Main Logo

Saturday 1 July 2023

ණයචක්ක පවත්තන සූත්තරය

 

ණයචක්ක පවත්තන සූත්තරය

 

ජාමූල කරන්නේ අප තව තවත් ණයකාරයන් බවට පත් කිරීම මිස අනෙකක් නො වෙයි. එය කරන්නේත් තම කොන්දේසිවලට අප යටත් කිරීමෙන්. ඔවුන් පළමුව අප ලවා රට බංකොළොත් බව ප්‍රකාශ කෙරෙවුවා. එය කෙළේ මහා බැංකුවට අවුරුද්දකට පමණ පෙර අධිපති ලෙස පත් කෙරුණු නන්දලාල් වීරසිංහ. ඔහු තනතුරට පත් කෙරුණේ ගෝඨාභය රාජපක්‍ෂ විසින්. ගෝඨාභයට උපදෙස දුන්නේ කවුද කියන එක ප්‍රශ්නයක්.

 

නන්දලාල් වීරසිංහ මහා බැංකුවට අලුත් කෙනකු නො වෙයි. ඔහු එහි ඉහළ තනතුරු දැරූ අයෙක්. ආර්ථික අර්බුදයට හේතුව රාජපක්‍ෂලා ගසා කෑම යන පට්ටපල් බොරුව නිර්මාණය කෙළේ කවුරුන් වුවත් එයින් නන්දලාල් වීරසිංහ වැනි මහා බැංකුවේ උසස් තනතුරු දැරූ අයත් වගකීමෙන් නිදහස් කෙරුණා. අය මහා බැංකුවේ සිටිය දී තමයි ප්‍රශ්නය උග්‍ර වුණේ. අධි පොළියට ස්වෛරී බැඳුම්කර මගින් වැඩියෙන් ණය ලබා ගත්තේ රනිල් අගමැති සිටි ජඩපාලන ආණ්ඩුවෙන්. නන්දලාල්ලා එයට විරුද්ධ වුණු බවට ආරංචියක් නැහැ.

 

මා දන්නවා මා මෙසේ කියන විට මා රාජපක්‍ෂවාදියකු හා තවත් කතා කියමින් මට උපහාස අපහාස කරන පඬි නැට්ටන් ඉන්න බව. එය මට ප්‍රශ්නයක් නො වෙයි. මා වැඩ කරන්නේ මගේ මරණයෙන් පසුවවත් ගුණකථනයක් කියවා ගැනීමේ අරමුණකින් නො වෙයි. ඔය එක ගුණකථනයකින්වත් මගේ සසර ගමන කෙටි කෙරෙන්නේ නැහැ. මා රාජපක්‍ෂවාදියකු වීම නොව වී ඇත්තේ මහින්ද හා ගෝඨාභය රාජපක්‍ෂ ජාතිකත්වය වෙනුවෙන් නායකත්වය දීමට පත්වීමයි. මහින්ද එතැනට තල්ලු කෙරුණේ ජාතිකවාදීන් විසින්.

 

අද නන්දලාල්ලා කරන්නේ මධ්‍යම පංතිය තව තවත් හුරතල් කිරීමක් පමණයි. මා මධ්‍යම පංතිය කියන්නේ ආකල්පමය මධ්‍යම පංතියකට. ඔවුන් දුගියන් වෙන්න පුළුවන්. එහෙත් ඔවුන්ට ඇත්තේ සමාජයේ ඉහළ නැගීමේ ආශාව. පඬි නැට්ටන්ටත් එහෙමයි. ඔවුන් තම උගත්කම ප්‍රදර්ශනය කරමින් හරි සමාජයේ ඉහළ වැජඹෙන්න උත්සාහ දරණවා. එය විවිධාකාරයෙන් වෙන්න පුළුවන්. සමාජයේ බොහෝ දෙනකුට මධ්‍යම පාංතික ආකල්ප තියෙනවා. කිසිවකු හරි කියනවා සමාජයීය විද්‍යා මානව ශාස්ත්‍ර උගතුන්ගේ දියණියන් විශ්වවිද්‍යාලයේ දී ඉංගිරිසි විශේෂ පාඨමාලා හැදෑරීමට ඇති සම්භාවිතාව වැඩිවන්නේ කෙසේ කියා.

