලා දෙදෙනා අතර විරසයක් ඇති වුණා. බටහිරයන් සරත් ෆොන්සේකා සියලු ඊනියා මානව අයිතිවාසිකම් චෝදනාවලින් නිදහස් කළා. එහෙත් මහින්දටත් ගෝඨාභයටත් නිදහස දුන්නේ නැහැ. බටහිරයන් ඔවුන් දෙදෙනා පමණක් දේශපාලනයෙන් අයින් කළා. බැසිල් නාමල් චමල් තවමත් දේශපාලනයේ යෙදෙනවා. කොහොම ? හොරු මහින්ද හා ගෝඨාභය පමණක් ?

 

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීම වරදක් නම් එහි වරද මා භාර ගන්නවා. එසේ කරන්නේ මා තනිව ඔහු ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කළ නිසා නො වෙයි. අනෙක් අය වගකීම භාර නොගෙන ගෝඨාභයට බණින නිසා. එහෙත් මා හිතන්නේ නැහැ අප කිසිවකු වරදක් කළා කියා. මට නම් ගෝඨභයට බණින්න දෙයක් ඔහු අතින් සිදු වී නැහැ. එක් සුපිරි ජාතිකවාදියකු  කිවුවා මා ගෝඨාභයට නොබැණීමට මට විශේෂ හේතුවක් ඇති කියා. ඔහු අදහස් කරන්න ඇත්තෙ තානාපතිකම. මා තානාපතිකමක් තියා තේ කෝප්පයක්වත් බලාපොරොත්තු වුණෙ නැහැ. මා ජයග්‍රහණයෙන් පසු ඔහුට සුබ පතන්නවත් ගියේ නැහැ.

 

එහෙත් දිනක් ඔහු මා දුරකතනයෙන් අමතා ආණ්ඩුකාර ධුරයක් දැරීමට කැමති කියා ඇහුවා. මා එය එසැණින් ප්‍රතික්‍ෂෙප කළා. පසුව දවසක ඔහු මගෙන් ඇහුවා තානාපති ධුරයක් භාර ගන්නවා කියා. මා බටහිර රටක් ඉල්ලුවේ නැහැ. රූසියාව චීනය කියුබාව ඉල්ලුවෙත් නැහැ. සමාජවාදී රටවල් නොවන බවත් පඬි නැට්ටන්ගේ හිත සුව පිණිස කියන්න ඕන. මෝදිගෙ ඉන්දියාවත් මට අවශ්‍ය වුණේ නැහැ. මා කිවුවේ ථෙරවාදී රටක නම් පිළිගන්නම් කියා. අපට තානාපති සබඳකම් තියෙන ථෙරවාදී රටවල් ඇත්තෙ දෙකයි. මියන්මා හා තායිලන්තය. තායිලන්තයේ තානාපතිනියක් හිටියා. මට මියන්මා පත්වීම ලැබුණා.

 

ඒත් කොවිඩ් කාලෙ. මාස කිහිපයක් ගත වී තමයි මියන්මා යන්න ලැබුණෙ.  මෙරට ඉගෙන ගත් මියන්මා භික්‍ෂූන්වහන්සේ ආපසු වැඩම කරවීමට එවා තිබූ විශේෂ ගුවන් යානයක අසුන් වෙන් කරවා ගෙන. මියන්මා ගිහිනුත් මාස හතරක් පමණ යන තුරු අක්තපත්‍ර දෙන්නවත් බැරි වුණා. නිල වශයෙන් තානාපති වුණත් කොවිඩ් නිසා කිසිවක් කර ගන්න බැරි වුණා. අක්තපත්‍ර භාර දී  මාස දහයකට පමණ පසුව යම්තම් ගමනක් බිමනක් යන්න අවස්ථාව ලැබීමෙන් පසු එරට ලංකා තානාපති කාර්යාලය අසළ පිහිටි ෂ්වේදගොන් චෛත්‍යය වැඳ පුදා ගත්තා. තපස්සු භල්ලුක මියන්මා දේශයට ගිය තැන පිහිටි විහාරයටත් ගියා.

