ජාතික ව්‍යාපාරය හා තේ කෝප්පය
මගෙන් ජාතික ව්‍යාපාරයට එතරම් දෙයක් සිිදු වී නැති බව ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනා දන්නවා. විශේෂයෙන් ම චින්තන පර්ෂදයේ සිටි අය දන්නවා. එකල කොළඹ විශ්වවිද්‍යාලයේ ගවේෂකයෝ රැස්වීම්වලට පැමිණි ඇතැමෙකු අද වැඩ කරන්නේ මට විරුද්ධ ව. චින්තන පර්ෂදයේ මුල් සාමාජිකයන්ගෙන් කිසිවකු දැන් එහි නැහැ. පසුව එකතු වූ අයත් බොහෝ දෙනකු දැන් එය හැර ගොස්.
එහෙත්
පඬි නැට්ටන් සමහරකු මා ගැන උනන්දු වන්නේ ඇයි ද කියන එක තරමක ප්‍රශ්නයක්. සමහර විට ඔවුන් හිතනවා ඇති මගෙන් රටට විශාල බලපෑමක් සිදු වෙනවා කියා. අපොයි නැහැ. චින්තන පර්ෂදයටවත් මගෙන් බලපෑමක් නැති විට සමාජයට බලපෑමක් සිදු වන්නේ කොහොමද? ජාතික ව්‍යාපාරයේ ප්‍රධානීන් කිසිවකු මා ලියා ඇති කිසිවක් ගැන හරි කියා ඇති කිසිවක් ගැන හරි කළ කිසිම සටහනක්වත් මා දැක නැහැ. ඉන් පැහැදිලි වන්නේ ලිපි දසදහසකට අධික ප්‍රමාණයක් ලියා ඇතත් මා වැදගත් යමක් කියා නැති බවයි. මේ ලිපි කිසිවකු කියවනවා ද නැද්ද යන්න මට ප්‍රශ්නයක් නො වෙයි.
එහෙත්
ජාතික ව්‍යාපාරය අද විවිධ අය විසින් ඉදිරියට ගෙන යනු ලබන බව මා දන්නවා. ඔවුන් දැනුම නිර්මාණය කරන බව කියනවා. මා ඔවුන්ට සුබ පතනවා. මා කිසිම දැනුමක් නිර්මාණය කර නැති බව ඔවුන් දන්නවා. ඇතැමුන් අහනවා මා නිර්මාණය කර ඇති දැනුම මොකක් ද කියාත්. දැනුම නිර්මාණය කිරීම යන්න මා දැන් යොදා ගන්නේ නැති බව පමණක් ඔවුන්ට පවසනවා.
එහෙත්
මට බියක් තියෙනවා ජාතික ව්‍යාපාරය විජාතිකයන් ඩැහැ ගනීවි ය කියා. ජාතිය කියන වචනය බටහිරයන් යොදා ගෙන වැඩි කලක් නැහැ. එහෙත් ඒකෙන් කියන්නෙ නැහැ මෙරට දහඅටවැනි සියවසට කලින් ජාතියක් තිබුණෙ නැහැ කියා. බටහිර ජාතික රාජ්‍ය ඒකීය රාජ්‍ය ඇති වෙලා වැඩි කලක් නැහැ. එහෙත් අප එක්සේසත් රාජ්‍යය ගැන බොහෝ කාලයක සිට කතා කරනවා.
මා
හිතන්නේ ජාතියක් යන්න ඊනියා ජාන මත එහෙමත් ලැබෙන එකක් නෑත්නම් දෙමවුපියන්ගෙන් ලැබෙන එකක් නොවන බව පැරණි සිංහලයන් දැන සිටියා කියා. අප සංස්කෘතිය ගැන කතා කරන්නේ අද වුවත් එකල සංස්කෘතිය යන වචනය සිංහල භාෂාවේ නොතිබුණත් විවිධ රටවලින් මෙරටට පැමිණි ජනයා සිංහල බවට පත් කිරීමට සිංහලයන් දැන සිටියා. ඒ එසේ පැමිණි අය සිංහල සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමෙන්.
