මගේ
ලෝකයට පසුවදනක්
මගේ ලෝකය ඊනියා උගතුන් අතරට නොගියාට ඊයේ (21) උදැසන මා ලියූ ලිපිය බොහෝ දෙනකු අතරට ගිහින් තියෙනවා. ඒ අය නූගතුන් වෙන්න ඇති. උගතුන් තුන් දෙනකු හැර අනෙක් අය වරදක් කියා තිබුණේ නැහැ. දේශපාලන විරුද්ධවාදීන් දක්වන අදහස් ගැන මා එතරම් උනන්දු වන්නේ නැහැ. ඔවුන් විරුද්ධ ලිපියට වඩා මට. ඔවුන් වැරදි මවනවා. සමහර විට ඔවුන්ට තේරෙන හැටි වෙන්න ඇති. අද දේශපාලනයේ ඔවුන්ට කළ හැකි දෙයක් නැහැ. පුද්ගලයකු පසුපස යෑම හැරෙන්නට ඔවුන්ට කළ හැකි දෙයක් නැහැ. පුද්ගලයා මාක්ස් ද ලෙනින් ද ට්‍රොට්ස්කි ද ස්ටැලින් ද මාඕ ද චේ ගෙවාරා ද නිවුටන් ද ඕපන්හයිමර් ද බෝර් ද අයින්ස්ටයින් ද විට්ගන්ස්ටයින් ද මෝදි ද රනිල් ද බැසිල් ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන්ට අවශ්‍ය පුද්ගලයකු පමණයි. මා බුදුහාමුදුරුවන් පසුපස යනවා කියා කිසිවකු කියන්න පුළුවන්. මා බුදුහාමුදුරුවන් තේරුම් ගන්න උත්සාහ කරනවා පමණයි.
මා
බුද්ධ දේශනාවෙහි දකින වැදගත් අදහස් දෙකක් ඇත්තේ මනොපුබ්බංගමා ධම්මා ගාථාවෙත් මේ සියල්ල බඹයක් පමණ වූ සිරුර තුළ පනවමි යනුවෙන් සඳහන් වන පාඨයෙත්. අනෙක්
අදහස් වැදගත් නොවන බවක් නොවෙයි මින් කියන්නේ. මගේ ලෝකය ආරම්භයේ ම සංයුක්ත නිකායේ සඳහන් මේ පාඨය උපුටා දැක්වෙනවා.
"ඇවැත්නි, මේ බඹයක් පමණ වු, සඤ්ඤාව හා මනස ද සහිත වූ ශරීරය තුළ ම මම ලෝකයත්, ලෝකය හට ගැනීමට හේතුවත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධයට හේතුවන ප්‍රතිපදාවත් පනවමි.”
මගේ
ලෝකය ඇත්තේ මාගේ ශරීරය තුළ ම මිස ඉන් පිට නො වෙයි. මා ලෝකය තනා ගෙන ඇත්තේ මගේ ශරීරයෙහි ම මිස ඉන් පිටත නො වෙයි. මගේ පංචෙන්ද්‍රිය හා මනස එහි දී බලපානවා. සඤ්ඤා ලැබෙන්නේ පංචෙන්ද්‍රිය මගින්. එහෙත් මනසක් නැත්නම් ඔය කිසිවක් නැහැ. මනොපූබ්බංගමා ධම්මා ආදී වශයෙන් කියන්නේ නිකම් නො වෙයි. ශරීරය යම් අවස්ථාවක මිය යනවා. ශරීරය කිවුවට පවතින ශරීරයක් නො වෙයි. වෙනස් වෙන ශරීරයක්. පංචස්කන්ධය ස්ථිර ව තියෙන එකක් නො වෙයි. එය (එහි කොටස් කියමු) ඇති වෙමින් නැති වෙමින් පැවතිලා යම් අවස්ථාවක ඇති වීම නවතිනවා. එවිට අපි මිය යනවා. දැන් මනසට මොකක් ද වෙන්නෙ. චිත්ත චෛතසික පරම්පරාව ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා. සිරුර මිය යෑමෙන් පසුවත් ඒ පවතිනවා. ඒ ඊනියා පැවතීම අපි මනස හරි ශරීරය හරි ආත්මය හරි වෙන මොන නමකින් හරි හඳුන්වනවා.
