Main Logo

Friday 7 July 2023

ණය නටාෂා හා ඌරෝ

 ණය නටාෂා හා  ඌරෝ

 

ඉතිහාසය ගැන තවත් බොහෝ දේ ලියන්න තිබුණත් සමකාලීන ඉතිහාසය ගැනත් යමක් කියන්න වෙනවා. මහානාම හිමියන් නම් සමකාලීන ඉතිහාසය ගැන සඳහන් කළ බවක් දැන ගන්න නැහැ. උන්වහන්සේ මහසෙන්ගෙන් නැවැත්තුවා. එහෙත් අපට සමකාලීන ඉතිහාසය ප්‍රධාන වෙනවා. සමකාලීන ඉතිහාසය යනු වත්මන් වගතුගයි. අද කතාබහට ලක්වෙන ප්‍රධාන කාරණය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙලා. මා දන්නේ නැහැ කතානායක තවම එයට අත්සන් කරල නැත්ද කියා. ඒත් එය රටේ නීතිිය වෙනවා.

 

නීතිය කියන්නෙ බටහිර සම්ප්‍රදාය අනුව පනවන දෙයක්. එය රෝමයන් පටන් ගත්ත දෙයක් ලෙසයි අපට කියා දෙන්නෙ. එහෙත් අපේ රටෙත් ඉන්දියාවෙත් (භාරතයෙත්) වෙනත් රටවලත් නීති තිබුණා. මනු නීතිය ගැන අප අහල තියෙනවා. අපේ රටේ නම් සිරිත් විරිත්. අපට සිරිත් ලේනා කියා අයකුත් හිටියා. ඔහු වත්මන් අරුතින් නම් නීතිපති කියන්න පුළුවන්. අපේ රටෙන් රෝමයට ගිය තානාපතිවරුන් ගැනත් සඳහන් වෙනවා. භාතිකාභය අභය රජු දවස රුවන්වැලි සෑය සඳහා පබළු ගෙන ඒමට.

 

එහෙත් අද රට බංකොළොත්. ණය ප්‍රතිව්‍යුහගත කිරීම තමයි කතාව. ණය ගෙවීම කල් දැමීම, ණය කපා හැරීම, පොළිය අඩු කිරීම ආදිය තමයි එහි දී කෙරෙන්නේ. විදේශ ණය සම්බන්ධයෙන් ණය කාරයා රජය. ණය හිමියන් විදේශවල විවිධ ආයතන. එහි දී ණය හිමියන්ට අවශ්‍ය අන්දමට බොහෝ දේ තීරණය වෙනවා. දේශීය ණය සම්බන්ධයෙන් ණය කාරයා රජය. ණය හිමියා දේශීය ආයතන. එහි දී ණය හිමියාට ඇති තැනක් නැහැ. සියලු තීරණ ගන්නේ ණය කාරයා.

 

දේශීය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ණය කාරයාට තමයි සියලු තීරණ ගන්න පුළුවන්. ණය කාරයා තමන්ට වාසි වෙන ආකාරයට තමයි කටයුතු කරන්නෙ. ණය කාරයා වෙනුවෙන් අද කටයුතු කරන්නෙ මේ ආණ්ඩුව. ආණ්ඩුව තමන්ට වාසි වෙන විධියට වැඩ කර ගන්න ඕන. ණය හිමියාට කරන්න පුළුවන් දෙයක් නැහැ. ආණ්ඩුව කියනවා ණය හිමියාට වරදක් වෙන්නෙ නැහැ කියා. එහෙම නම් වරදක් වෙන්නෙ ආණ්ඩුවට ? කාට හරි කියන්න පුළුවන් දෙපැත්තට පාඩුවක් නොවන ආකාරයට කටයුතු කරන බව. නිකම් සුරංගනා කතා පමණයි. ණය හිමියන් ලෙස විවිධ ආයතන පමණක් නොව පෞද්ගලික තැන්පතු හිමි අයත් පාඩු විඳින්න වෙනවා. ඉතා පැහැදිලි ස්ථාවර තැන්පතුවල පොලිය අඩු වෙන්න ඕනසමහර බැංකු ගිය මාසෙ මැද ඉඳලා පොලිය සියයට තිස්පහකින් පමණ කපා දාල. මේ දැනටමත් තියෙන තැන්පතු සඳහා නොවෙයි. අලුතෙන් කෙරෙන තැන්පතු සඳහා