 

පොල් කර්මාන්තය රෝහල් සංචාරක ව්‍යාපාරයක් ඇරඹීම මෙරට පාසල් ශාඛා මියන්මාහි ඇති කිරීම ආදිය ගැන සුම් මගින් සකච්ඡා කළා. ථෙරවාදී රටවල තානාපතිවරුන් සමග ජාලයක් හදා ගන්න මූලික සාකච්ඡා ආරම්භ කළා. එහෙත් එය ඊට ඉහළ මට්ටමකින් සිදු වෙන්න ඕන.  මටත් භාර්යාවටත් කොවිඩ් වැළඳුනා. මා මරණයේ එළිපත්ත පාගා 2021 සැප්තැම්බරයේ ආපසු ලංකාවට පැමිණියා. බලාපොරොත්තු වූ කිසිවක් කරගන්න ලැබුණේ නැහැ. මියන්මා ඉතිහාසය ගැන නම් යමක් කමක් දැන ගත්තා. ගැන පසුව.

 

එන විට ලංකාවේ ප්‍රශ්න ඇති වේගෙන එනවා. 2022 මාර්තු වන විට ප්‍රශ්න ඔඩු දුවලා. කිහිප දෙනකු සුවාදීන වෙලා ආණ්ඩුවේත් නැති විපක්‍ෂයේත් නැති ගන්ධබ්බ තත්වයකට පත් වුණා. රනිල් කල් යල් බලා පාර්ලිමේන්තුවට ආවා. රාජපක්‍ෂලා හොරු බව රට දැනගත්තා. සියල්ලට වැරදිකරු ගෝඨාභය වුණා. පරගලය පටන් ගත්තා. ආතල්ගමට නළු නිළියන් ප්‍රබුද්ධ ගායක ගායිකාවන් ගේහ පද රචකයන් කාදිනල්තුමා පූජකවරුන් ආදීන් යන්න එන්න පටන් ගත්තා. බිරියානි වටලප්පන් දෝරේ ගැලුවා. එය රනිල් බලයට පත් කිරීම සඳහා බටහිරයන් කළ සැලසුමක් බව පෙනී ගියා. අදින් අවුරුද්දකට පෙර ගෝඨාභය ජනාධිපති මැදුරෙන් නික්ම ගියා.  ඔහු මොන තරම් අපරාධ කාරයකු කියනවා නම් මෙරට ගුවන් සේවය ඔහු මාලදිවයිනට රැගෙන යෑම ප්‍රතික්‍ෂෙප කළා. අවසානයේ දී ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට ගොස් එතැනින් සිංගප්පුරුවට ගියා.

 

අද ඔහු ආපහු ඇවිත්. එහෙත් ඔහු කළ අපරධ නිසා කිසි අපරධයක් කර නැති ඇමරිකාව ඉන්දියාව වගේ රටවලට ඔහුට යන්න බැහැ. කුහක මා ඇමරිකාවේ අපේ ළදරු මිණිබිරියගේ සුරතල් බලමින් ඉන්න අතර ලිපි ලියනවා. බටහිරට බණිනවා. ඉතිහාස හිතළු ගොතනවා. අතර අයින්ස්ටයින් කතිරය (Einstein Cross) ගැන ඉඳහිට හිතනවා. විවට්ට කප්ප සංවට්ට කප්ප විශ්වය බටහිරයන්ට ඒත්තු ගන්නන්න පුළුවන් කියා හිතනවා.  එහෙත් ගෝඨාභයට තම මිණිබිරිය බැලීමට ඇමරිකාවට යන්න බැහැ. පඬි නැට්ටකු කියවි පුතාට ලංකාවට එන්න කියන්න කියා. එහෙත් අපට ලැබෙන අධ්‍යාපනය ආකල්ප ආදිය නිසා එහෙම කරන එක පහසු නැහැ.

 

ගෝඨාභය කළ වරද මොකක් ? අපේ ඉල්ලීමට එකඟ වී ඇමරිකන් රටවැසිකම අත්හැර ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වීම ? අපේ ඉල්ලීම කීවත් මා හිතන්නේ දැන් අප කියන්නේ මා විතරක් කියා. අන් අය ගෝඨාභයට පලු යන්න බණිනවා. අපේ බොහෝ අය එහෙම තමයි. එදා පරගලයේ නියමුවන් ලෙස පෙනී සිටි ඇතැමුන් අද ආතල්ගම පැත්ත පළාතෙ නොගිය අය වගේ හැසිරෙනවාගෝඨාභයගෙන් වැරදි තුනක් වෙලා තියෙනවා.  එකක් දරුවන් සන්දා සුපිරි ප්‍රජාතන්ත්‍රයක් ගෙන යෑම. දෙක විසිවැනි සංශෝධනය වෙනුවෙන් පෙනී සිටීම.

