Main Logo

Friday 28 February 2020

මානව හිමිකම් නෝනලා හා සිවල් මහත්තුරු

       සිංහල ලිත් ඉලක්කම්


මානව හිමිකම් නෝනලා හා සිවල් මහත්තුරු


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි මිෂෙල් නෝනා දිනේෂ් ගුණවර්ධනගේ කතාවට ප්‍රතිචාර දක්වලා. ඒ ප්‍රතිචාරය බලාපොරොත්තු නූණ එකක් නො වෙයි. ඇය කියන්න යන්නේ කුමක් ද පිළිබඳ අපට නම් සැකයක් තිබුණේ නැහැ. ඇය ලංකාණ්ඩුව යෝජනා කර තිබූ දේශීය යාන්ත්‍රණය ප්‍රතික්‍ෂෙප කර තියෙනවා. ඇයට අපේ දේශීය යාන්ත්‍රණ ගැන විශ්වාසයක් නැතිළු. ඇයට පමණක් නොව යහපාලනයේ රනිල්ට, මංගලට මෙන් ම යහපාලන වලිග වූ රනිල්දාසට හා සම්බන්ධන්ටත් මෙරට දේශීය යාන්ත්‍රණ ගැන විශ්වාසයක් තිබුණේ නැහැ.


ඒ නිසා තමයි මංගල අපට විරුද්ධ ව මානව හිමිකම් සමුළුවේ ගෙනෙන ලද යෝජනාවට සම අනුග්‍රහය දැක්වූයේ. ඔවුන්ට අවශ්‍ය වුණෙ අප රට පරාධින රටක් කරන්න. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නෝනලාට හා මහත්වරුන්ට අවශ්‍ය මෙරට ඔවුන්ගේ පදයට නටන රනිල් මංගල සම්බන්ධන් අනුර කුමාර ආණ්ඩු පවත්වාගෙන යෑම පමණයි. ඔවුන්ගේ පදයට නටන්නෙ නැති ආණ්ඩු ගැන ඔවුන්ට විශ්වාසයක් නැහැ. එකල එංගලන්තයෙන් පාලනය කෙරුණු රට වෙනුවට ඔවුන්ට අවශ්‍ය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පාලනය වෙන ආණ්ඩුවක්. එහෙත් ඒ සියල්ල පිටුපස තවමත් ඉන්නේ එංගලන්තයයි.

එංගලන්ත මිෂනාරීන් 1819 දී අපේ පළමු නිදහස් සටන ඉතා අවිහිංසක ව මානව හිතවාදී ව වෙල්ලස්සේ දී කරුණාවෙන් පිළිගැනීමටත්  පෙර ගාල්ලේ දී රැස්වී රට කොටස් දෙකකට බෙදීමට තීරණය කළ බව පියසිරි අමරකෝන් හෙළිදරවු කර තිබෙනවා. පඬියකුට මූලාශ්‍ර අවශ්‍ය නම් ඔහුගෙන් දැන ගන්න පුළුවන්. මගේ මතකය අනුව ඔහු ඒ තොරතුරු ලබා ගෙන ඇත්තේ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ වාර්තා කියවීමෙන්. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් අයිතිකාරිය වෙල්ලස්ස ගැනවත් ගාල්ලේ පැවති රැස්වීම ගැනවත් දන්නේ නැතිව ඇති. මෙරට දෙමළ ජාතිවාදය සම්පූර්ණයෙන් ම එංගලන්තයේ ආණ්ඩුකාරයන්ගේ නිර්මිතයක්. නෝත් මේටලන්ඩ් බ්‍රවුන්රිග් බාන්ස් ආදීන් මෙහි වගඋත්තරකරුවන්. පියසිරි අමරකෝන් විස්තර සපයාවි. ඒ මහතා මේ විස්තර පසුගිය සතියේ දේශප්‍රේමි භික්‍ෂූ පෙරමුණ හා චින්තන පර්ෂදය සංවිධානය කළ රැස්වීමක දී ප්‍රකාශ කළා. ඒ රැස්වීමට කිසිදු ප්‍රචාරයක් මෙරට විද්‍යුත් හරි මුද්‍රිත හරි මාධ්‍ය ආයතනවලින් ලබා දුන්නේ අරුණ පමණයි. එහෙත් ඔවුන් ද අමරකෝන්ගේ කථාවට ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. 

මෙරට මාධ්‍ය ජඩමාධ්‍ය ලෙස මා හඳුන්වන්නේ එබැවිනුයි. දෙරණ රූපවාහිනී නාළිකාවත් ඒ රැස්වීමට කිසිම  ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. චතුර අල්විස් පමණක් රැස්වීම ගැන කිසිවක් නොකියා මා 30/1 හා අදාළ යෝජනාවල සම අනුග්‍රකත්වය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් කී දෙයක් ප්‍රචාරය කළා. ඒ පිළිබඳ ව ඔහුට ස්තුති කළ යුත්තේ තම සීමාවන් පවා නොතකා එසේ කළ බැවින්. ඔහුගේ මාධ්‍ය ආයතනයේ ලොක්කන් අපට ප්‍රචාරයක් නොදෙන්නේ ඔවුන්ගේ මිතුරකු ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වීමෙන් පසුව.  

ජඩමාධ්‍යය වැදගත් ලෙස සලකන්නේ තළු මර මර රස විඳිය හැකි කුණු ගොඩවල් පමණයි. හිට් කෑලිවලට ඔවුන්ට ඇත්තේ නොසංසිඳෙන  රුචියක්. මෙරට දෙමළ ජාතිවාදයේ ඉතිහාසය ගැන අප කියන්නේ අවුරුදු තිහකටත් වැඩි කාලයක් තිස්සේ. ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතිය එහි එක් පියවරක් පමණයි. මට මේ සියල්ල කෙටියෙන් නමුත් සඳහන් කිරීමට සිතුණේ අර මානව හිමිකම් අයිතිකාරිය මෙරට ඉතිහාසය හා තොරතුරු නොදන්නා නෝනා කෙනකු නිසා. 