ලංකාව
කුඩා දිවයිනක් වීම එහි දී වැදගත් වෙන්න ඇති. එහෙත් එහි එයට වඩා දෙයකුත් තිබුණා කියන එකයි මගේ හැඟීම. අද
ඇමරිකා එක්සත් ජනපදවල එවැනි දෙයක් සිදු වෙනවා. විවිධ රටවලින් පැමිණෙන අය ඇමරිකන් සංස්කෘතියට අවශෝෂණය වෙනවා. වෙනත් බටහිර රටවලත් එය සිදු වෙනවා. එහෙත් ඒ රටවල එය සිදුවෙන්න පටන් අරන් වැඩි කලක් නැහැ. ඊනියා එක්සත් රාජධානියට තවමත් අයර්ලන්ත වැසියන් හරි ස්කොට්ලන්ත වැසියන් හරි තම සංස්කෘතියට අවශෝෂණය කර ගන්න බැහැ.
අප
රටේ ඒ අවශෝෂණය උතුරු පළාතේ පමණක් නොකෙරුණේ ලන්දේසින් දුම්කොළ වගාවට වෙල්ලාලයන් මෙරටට ආනයනය කිරීමෙන් පසුව. ඒ පිරිස් ස්වෙච්ඡාවෙන් මෙහි පැමිණි අය නො වෙයි. දුම්කොළ අස්වැන්න නෙළා ගැනීමෙන් පසු ඉන්දියාවට ගිය ඔවුන් මෙරට නවත්වා ගැනීමට පළමුව ලන්දේසීන්ටත් පසුව ඉංගිරිසින්ටත් ඉන්දියාචේ මුස්ලිම් නීිතියක් වූ තේසවලාමේ නීතිය පැනවීමට සිදු වුණා. ඔවුන් මෙරටට වඩා ඉන්දියාවට ලැදිකමක් දැක්වූවා. නැගෙනහිර පළාතට හා කඳුකරයට ආනයනය කළ දෙමළ ජනකොටස්වලට ඉන්දියාව ගැන ඒ ලැදිිකම නැහැ. සමහරවිට ඔවුන් ඉන්දියාවේ දී කුල පීඩනයකට හසු වෙන්න ඇති.
පඬි
නැට්ටන්ට ප්‍රශ්න ඇති වෙන්නෙ ඔවුන් හැම දෙයක් ම බටහිර ඇසින් බැලීමට ගිහින්. බටහිර තිබුණෙ නැති දෙයක් ලංකාවෙ තියෙන්නෙ බැහැ. තියෙන හැම දෙයක් ම බටහිර අච්චුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඉංගිරිසින් අපේ අධ්‍යාපනය සකස් කරල තියෙන්නෙ එවැනි පිරිසක් බිහි කරන්න.
අප
කතා කරන්නේ ඒ දැනුම් ආධිපත්‍යය ගැන. එහෙත් එයින් කියැවෙන්නෙ නැහැ අප ඉන්දියන් හරි රුසියන් හරි චීන හරි දැනුම් ආධිපත්‍යයකට යට වෙන්න ඕන කියා. එහෙත් ඇතැමුන් ජාතික ව්‍යාපාරය බටහිර නොවන්නන්ට ඩැහැ ගන්නට ඉඩ දීලා. බටහිර නොවුණත් විජාතිකයන් විජාතිකයන් ම තමයි.
මා
ජාතික ව්‍යාපාරය වෙනුවෙන් අතීතයේ දී කිසිවක් නොකර ඇති බව සැබෑව. මට අනාගතයේ දී යමක් කරන්නත් බැහැ. අවුරුදු තිස්පහකට වැඩි කාලයක් කරන්න බැරි වූ දෙයක් අවුරුද්දකින් දෙකකින් කරන්න බැහැ. විජාතිකයන් ජාතික ව්‍යාපාරය ඩැහැ ගැනීම සම්බන්ධයෙනුත් මට කරන්න පුළුවන් දෙයක් නැහැ. තේ කෝප්පයක්වත් හදා ගන්න බැරි මා සංවිධාන හදන්නෙ කොහොමද?