Main Logo

Sunday 1 January 2023

ජනේරුවට කාට සුබ පතන්න ද?

 ජනේරුවට කාට සුබ පතන්න ?

 

කාදිනල්තුමාට නව වසරට සුබ පතන්නෙ නැතුව මා කාට සුබ පතන්න ? ජනවාරි පළමුවැනි දාට අපි දවස්වල කිවුවෙ ජනේරුව කියල. අවුරුද්ද කිවුවෙ බක් මහ අවුරුද්දට. ඒකට පාරභෞතික නොවෙයි භෞතික හේතුවක් තිබුණා. පඬි නැට්ටන්ගෙ විද්‍යාවට අනුව නම් සූර්යයා ගමන් කරන්නෙ නැහැ. ඒත් මා වගේ සිංහලයන්ට අනුව නම් හිරු දෙවියන් ගමන් කරනවා. සූර්යයා අවුරුද්දකට වරක් පොළොව වටේ යනවා. සඳහා ගත වන කාලය සිංහලයන් විනාඩියට තත්පරයට දැන හිටියා. හිරු මීන රාශියෙන් මේෂ රාශියට යනවා කියල තමයි කිවුවෙ. තාමත් එහෙමයි. ඒක මොකක් හරි සංසිද්ධියක්. දැක ගන්න පුළුවන් සංසිද්ධියක්. රාශිවලට අහස බෙදල තිබුණෙ. ඈත තියෙන තරු පොකුරු අනුව. රාශි සීමා බලා ගන්න පුළුවන්. අපි නොනගතය කිවුවෙ සූර්යයා මේෂ රාශියට පැමිණත් නැති නොපැමිණත් නැති (අගතත් නැති අනගතත් නැති අනගත) ඉංගිරිසි පැය දොළහයි මිනිත්තු හතළිස් අටක කාල ප්‍රාන්තරයකට. සිංහල පැයවලින් නම් පැය දහසයයි. සිංහල පැය තිහක් ඉංගිරිසි පැය (හෝරා) විසිහතරයි.

 

ජනේරුවට එහෙම භෞතික සංසිද්ධියක් මා දන්න තරමින් නැහැ. දෙසැම්බර් 31 රැ දොළහට ජනේරුව ලබනවා. බටහිර සංස්කෘතියෙ රෑ දොළහ තමයි වැදගත්. කාට හරි කියන්න පුළුවන් රාත්‍රියෙ මැද කියල. ඒක ඉතින් එච්චර හරි නැහැ. දවස්වල හිරු උදාවෙන්නෙ එක එක වෙලාවට. ඔය මිථ්‍යාවක් කියන ජ්‍යොතිෂයෙ දින හිරු උදාවෙන වෙලාව හරියට ගන්නවා. එතකොට රෑ පටන් ගන්න වෙලාවත් වෙනස් වෙනවා. එවිට රාත්‍රියෙහි මැද හරියට දොළහ කියල ගන්න බැහැ.

 

ඒවා පඬි නැට්ටන්ට මෝඩ කතා. පඬි නැට්ටකු කියල තිබුණ මා වගේ මෝඩ මහාචාර්යවරයකු නැහැ කියල. මා මහාචාර්යවරයකු නම් නො වෙයි. මෝඩ වෙන්න ඇති. කොහොම වුණත් අප කුඩා කල ජනේරුව තවත් එක් දවසක් පමණයි. කවුරුවත් වෙනුවෙන් කාටවත් සුබ පැතුවෙ නැහැ. ඒත් මට හිතුණ එහෙම කරන එක හරි නැහැ කියලා. ඒකයි මා කාදිනල්තුමාට සුබ පැතුවෙ. අපට ජනේරුව ලැබෙන්න ඇත්තේ පෘතුගීසි කාරයන්ගෙන් වෙන්න ඕන. මගේ නමත් පෘතුගීසි නමක් සිල්වා. ඒත් මගේ පෘතුගීසිකම එතැනින් ඉවරයි. මට කොහොමටත් ජනේරුවක් නැහැ.

 

ඒත් කාදිනල්තුමාට ජනේරුව තියෙනවා. එතුමාට එදින නිමිත්තෙන් සුබ පතන්න ඕන. අවුරුදු පන්සිය දහසයකට පස්සෙ පෘතුගීසි ලන්දේසි ඉංගිරිසි අභිලාෂය ඉටු වෙන්න යන වෙලාව. සිංහල බෞද්ධ සංස්කෘතිය නැති වෙන්න යන අවස්ථාව. පඬි නැට්ටන්ගෙ දක්‍ෂකමක් නිසා නො වෙයි. ඔවුන් අනුකාරකයන් පමණයි. නැහැ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය තිබුණෙ අවුරුදු පන්සිය දහසයක් නො වෙයි. අඩු තරමෙන් වගේ හතර ගුණයක් තිබුණ. මා කිවුවෙ බටහිරයන් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්න පටන් අරන් අවුරුදු පන්සිය දහසයක් ගතවෙලා තියෙන බවයි.