 

මා කිසිවකුටවත් අපහාස උපහාස කරනවා නො වෙයි. මධ්‍යම පාංතික ආකල්ප සමාජයේ ඔඩු දුවා ගොස්. අපට අවශ්‍ය අප දන්නා හඳුනන අයට වඩා කිනම් ආකාරයකට හරි සමාජය උසස් යැයි සලකන දේ අත්පත් කර ගන්න. ලොකු ගෙයක් සුවපහසු මෝටර් රථයක් බටහිර දැනුම ගැන කියන්න හැකියාවක් ආදිය සඳහා උදාහරණ. අතර සමහරුන්ගේ මිතුරු සමාගම්වල එහෙමත් නැත්නම් කවවල සිංහල බෞද්ධ සංස්කෘතිය පාච්චල් කිරීම අපේ දැනුම මිථ්‍යා බව පැවසීම වැදගත්කමක් තත්වයක් ලබා ගැනීමට උදවු උපකාර වෙනවා.

 

මොනව වුනත් හොඳ සමාජ තත්වයක් කියන දේ ලබා ගැනීමට මුදල් අවශ්‍ය වෙනවා. එහෙත් අප මුදල් හොයන්නේ නැහැ. මුදල් හොයන්නේ නැහැ කියන එකෙන් මා අදහස් කරන්නේ රැකියාවක් නොකරන බව නො වෙයි. රැකියා කිරීමේ දී අප කරන්නේ වෙනත් අය හොයන මුදල් අප වැටුප් ලෙස ලබා ගැනීම. අප කරන නිෂ්පාදනයක් නැහැ. මධ්‍යම පංතිය නිෂ්පාදනයක් කරන්නේ නැති තරම්. මගේ ජීවිතයේ දී මා කළ නිෂ්පාදනයකුත් නැහැ. කොළඹ දී හා කැලණියේ දී උගන්වන්නේ නැතිවත් වැටුපක් ලබා ගත්තා. ජී එල් පීරිස් එයට කිවුවේ ජාතික චින්තනය උගන්වනවා කියා. ගුරුත්වාකර්ෂණ බලය නිවුටන්ගේ හිතළුවක් බව කී විට කැලණියේ ප්‍රබුද්ධ ආචාර්යවරු මට විරුද්ධ සිසුන්ට අත්පත්‍රිකා බෙදුවා රැස්වීම් තිබ්බා. ආසනික් ප්‍රහාරය මතක ?

 

අද මේ මධ්‍යම පංතිය ප්‍රසාරණය වෙලා ජනගහණයෙන් විශාල බහුතරය බවට පත්වෙලා. ඔවුන්ගේ ඕනෑ එපාකම් පිරිමහන්න ඩොලර් ඕන. නන්දලාල් ණය ලබා ගන්න ජාමුලෙත් එක්ක වැඩ. රනිල් තව තවත් ණය ගන්න මිසක් ණය ගෙවන්න දන්නෙ නැහැ. අද රට ආණ්ඩු කරන්නෙ ජාමුලෙ. රනිල් එහි නියෝජිතයා පමණයි. පාර්ලිමේන්තුව අද ජාමලෙ රබර් මුද්‍රාව බවට පත්වෙලා. සමහරවිට පාර්ලිමේන්තු ඉතිහාසයෙ වෙනත් අයකු වෙනුවෙන් පාර්ලිමේන්තුව සෙනසුරාදා දිනයක පළමු වතාවට රැස්වෙන්නෙ අද වෙන්න පුළුවන්.

 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන විට ණය හිමියා බලවත් වෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන විට ණය කාරයා බලවත් වෙනවා. ඔය මොන කතා කිවුවත් අපේ අරමුදල්වලට ලැබෙන පොළිය අඩුවෙනවා. මධ්‍යම පංතියට ඉන් පාඩුවක් වෙනවා. තාවකාලික ඒක වහා ගන්න විදුලි බිල අඩු කරන්න පුළුවන්. එහෙම නැත්තන් වෙන මොකක් හරි උප්පරවැට්ටියක් කරන්න පුළුවන්.

 

ඒත් කෝ නිෂ්පාදනය. පොල්පොට් කළා වගේ මධ්‍යම පංතිය බලෙන් කුඹුරට යවන්න බැහැ. අපට ආයෝජකයන් එන්නෙ නැහැ. ආයෝජන මණ්ඩලය අවුරුදු තිහක හතළිහක කාලයක ආයෝජකයන් කීිදෙනකු ආනයනය කළා ? පඳුරකට ගැහුවත් ආර්ථික විද්‍යාඥයන් කිහිප දෙනකු විසිවෙන රටක නිෂ්පාදනයක් කරන්නෙ කොහාමද කියල දන්න අයෙකු නැහැ. දන්න එකම දේ වැඳලා හරි තව තවත් ණය ගන්න එකයි උප්පරවැට්ටියක් කරන එකයි. මෙය ණය පවත්තන වැඩක්. අප චක්‍රයක යනවා. ණය පවත්තන චක්‍රයක්. ඒකත් සූත්තරයක්.