 

දරුවන් සන්දා ඔහු මානව හිමිකම් කැඩීමේ චෝදනාවකටවත් ලක් වෙන්න කැමති වුණෙ නැහැ. ජනාධිපති මන්දිරය වටලපු වෙලාවෙදිවත් ඔහු හමුදාවට අවශ්‍ය පියවර ගැනීමට අණ කෙළෙ නැහැ. අප්‍රේල් මාසයේ දී ම අද රනිල් කරන්නාක් මෙන් ආතල්ගම විසුරුවා හැරියා නම් ගෝඨාභය අදත් ජනාධිපති. එහෙත් බටහිර සැලැස්ම ක්‍රියාත්මක වුණා. සිංහල බෞද්ධ ජාතිකවාදී නායකත්වය ඉවත් කෙරුණා.

 

ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක කිරීමට පවුලෙන් සහායක් නොලැබුණා කියන එකයි මගේ විශ්වාසය. ජාතිකවාදීන් අද මොනවා කිවුවත් එදා ඔවුන්ගේ ඉල්ලීම උඩ මහින්ද අවසානයේ ගෝඨාභය ඉදිරිපත් කිරීමට කැමති වුණා. මහින්ද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී තම සහෝදරයා ජනතාවට භාර කර යන්න ගියා. දේශපාලන අත්දැකීම් නොතිබූ බණ්ඩාරනායක මැතිණිය අගමැතිණිය කෙළෙත් හේන්පිටගෙදර ඤාණසීහ හිමි ප්‍රධාන ජාතිකවාදීන්. එහෙත් ඇය පිටුපස ෆීලික්ස් ඩයස් වැනි පවුලේ සාමාජිකයන් හිටියා. එහෙත් ගෝඨාභයට පවුලේ සහාය ලැබුණේ නැහැ.

 

මගේ වැටහීම නම් ගෝඨාභය පවුලේ සහාය ලබා ගැනීමට විසිවැනි සංශෝධනය වෙනුවෙන් කටයුතු කළා කියා. එහි මූලික අරමුණ වුණෙ බැසිල්ගේ ඇමරිකන් රටවැසිකම ආරක්‍ෂා කර ගනිමින් දේශපාලනය කිරීමට ඉඩ සලසා දීම. ගෝඨාභය වෙනුවෙන් භික්‍ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් ඈත් කර ගත්තා. එහෙම කරළත් පවුලෙන් සහායක් ලැබුණෙ නැහැ. විවිධ බලාපොරොත්තු ඇති කර ගෙන සිටි අයත් ඔහුගෙන් ඈත් වුණා. ඔවුන් කියන්නේ ගෝඨාභය ඔවුන්ට සවන් නොදුන් බවයි.  අවසානයේ දී ඔහුට හිටියේ ජයසුන්දර සහ හමුදා හා බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනකු පමණයි.  ඔවුන් සමහර දෙනකු ඔහු නොමග යැවුවා.    

 

පොහොර තහනම ජාතිකවාදීන්ගේ ඉල්ලීමක් මත සිදු වූ දෙයක් ලෙසයි ජාතිකත්වයට පහර ගසන්න බලා ඉන්න අය පෙන්නුම් කරන්නෙ. ජාතිකවාදීන් එවැනි ඉල්ලීමක් කිසි විටෙකවත් කෙළේ නැහැ. එවැන්නක් කරනවා නම් කරන්නේ මා. එහෙත් මා කිසි විටෙකත් කිසිම ඉල්ලීමක් ගෝඨාභයගෙන්  කර නැහැ. පොහොර මාරුව කළ යුත්තේ සැලැස්මක් ඇතුව මිස ගහෙන් ගෙඩි එන්නාක් වගේ නො වෙයි. තහනම කරන අවස්ථාවේ මා හිටියේ මියන්මාහි.  තහනම හුදෙක් ජයසුන්දර විසින් ඩොලර් ඉතිරි කර ගැනීම සඳහා කරන ලද යෝජනාවක ප්‍රතිඵලයක් පමණයි. සියල්ල සිිදුවන්නේ ගෝඨාභයගේ වරදින් බව බටහිර ලණු නොවෙයි කඹ කෑ බුද්ධිමතුන් විශ්වාස කළා. හිතන්න මෙරට ගුවන් සේවය හොරකු හරි වෙන දෙයක් හරි කියා ගෝඨාභය ජනාධිපති මාලදිවයිනට ගෙන යෑම ප්‍රතික්‍ෂෙප කිරීම. අවස්ථාවෙත් ඔහු ජනධිපති. ඔහු තායිලන්තයට ගිය පසුයි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ. මා ඔහුට කිසිම උපදෙසක් දී නැහැ. මට උපදෙසක් දෙන්න අවස්ථාවක් තිබුණ නම් මා කරන්නේ පරගලය මැඩ පැවැත්වීමටත් කිසිම අවස්ථාවක ජනාධිපති ධුරයෙන් අස් නොවීමටත් කීම. බටහිර සැලැස්ම පරාජය කිරීමට ඉඩ තිබිය දී එසේ නොකිරීම තමයි සිදු වූ  තුන්වැනි වරද. බුද්ධිමතකු නොවන මා උපදෙස් දෙන්නේ කාට ?

