මාලිමාවේ සමාජවාදය
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය කියන්නෙ බලවේග කොහොම වෙතත් පක්‍ෂ දෙකක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ දෙකෙන් එකක්වත් ජාතිකවාදී නොවන බවත් හැමෝම දන්නවා. ඒත් මට දැන ගන්න ඕන ඒ පක්‍ෂ දෙකෙන් එකක්වත් සමාජවාදී ද කියලා. සමගි ජන බලවේගය සමාජවාදී නො වෙයි කියල බොහෝ දෙනා කියාවි. ඒක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියලවත් කිසිවකු කියයි ද කියල සැකයි. ඒත් ජාතික ජන බලවේගය ගැන කියන්න පුළුවන් මොකක් ද?
නමින්
නම් ඒක ජාතික බලවේගයක්. ඒත් එහි ඇති ජාතිකත්වයක් නැහැ. එක්සත් ජාතික පක්‍ෂයෙත් ජාතික කියා කොටසක් තියෙනවා. එහි ඇති ජාතිකත්වය කුමක් ද? ශ්‍රී ල නි පක්‍ෂයෙ හරි මහජන එක්සත් පෙරමුණෙ හරි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ හරි නිදහස් ජනතා සංධානයෙ හරි ජාතික කතාවක් නමේ නැහැ. ඒත් පළමු පක්‍ෂ දෙකේ නම් යම් ජාතිකත්වයක් තිබුණා. පොදු ජන පෙරමුණ නැත්නම් පොහොට්ටුව ජාතිකත්වයට තල්ලු කරන්න හැකි පක්‍ෂයක් වුණා. ඒත් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ බටහිරයන් හා ඉන්දියාව විසින් දේශපාලනයෙන් ඉවත් කරනු ලැබීමෙන් පසු එය ජාතිකත්වයට තල්ලු කරන්න බැහැ.
බටහිරයන් හා ඉන්දියාව බැසිල් රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමට කටයුතු නොකෙළේ ඇයි ද යන්න නම් ප්‍රශ්නයක්. එපමණක් නොවෙයි මහින්ද හා ගෝඨාභය ඉවත් කෙළේ තමන් යැයි පම්පෝරි ගසන පඬිනැට්ටන් ද බැසිල් ඉවත් කිරීමට කටයුතු කර නැහැ. බැසිල් රාජපක්‍ෂ හොරකම් නොකළ රාජපක්‍ෂ වෙන්න ඇති. බැසිල්ට ඇති ජාතිකත්වයක් නැහැ. බටහිරයන් හා ඉන්දියාව ඉවත් කෙළේ යම් ජාතිකත්වයක් තිබූ අය ද? හොරුන් ද? ජාතිකත්වයක් තිබූ හොරුන් ද? මා පඬි නැට්ටන්ගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. කෙසේ
වෙතත් බැසිල් රාජපක්‍ෂත් නාමල් රාජපක්‍ෂත් තවමත් දේශපාලනය කරනවා.
අද
සමාජවාදයක් ගැන කතා කරන්නේ සෙප්පන් හා ජෙප්පන් පමණක් වෙන්න ඕන. සමසමාජ පක්‍ෂයට හා කොමියුනිස්ට් පක්‍ෂයට හා වාසුදේවගේ පක්‍ෂයට (නමත් මතක නැහැ) සමාජවාදය අමතක වෙලා ද කියලත් හිතෙනවා. සිරිතුංග ජයසූරිය නම් ඉඳහිට සමාජවාදයක් ගැන කියනවා. ජෙප්පන් සමාජවාදය ගැන කතා කළත් ජාතික ජන බලවේගය සමාජවාදය ගැන කතා කරන්නේ නැහැ. රනිල්දාසට මොන සමාජවාදයක් ද? ජෙප්පන් දැන් මැතිවරණවලට ඉදිරිපත් වෙන්නෙ නැහැ. ටිල්වින් සිල්වා සහෝදරයාට සීනුව හොළවන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ.