 

මේ සියල්ල රට තමන්ට ඔරොත්තු නොදෙන විධියට වියදම් කළ නිසා. කොටින් මධ්‍යම පාංතික ආකල්ප සපුරාලන්න ගිහින්. බංකොළොත් වුණෙ මොකද කියල බලන්න කමිටුවක් පත් කරලා. අපරාද වැඩක්. රජයට තව කීයක් හරි වියදම් වෙන එක විතරයි. ඩොලර් හොයන විධියක් හා ඩොලර් මත පමණක් යැපෙන විධියක් කල්පනා කරන්න. අධි පරිභෝජනය නවත්තන්න. ආනයන අඩු කරන්න. අපනයන වැඩි කරන්න. ඒත් ජාමුල තම යෝජනා වෙන ඉදිරිපත් කරනවා. ආනයන කපා දානවට බටහිර රටවල් විරුද්ධයි.

 

මේ සියල්ලට ගෝඨාභයට බැණ බැණ ඉඳලා හරියන්නෙ නැහැ. ප්‍රශ්නය අවුරූදු හැත්තෑවක් පමණ ණය අරන් බොරු ෂෝක් කිරීම. ප්‍රශ්නය පැත්තකට දාල ගෝඨාභය එළවන්න කටයුතු කළා. බටහිර සැලැස්ම අනුව සිංහල බෞද්ධ ජාතිකත්වයට නායකයන් නැති කිරීමට. සිංහල බෞද්ධකමට පහර ගන්නෙ බොහෝ කාලෙක ඉඳලා. ඉංගිරිසින් යටතේ නම් බ්‍රවුන්රිග් කාලෙ ඉඳල. ඔහුට වුවමනා වුණෙ කහකඩ හමුදාව ඉවත් කරන්න.   කියන්නෙ හාමුදුුරුවරුන් ඉවත් කරන්න. කාලෙකට ඉස්සර කනින්ග්හම් කෙනකු කිවුව අනුරාධපුරේ තිබුනෙ දේවතන්ත්‍රයක් (Theocracy) කියලා. ඉංගිරිසින් බලන විධියට පූජකවරුන්ගෙ පාලන තන්ත්‍රයක් කියන එක. මෙරට භික්‍ෂූන් වහන්සේ කිසි දා පාප්තුමා මෙන් රටවල් පාලනය කෙළේ නැහැ. භික්‍ෂූන් වහන්සේ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා පමණයි.

 

සිංහල බෞද්ධ විරෝධීන්ට අවශ්‍ය හාමුදුරුවරුන් අනුශාසකත්වයෙන් ඉවත් කරන්න. ඊනියා බුද්ධිමතුන් හා පූජකවරුන් එතැනට පත් කර ගන්න. පරගලය එහි එක් අවස්ථාවක් පමණයි. එය සංවිධානය කෙරුණේ මෙරට පඬිනැට්ටන් විසින් නම් නොවෙයි. එය බටහිර සැලැස්මක්. එයට වියදම් කළ අය, විසිරුණු දෙමළ ජනයා හා මෝඩාභිමානය අතර පමණක් නොව බෝන් අගේන් අතර සම්බන්ධයක් නැතැයි හිතන්න එපා. බෝන් අගේන් ක්‍රමයෙන් අමතක වෙලා ජෙරොම් ප්‍රනාන්දු ලංකාවට ඒවි. නටාෂාට ඇප දීම නොව නිදහස ලැබීම පුදුමයක් නොවිය යුතුයි.

 

මෙරට බොහෝ දෙනකුට සමස්තය පෙනෙන්නේ නැහැ. මේ සියල්ල සිංහල බෞද්ධ සංස්කෘතිය රටින් අතුගා දැමිමටත් සිංහල බෞද්ධ ජාතිකත්වයට නායකයන් නැති කිරීමටත් කරන පරගලයක් පමණයි. එය පරයන්ගේ අරගලයක්. අද කිසිවකු හිතනවා නම් මේ ඇතැම් සිද්ධි නිසා එය සාර්ථක වෙලා කියා මෝඩාභිමානයක් පමණයි.