සිරුර
මිය යෑමත් සමග චිත්ත චෛතසික පරම්පරාව ඇති වීම නැති වීම නවතින්නේ නැහැ. ප්‍රශ්නය එයයි. වෙනත් විධියකින් කිවුවොත් මනස නැති වන්නේ නැහැ. මනස කිවුවට එයත් ඇති එකකුත් නො වෙයි. මනසත් අනෙක් දෑ මෙන් ම නිර්මාණය (සංස්කරණය) කෙරෙන්නේ මනස විසින්මයි. එහෙමත් නැත්නම් නැති මනසක් නැති මනසක් නිර්මාණය කරනවා. එය ඇති දෙවියන් වහන්සේ තමා නිර්මාණය කර ගන්නවා වගේ කතාවක් නො වෙයි. මෙහි මනස නිර්මාණය කෙරන්නෙත් නැති මනසක් විසින්.
බුදුහාමුදුරුවන් මා කියන විධියට ම දේශනා කර නැතිවා වෙන්න පුළුවන්. මා දන්නේ නැහැ. මා කරන්නේ බුදුහාමුදුරුවන්
තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. බුදුහාමුදුරුවන් තේරුම් ගැනීමට පුළුවන් බුදුන්වහන්සේ නමකට පමණක් ය කියා කියනවා. එය නම් මට තේරෙනවා. ඒත් බුදුහාමුදුරුවන්
තේරෙන්නේ නැහැ. මා අඩු තරමෙන් සෝවාන් වෙලාවත් නැහැ. මා කලින් කී පුද්ගලයන් ඔක්කො ම ඉන්නේ එක ම තැනක. ඔවුන්ගේ තේරුම් ගන්න දෙයක් නැහැ. ඔවුන් ලෝකයක් තියෙනවා කියා හිතාගෙන ඒ ලෝකය වැඩ කරන හැටි තේරුම් ගන්න, පාලනය කරන්න උත්සාහ කරනවා. ඇපල් පොළොවට වැටෙන හැටි, එකට නිර්මාණය වූ ක්වොන්ටම් අංශු (ක්‍ෂෙත්‍රවල උත්තේජන) ටික කලකට එකට බැඳී (පැටලී) ඇත්තේ කොහොම ද ආදිය තේරුම් ගන්න හදනවා. එහෙම නැත්නම් ඒ සඳහා ප්‍රවාද (කතන්දර) හදනවා. රනිල් බැසිල් වගේ අය ඔවුන්ගේ ලෝකවල කෙක්කෙන් හරි කොක්කෙන් හරි රජ වෙන්න හදනවා. අරුන් සිද්ධාර්ථන් වුණත් යොදා ගන්න පුළුවන් නම් යොදා ගන්නවා.
බුදුහාමුදුරුවන් ඔය සියල්ලන්ට ම වෙනස්. උන්වහන්සේ ඊනියා ලෝකයක සක්විති රජු වෙන්න ගියේ නැහැ. ඊනියා වාස්තවික ලෝකයක් තේරුම් ගැනීමට ගියෙත් නැහැ. වාස්තවික ලෝකයක් නැති බව දේශනා කළා. ලෝකයක් පවතින්නෙත් නැත නොපවතින්නෙත් නැත. පවතින්නෙත් නැති නොපවතින්නෙත් නැති
ලෝකයකට මොන කතන්දර හැදුවත් නිවනට ඇති වැඩේ මොකක් ද? අනිත්‍ය දුක්ඛ (හිස් බව) අනාත්ම දන්නෙ නැති නිසා අප ලෝක සංස්කරණය කරනවා. නැති මනස නැති මනසක් බව නොදැනීම නිසා අප නැති මනස පවත්වා ගෙන යනවා. දැනුම කියන්නෙ ම මනස්ගාතයක්. කවුද කියල තිබුණ මගේ ලෝකය මගේ මනස්ගාත කියල නම් කරල තිබුණ නම් උගතුන් ඒ ගැන කතා කරාවි කියලා.