 

මෙරට අවුරුදු දෙදහසකට අධික කාලයක් විනයක් තිබුණ. එය බුදුදහම මත පදනම් වුණු විනයක් විනය ටික ටික නැති කළා. විනය වෙනුවට නීතිය ගෙනාවා. රෝම ලන්දේසි නීතිය හා ඉංගිරිසි නීතිය. මෙරට මිනිසුන් නීතියකින් හසුරවන්න බැහැ. අරක නොකරනු මේක නොකරනු ආදිය දේව නීතිය. අප හුරු වෙලා තිබුණෙ ඒකෙන් වළකිමි මේකෙන් වළකිමි ආදී වශයෙන් පොරොන්දු වෙන්න හා පොරොන්දු රකින්න.

 

හික්මීම ටිකෙන් ටික කැඩුව. හාමුදුරුවන් නායකත්වයෙන් ඉවත් කළා. ඒකට නම් ඕල්කට්තුමාත් වග කියන්න ඕන. ඉංගිරිසි අධ්‍යාපනය බොරු තාර්කික කතා ඉගැන්නුවා. තර්කය කියන එකත් විශ්වාසය මත රඳා පවතින්නෙ. ගණිතයත් එහෙමයි. ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 වෙන්නෙ යම් යම් උපකල්පන යටතෙ පමණයි. උපකල්පන වෙනස් කළාම කෝණ තුනේ එකතුවත් වෙනස් වෙනවා. සමාන්තර රේඛා හමුවෙනවා. බටහිර දැනුම, විශේෂයෙන් බටහිර විද්‍යාව ගැන ඇත්තේ භක්තියක්. නැහැ භක්තියක් නොවෙයි කියල පඬි නැට්ටන් කියාවි. ඒත් බටහිර විද්‍යාව ගැන මොකක් හරි කිවුවොත් හැමෝ එනවා අවි අමෝරා ගෙන. බටහිර විද්‍යාව කියන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ එක් ප්‍රතිඵලයක් පමණයි.

 

බටහිර විද්‍යාව කතෝලික සභාව සමග පෑහෙන්නෙ නැහැ. අද අරගලයෙන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය දිනලා. අද ජනේරුවත් කතෝලික සභාවට අයත් නැහැ. එය අද ක්‍රිස්තියානි සංස්කෘතියෙ අංගයක් වෙලා. වුණත් කාදිනල්තුමාට සුබ පතන්න ඕන. අපි එතුමා එකල නිතර ආතල්ගම දි දැක්කා. රනිල්ට ආර්ථික අර්බුදය විසඳන්න බැහැ. ඔහුට අවශ්‍ය වන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය බෙල හීන කරන්න. බටහිරයන් ඔහු පත් කර ගත්තෙ ඒකට මිසක් වෙන එහෙකට නො වෙයි. කාදිනල්තුමා පාස්කු ප්‍රහාරයෙ මහා මොළකරු හොයා ගන්නවා නිසැකයි. රනිල් උදවු දේවි.

 

ඒක කොහොම වෙතත් අර දිනේශ් ෂාෆ්ටර්ගේ ඝාතකයාත් (ඔහු සිය දිවි හානි කර ගෙන නැත්නම්) හොයා ගන්නවා නම් හොඳයි. විතරක් නොවෙයි ෂාෆ්ටර් පරගල කාලෙ මොක කෙළෙ කියන එකත් දැන ගන්න පුළුවන් නම් හොඳයි. මොකක්වත් කරල නැත්නම් ප්‍රශ්නයක් නැහැ.

 

කාදිනල්තුමාට සුබ පතා ලියූ දැන්වීම මා ප්‍රතිචාර සඳහා විවෘත කළා. පඬි නැට්ටකු කියා තිබුණා අනෙක් අයගේ අදහස් දැන ගැනීමට මට පුරුෂ ශක්තිය ලැබේවා කියා කතාවක්. තවත් අයකු කියා තිබුණා මට කාදිනල්තුමා එක්ක ඇරියස් තියෙනවා කියා. තවත් අයකු කියා තිබුණා පුද්ගලයන් සිය ගණනක් මරු මුවට පත් වූ සිද්ධියක් විහිළුවකට ගන්න එපා කියා. තවත් කිහිප දෙනකුට අනුව මා මෝඩ මහාචාර්යවරයා. සමරුනට අනුව මට උගත්කමක් තිබුණත් බුද්ධියක් නැහැ.

 

මා කිසිම ඝාතනයක් විහිළුවකට ගන්නේ නැහැ. අරන්තලාවේ ඝාතන ඩී එස් සේනානායක සිසුන් කිහිප දෙනකු ඝාතනය මේ එකක්වත් මට විහිළු නො වෙයි. රාජ් රාජරත්නම් ලංකාවට පැමිණීමත් මට විහිළුවක් නොවෙයි. මට උගත්කමක් නැහැ. මට කාදිනල්තුමා එක්ක ඇති ඇරියස් එකක් නැහැ. ඒත් අර අගසවු දෙනම බුදුදහම සම්බන්ධයෙන් මොනව හරි කරනවා නම් හොඳය කියා හිතනවා. බටහිර විිද්‍යාව අද තියෙන්නෙ බුදුදහමට උඩින්. අපි අතක්කාවචර බුදුදහම තාර්කික විද්‍යාත්මක කරන්න හදනවා. මගේ පුරුෂ ශක්තිය ගැන මා කියන්න යන්නෙ නැහැ.  මේවට මේ ප්‍රතිචාර කියන්නෙ. ඔය ප්‍රතිචාර දැන් ඇති කියා හිතෙනවා.