 

එහෙත් මා චෝදනා කළ මූලික කණ්ඩායම් නම් අර සුවාදීන වෙච්ච අය. ඔවුන්ගේ අස්වීම  පරගලයට ශක්තියක් වුණා. ඔවුන් කළ යුතුව තිබුණේ ආණ්ඩුවේ හිඳිමින් අවශ්‍ය නම් මහින්ද වෙනුවට වෙනත් අයකු අගමැති බවට පත් කර ගැනීම. දිනේෂ් එකල අගමැති වුණා නම් දේශපාලන ගමන් මග වෙනස් වෙන්න ඉඩ කඩක් තිබුණා. එහෙත් එසේ වුණේ නැහැ. පොහොට්ටුව අද දිනේෂ් අගමැති ලෙස පිළිගන්නවා.

 

ගිය නුවණ අලි ඇතුන් ලව්වවත් අදින්න බැහැ කියල කතාවක් තියෙනවා. අලි නුවණක්, බටහිරයන්ගෙ නුවණක් හැටියට තමයි මේ සියල්ල සිද්ධ වුණෙ. මට රට ගැන මෙන් ගෝඨාභය ගැනත් තියෙන්නෙ කණගාටුවක්. ගෝඨාභයට බැණල තමන් වීරයන් වෙන්න හදන ජාතිකවාදීන් ගැන ඇත්තෙ පිළිකුළක්. අර පඬි නැට්ටන් ගැන කියන්න තියෙන්නෙ ඔවුන් බත්බැළයන් කියන එක නොවෙයි. ඔවුන් මාලුපාන්බැළයන්. ඒත් මාලුපාන්වල මාලු නැහැ.

 

අවුරුද්දකට පස්සෙ අද මොකක් වෙලා තියෙන්නෙ. අපි ජාමූලෙ ඩ්‍රම්ස්වලට නටනවා. බෙර පදේට කියන්න බැහැ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිඵල ටික කලක් යන විට දැනේවි. මට දැන ගන්න ලැබෙන විධියට හෝටල දේශීය සංචාරකයන්ගෙන් පිරෙනවා. ආණ්ඩුවට (රජයට) මුදල් නැති වුණාට යම් පිරිසක් අතේ මුදල් එකතු වෙනවා. පහළ මධ්‍යම පංතිය ආකල්ප වශයෙන් කොහොම වෙතත් වත්කම අතින් තව තවත් පහළට යනවා. දුගියන් කියන අය අන්ත දුගී වෙනවා. රාජ්‍ය අංශය වට්ටාවි. ආයෝජකයන් එන්න නම් කම්කරු නීති තද කරන්න ඕන. උප්පරවැට්ටි පෙන්නල රනිල් තව අවුරුදු පහක් ජනාධිපති වෙන්න බලාවි.

 

ඒත් අද පොලිස්පති තනතුරට කෙනකු පත් කර ගන්න බැරි වෙලා. වැඩේ සුපුරුදු පරිදි රනිල් ටිරාන් අලස්ට (වෙනත් අයකුට) භාර දීල කියල කියනවා. කාදිනල්තුමා ගැන කියන්නෙ මොකක් ? කොහොමටත් භික්‍ෂූන් වහන්සේ නිහඬ කිරීමක් සිදු වෙමින් පවතිනවා. උතුරු හා නැගෙනහිර පළාත්වල අමුතු ඉතිහාසයක් රනිල් කියනවා. ලයිට් හවුස් ඉතිහාසයක්. කතරගමත් අවුරුදු දෙදහසක් පරණ හින්දු කෝවිලක් කියල හොයා ගෙන. ගෝඨාභය ඉවත් කළ එක මොන තරම් දෙයක් ? ක්‍රම වෙනසක් ඇතිවෙලා.