ධනවාදය සමාජවාදය අද ලෝකයේ දේශපාලනය ගැන කතා කරන විට තේරුමක් නැති වචන බවට පත්වෙලා. අද ඒ ඒ රටවල ඇත්තේ ප්‍රධාන වශයෙන් ජාතික දේශපාලන. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී
පක්‍ෂවලත් ආයුෂ ක්‍රමයෙන් ගෙවී ගෙන යනවා. ඒ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ තමයි තවමත් ලෝක දේශපාලන සංවාදයක් කරන්නේ. ඒ ලෝක දේශපාලන සංවාදය අනෙකක් නොව බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතික ආධිපත්‍යය රඳවා ගැනීමට කරන කතාව. ඔවුන් ඇතැම් රටවල තවමත් බලයේ ඉන්නවා.
ඒ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට එරෙහි සටන අද ක්‍රියාත්මක වෙන්නෙ යුක්‍රේනයෙ. ඒ යුද්ධය නිසා බටහිර රටවල් විශාල ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙනවා. පහුගිය දා ප්‍රංශයේ ජනාධිපති මැක්‍රොන් ප්‍රකාශ කර තිබුණේ යුක්‍රේන යුද්ධය ගැන නැවත හිතන්නට යුරෝපයට සිදු වෙලා කියලා. මැක්‍රෝන් පළමු වර ජනාධිපති පදවියට පත් වුණෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේවත්
ඩිගෝල්වාදීන්ගේවත් ආධාරය නැතුව.
බටහිර
ක්‍රිස්තියානි නූතනත්වයේ නායකත්වය දරන්නේ ඈංග්ලිකන් රටවල් හා ස්කැන්ඩිනේවියානු
ක්‍රිස්තියානි රටවල්. අද ලෝකයේ දේශපාලනය සභ්‍යත්ව අතර
ගැටුමක් කියා සැමුවෙල් හන්ටින්ටන් කියා තියෙනවා. අද නොවෙයි හැමදාමත් රටවල් කොල්ලකෑමේ දේශපාලනයට අමතර ව ඒ සභ්‍යත්ව ගැටුමටත් එහා ගොස් සංස්කෘතික ගැටුම් දේශපාලනය තිබුණා. අද අධිරාජ්‍ය විරෝධය කියන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට එරෙහි ව කටයුතු කිරීම. රුසියාවට විරූද්ධ ව යුක්‍රේනයේ සිදුවන්නේ බටහිර රටවල් රුසියාවට එරෙහි ව තම ආධිපත්‍යය රඳවා ගැනීමට කරන යුද්ධයක්. රුසියාවේ අද ඇති සමාජවාදයක් නැහැ. රුසියාව අද සටන් කරන්නේ තම ග්‍රීක ඔතොඩෙක්ස් සංස්කෘතිය වෙනුවෙන්. රුසියන් ජාතිකත්වය වෙනුවෙන්.
ජාතික
ජන බලවේගයට අද සමාජවාදයක් තියා ජාතිකත්වයක්වත්
නැහැ. ඔවුන් අතර ඉන්න සමහරු කතා කරන්නේ වැඩ කර ඇත්තේ ශ්‍රමය සුරාකන්නවුන් සමග යැයි කියන්න පුළුවන්. ඔවුන් රට ගොඩ ගැනීමට ඉදිරිපත් කරන ඊනියා සමාජවාදී ක්‍රමය කුමක් ද? ජාතික ධනය වැඩි කිරීමට, අපනයන වැඩි කිරීමට ආදායමට වඩා වියදම අඩු කිරීමට ඊනියා සමාජවාදී ක්‍රමයක් තියෙනවා ද? අද ඔවුන් අවසන් වශයෙන් ක්‍රියාත්මක කරන්නේ ඇතැම් වමාලා මෙන් ම ජාතිකත්වයට එරෙහි වැඩ පිළිවෙළක්. එහි දී ද වෙනත් බොහෝ කරුණුවල දී ද රනිල්දාස ඉන්නෙ රනිල් සමග.
ජනතා
විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර විශාල වෙනසක් තියෙනවා. පළමුවැන්න සමාජවාදයක් ගැන කියවන පක්‍ෂයක්. දෙවැන්න ජාතිකත්වයක් නැති සමාජවාදයක් නැති පක්‍ෂයක්. ඔවුන්ට අද කළ හැක්කේ රුවන් විජේවර්ධන වෙනුවෙන් කල් බැලීම පමණයි.