බටහිර
විද්‍යාවෙ කතන්දර හදන්න බැරි බව තේරුම් ගැනීමෙන් පසු මා
බටහිර විද්‍යාව කියන්නෙ මොකක් ද කියා තේරුම් ගන්න උත්සාහ කළා. බටහිර විද්‍යාව තවත් සංස්කරණයක්, බොරුවක්. එහෙම කිවුවම බොහෝ දෙනකුට කේන්ති යනවා. ඔවුන් කියන්නේ මට කේන්ති යන බවයි. බටහිර විද්‍යාවෙ මූලික ව ම තියෙන චින්තනයක් තමයි යුදෙවු චින්තනය. යුදෙවුවන් හා වෙනත් ඒබ්‍රහිමික ආගමිකයන් අතර වෙනසක් තියෙනවා. යුදෙවුවන් දෙවියන් වහන්සේ තේරුම් ගැනීමට උත්සාහ කරනවා. බටහිර විද්‍යාඥයන් කරන්නෙ ඊනියා වාස්තවික ලෝකය තේරුම් ගැනීමට උත්සාහ කිරීම. මා කරන්නෙ බුදුහාමුදුරුවන් තේරුම් ගැනීමට උත්සාහ කිරීම. එය කරන්න නම් බුදු වෙන්න ඕන බවත් මා දන්නවා.
ඒ කොහොම වුණත් බුදුහාමුදුරුවන් බොහෝ ධර්ම දේශනාවල දි මූලික ම තැන්වලින් පටන් ගන්නෙ නැති බව මට තේරෙනවා. අඩු තරමෙන් බොහෝ ධර්ම දේශනාවල උන්වහන්සේ මුලට ම ගිගින් නැහැ. උන්වහන්සේ තණ්හාව ගැන දේශනා කරන්නෙ දුකට (හිස් බව නොවෙයි) හේතුව ලෙස. තණ්හාවට හේතුව මොකක් ද කියා බුදුහාමුදුරුවන්
හැම විට ම දේශනා කරල නැහැ කියලයි මා හිතන්නෙ. අපි පංචඋපාදනස්කන්ධවල අනිත්‍ය ගැන දන්නවා. අනිත්‍ය දේට තණ්හාවක් ඇති කිරීම වැඩක් නැති බව අපි දන්නවා. ඒත් ඇතැම් තැනක ශුන්‍ය හිස් බව ගැන දේශනා කළත් ඔය බොරු දැනුමක් ලෙස සංස්කරණය කර ගත් පංචස්කන්ධය ගැන තණ්හාවක් ඇති කර ගන්නෙ මොකට ද කියල බුදුහාමුදුරුවන්
අපෙන් අහල නැහැ
කියලයි මට හිතෙන්නෙ. සමහර විට තැනක දෙකක අහල ඇති. ඊට වඩා හොඳයි අනිත්‍යයෙන් කෙසේ වෙතත් නිත්‍ය නොවීමෙන් පටන් ගන්න එක. මනස ඇති වන්නෙ කොහොමද කියල දේශනා කරන්න උන්වහන්සේට අවශ්‍ය වුණෙ නැහැ. එහෙත් මා වැනි පෘථග්ජනයකු එවැනි ප්‍රශ්න අහනවා. ඒවට කතන්දරත් ගොතනවා, සසර දික්කර ගන්නවා.
මගේ
ලෝකය හා මගේ ලිපි පදනම් වන්නේ ඒ අදහස් මත. පෘථග්ජන මගේ මෝහය මත. බුදුදහම විඤ්ඤාණවාදීවත් භෞතිකවාදීවත් නො වෙයි. පවතින්නෙත් නැති නොපවතින්නෙත් නැති ලෝකයක් විඤ්ඤාණවාදී හරි භෞතිකවාදී හරි වෙන්නෙ කොහො ම ද? ලෝකය එ ගොඩටත් එහි විරුද්ධය වූ මේ ගොඩටත් බෙදන්නේ ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය මත පදනම් වෙලා. නිව්ටෝනීය භෞතික විද්‍යාව ඔය ද්විකෝටිකයෙ ම තමයි. බූලීය වීජයත් එතැනමයි. අද කවුරුත් බටහිර නැට්ටෙ එල්ලීම සඳහා කතා කරන ඩිජිටල් තාක්‍ෂණයත් එතැනමයි. අප කරන්නෙ අපට හැකි විධියට පඬි නැට්ටන් වීම පමණයි. ක්වොන්ටම් භෞතික විද්‍යාව නම් එතැනින් එහාට යන දෙයක්. එහෙත් බටහිර භෞතික විද්‍යාඥයන් එය ද්විකෝටිකය තුළ හිර කරන්න හදනවා. අපි ඕපන්හයිමර් බලමු.