 

අද ජාතිකත්වයට නායකයන් නැහැ. එය විශාල ප්‍රශ්නයක් නො වෙයි. එවැනි අවස්ථා ඉතිහාසයේ ඇති වී තියෙනවා. සුදුසු නායකයකු ලැබේවි. අපේ දියසෙන් සංකල්පයත් සමග බැඳුණු එකක්. නායකයකු ලැබෙන තුරු ඉන්න අපට ශක්තිමත් මතවාදයක් තියෙනවා. අප තැනූ එකක් නොවෙයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ ඇති මතවාදයක්. විවිධ ගැටුම් හැල හැප්පිලි මැද එය අවුරුදු දහස් ගණනක් තිස්සේ වර්ධනය වෙනවා. අර පුස් කෑමටවත් දෙයක් නොතිබුණු මාක්ස්වාදය වගේ නො වෙයි. අපි ඇරිස්ටෝටල්ගෙ හරි මහායානිකයන්ගෙ හරි බ්‍රාහ්මණයන්ගෙ හරි ගෝල බාලයන් නො වෙයි. අපේ අරටුව ථෙරවාදයයි. බටහිරයන්ට අවශ්‍ය ථෙරවාදය හා බැඳුණු සංස්කෘතිය නැති කරන්න. ථෙරවාදය හා සමග බැඳුණු සංස්කෘතිය කියන්නෙ එකක් නොව දෙකක්. බුදුදහමට එරෙහිව කිසි දෙයක් කියන්න කරන්න කිසිවකුට බැහැ. එහෙත් සංස්කෘතියට විරුද්ධ ඇතැම් දේ කරනවා.

 

අද මෙරට ඇතැමුන් බෞද්ධයනට මෛත්‍රිය උගන්වන්න එනවා. කලකට පෙර දෙමළ කතෝලික ස්ටැන්ලි තම්බයියාත් අපට ප්‍රාණඝාතය කියා දෙන්න ආවා. ඔහු අන්‍යාලාපයෙන් කිවුවෙ බෞද්ධ නොවන අයට යුද්ධ කරන්න පුළුවන් කියලා. ඌරන් මරන්න පුළුවන් කියලා. නැතුව පෝක් කන්නෙ කොහොම ? අප දෙමළ ත්‍රස්තවාදය හමුදා ක්‍රියා මාර්ගවලින් පරාජය කළා. සත්වොද්‍යානවල හිර කර සිටින අලි ඇතුන් හා වෙනත් සතුන් ගැන නැති කරුණාවක් මේ අයට පෙරහැරේ යන අලි ගැන තියෙනවා. අනුකම්පාව එන්නේ කකුල් දෙකේ අලි වෙනුවෙනුත් බව අපට පැහැදිලියි. අපි ඌරන් හරකුන් කුකුළන් මරනවා වගේ අලි මරන්නේ නැහැ. මරණව වගේ පෙරහැරේ ගෙනි යන එක

 

මෛත්‍රිය කියන්නේ නිවටකම නොවන බව අපට උගන්වා ඇත්තේ බුදුහාමුදුරුවන්මයි. මතක සැවැත් නුවර අනාථපිණ්ඩිකස්සාරාමය වෙනුවෙන් නිඝන්ඨයන්ට විරුද්ධ බුදුහාමුදුරුවන් කොසොල් රජු හමු වූ බව. අනේපිඬු සිටාණන් ජේතවනාරාමය බුදුහාමුදුරුවන්ට පූජා කෙළේ නිඝන්ඨයනට ගෙවල් හදන්න නො වෙයි. පඬි නැට්ටකු අහන්න බැරි නැහැ බුදුහාමුදුරුවන්ට දේපොළ තණ්හාවක් තිබුණා කියා. තණ්හාව ඇලීම අසාධාරණයට ඉඩ දීම ආදිය එකක් නොවෙයි. මෛත්‍රිය කියන්නෙ නිවටකම නො වෙයි. මෙරට බුදුහාමුදුරුවන්ට පුජා කෙරුණු රටක්.

 

කාල වල දී මෙරට සිංහල බෞද්ධ විරෝධීන් ඉඳලා තියෙනවා. එකල සිංහල බෞද්ධ සංකල්පය තිබුණා යන්න ප්‍රශ්නයක් නොවෙයි. හෝමෝසෙපියන්ස් සංකල්පය ඇති වෙන්න ඉස්සරත් මිනිසුන් හිටියා. ගුරුත්වාකර්ෂණ සංකල්පය ඇති වීමට පෙරත් ඇපල්  වැටුණා. ඔළු ගෙඩිත් වැටුණා.