ඇය සඳහන් කරලා මෙරට දේශීය යාන්ත්‍රණ ගැන විශ්වාසයක් නැහැ කියා. ඇය කටයුතු කරන්නේ එංගලන්තයේ රජයේ, චැනල් 4 බීබීසී ආයතනයේ දරුස්මාන් වාර්තාවේ තොරතුරු අනුවයි. ඇයට හා වග කිවයුත්තන්ට මෙරටින් ද ඊනියා තොරතුරු සපයන ඒජන්තයන් ඉන්නවා. ඔවුන් සිවල් ක්‍රියාකාරීන් ලෙස හැඳින්වෙනවා. ඔවුන්ට වරප්‍රසාද හා ආචාර්ය උපාධි ලැබෙනවා. ජඩමාධ්‍ය ප්‍රචාරය දෙන්නේත සිවල් කියාකාරීන්ට පමණයි. අපට ඉංගිරිසින් ප්‍රමුඛ බටහිරයන් හා මිෂනාරීන් 1800 පමණ සිට මෙරට දෙමළ ජාතිවාදය ඇති කර පෝෂණය කිරීමට කටයුතු කර ඇති ආකාරය කියන්න පුළුවන්. මිෂෙල් නෝනා මේ දාමයේ එක් පුරුුකක් පමණයි. 

දෙමළ ජාතිවාදය මගින් මේ සියල්ලන් බලාපොරෙත්තු වන්නේ මෙරට සිංහල බෞද්ධයනට හිමි විශේෂිත තැන නැති කිරීමට. මෙරට බහු සංස්කෘති රටක්  කියල බටහිරයන් කියන්නෙ මේ විශේෂත්වය නැති කිරීමේ අවශ්‍යතාවට. එංගලන්තයේත් විවිධ සංස්කෘතීන්ට අයත් ජනයා ඉන්නවා. මා අනේක වාරයක් සඳහන් කර ඇති පරිදි සිංහල බෞද්ධයන් ද ඉන්නවා. රටක ඉන්න ජනයාගේ බහු සංස්කෘතියක් ගැන ඒ අර්ථයෙන් කතා කිරීමේ වරදක් නැහැ. එහෙත් බටහිරයන් අපේ රටේ බහු සංස්කෘතියක් තිබෙන බව කියන්නේ ඒ අර්ථයෙන් නොවෙයි. සියළු සංස්කෘතීන් සමානය කියන අර්ථයෙන්. ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවට එවැනි බහු සංස්කෘතියක් නැහැ. ඒ නිසා තමයි සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන දෙමින් ගෝඨාභය රාජපක්‍ෂ තම ප්‍රතිඥාව දීම සඳහා රුවන්වැලි සෑයට ගියේ. දිනේෂ් ගුණවර්ධන මේ ආණ්ඩුවේ සාමාජිකයෙක්.

මිෂෙල් නෝනා කියලා මෙරට දෙමළ හා මුස්ලිම් ජනයාට එරෙහිව ආරක්‍ෂක කටයුතු සිද්ධ කෙරෙන බවක්. ඇයට ඒ සම්බන්ධ ඇති සාක්‍ෂි කවරේ ද? මෙරට යුද අපරාධ ගැන තියෙන සාක්‍ෂි මොනවා ද? යුද අපරාධ චෝදනාවලට සහාය දැක්වීමට කිසිදු සාක්‍ෂියක් නොමැති බව දිනේෂ් ගුණවර්ධන මිෂෙල් නෝනාට පිළිතුරු වශයෙන් කියා තිබීම අප අගය කරන්න ඕන. මංගලටත් රනිල්ටත් ඊනියා සාක්‍ෂි තියෙන්න ඇති. මේ මානව හිමිකම් අයිතිකාරියන් පමණක් නොව රනිල්දාසලා ද ජ වි පෙ අතුරුදහන් වූවන් හා ජ වි පෙරමුණෙන් අතුරුදහන් කළ වූවන් ගැන තබා විජේවීර මරා දැමූ ආකාරය ගැනවත් සොයන්නේ නැත්තේ ඇයි? 

මෙරට ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුද්ධ ඇති වී නැහැ. ජ වි පෙ ගැන මෙන් ම කොටි ගැන ද තිබුණේ ත්‍රස්තවාදයට එරෙහි ව කළ හමුදා මෙහෙුම් පමණයි. යුද්ධ අපරාධ තියෙන්න විධියක් නැහැ. හමුදා මෙහෙයුම්වල දී යම් ප්‍රශ්නයක් ඇති වී නම් අදාළ පුද්ගලයන්ට දිවුරුම් පෙත්සම් මගින් ඒ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. එවිට ඒ ගැන සොයා බලන්න සිවිල් නීතිය යටතේ හරි හමුදා නීතිය යටතේ හරි කටයුතු කරන්න පුළුවන්. අපේ යාන්ත්‍රණය එවිට ක්‍රියාත්මක වේවි. මිෂෙල් නෝනලාට සිවල් සාමාජිකයන්ට කරන්න දෙයක් ඉතිරි වෙන එකක් නැහැ. මට වැරදුණා. සිවල් සාමාජිකයන්ට තව කලක් මුදල් හා වෙනත් වරප්‍රසාද ලබා ගන්න පුළුවන්.