Main Logo

Wednesday, 18 January 2023

සිංහලයන් හා දඹදිව

සිංහලයන් හා දඹදිව

 

මහාවංසය ලියා ඇත්තේ දීප වංසය හා ඊට පෙර තිබූ කෘතීන් මෙන් සෙල්ලිපි ආදී මූලාශ්‍ර ජනප්‍රවාද ගුරු කොට ගෙන. පස්වැනි සියවස වන විට මෙරට මහාවිහාරය ප්‍රධාන කර ගත් ශාසනයක් ස්ථාපිත වී ඇති බව පැහැදිලියි. ධාතුසේන රජුගේ රාජ්‍යත්වය මෙහි දී බලපා තියෙනවා. ධාතුසේන රජුගේ පියා භාරතයෙන් පැමිණි මෞර්ය වාංශිකයෙක්. පියා සංඝා කුමරිය සමග විවාහ වී රාජ්‍යත්වයට සම්ප වී තියෙනවා. මහානාම හිමියන් ධාතුසේන රජුගේ මාමා කෙනකු වන්නේ නම් මහානාම හිමියන් ආසන්න කාලයක දඹදිවින් මෙහි වැඩම කරන්න ඇති. හිමියන් සංඝා කුමරියගේ නෑ කෙනකු බව පැවසෙන්නේ නැහැ.

 

කෙසේ වෙතත් මෙරට ඉතිහාසයේත් මියන්මා ඉතිහාසයේත් තුන්වැනි සියවසේ පමණ සිට ආන්ද්‍ර බලපෑමක් සිදු වී තියෙනවා. බුද්ධඝෝෂ ධර්මපාල ආදී හිමිවරුන් ආන්ද්‍ර ප්‍රදේශයෙන් වැඩම කළ භික්‍ෂූන් වහන්සේ. කාලිංගය (වත්මන් ඔරිස්සා හෙවත් ඔඩෙස්සා) ඇත්තේ ආන්ද්‍ර ප්‍රදේශයට යාබද උතුරෙන්. සුප්පා දේවිය දෙවැනි වර විවාහ වූයේ කළිඟු රජු සමග. කෙසේ වෙතත් අප ප්‍රදේශයෙන් පිරිසක් බව ඒත්තු ගැන්වීමට මහාවංසයෙන් උත්සාහයක් දරා තිබෙනවා.

 

අර කලින් ලිපියේ සඳහන් දෙමළ ජනකොටසකට අයත් දේශපාලනඥයා අප සියල්ලන් ඉන්දියාවෙන් පැමිණි අය බව කියනනේ පදනමෙන්. මහාවංසය කියන හැටියට විජය පැමිණෙන විට මෙරට මිනිස් වාසයක් තිබී නැහැ. කුවේණිය අමනුෂ්‍ය යක්‍ෂ ජනකොටසට අයත් බවයි කියන්නේ. මේ ජනකොටස් ගෝත්‍ර ලෙස හැඳින්නුවත් අද ඉංගිරිසින් (බටහිරයන්) ගෝත්‍ර (tribes) ලෙස හඳුන්වන්නවුන් නො වෙයි. ජනකොටස් මනාව සංවිධානය වූ රාජ්‍ය ප්‍රදේශීය පවත්වාගෙන ගොස් තිබෙන බව පැහැදිලියි.

 

දේව ජනකොටස වත්මන් සබරගමුව ආශ්‍රිතවත් නාග ජනකොටස් කැලණිය නාගදීපය ආදී ප්‍රදේශ ආශ්‍රිතවත් රාජ්‍ය සහිත වාසය කර තියෙනවා. සිංහලයන් රජු ඇමතීමට යොදා ගත් දේචයන් වහන්ස යන්න දේවයන් (දේව ජනකොටස) තම රජු ඇමතීමට යොදා ගත් වචනය වීමට ඇති ඉඩකඩ අධිකයි. ජනකොටස් දඹදිවින් (භාරතයෙන්) පැමිණි පිරිස් එකතු වී සිංහල වීමෙන් පසුවත් දේවයන් වහන්සේ ඉතිරි වී තියෙනවා. එය දේවයන් වහන්සේ මිස දෙවියන් වහන්සේ නො වෙයි.

 

මහාවංසය කියවන විට අපට සිිදු වී ඇත්තේ කුමක් යන්න පැහැදිලි වෙනවා. යක්‍ෂ නාග දේව ගැනයි වැඩිපුර කියැවෙන්නේ. අය මනුෂ්‍ය නොවන විධියටයි පෙන්නුම් කෙරෙන්නේ. මහාවංසයට එසේ නැතුව සිංහලයන් දඹදිවින් පිරිසක් ලෙස සඳහන් කරන්න බැහැ. මෙහි දී මට හැඟී යන කරුණ නම් දේව ජනකොටස ඉක්මණින් බෞද්ධ වී ඇති බවත් නාගයන් ටික කලකට පසු බෞද්ධ වී ඇති බවත් යක්‍ෂ ජනකොටසට අයත් යම් පිරිසක් දඹදිව කතාවට විරුද්ධ වී ඇති බවත් ඔවුන් බෞද්ධ වී ඇත්තේ ඉතා ප්‍රමාද වී බවත්.

 

සමන් දෙවියන් (දේව ජනකොටසේ රජු වෙන්න ඕන) ඉතා ඉක්මණින් බෞද්ධ වී තියෙනවා. මෙරට අදත් දේව කුලයට අයත් අය කිසිවකු අබෞද්ධ වී නැති බව කියනවා. චූලෝදර මහෝදර නාගයන් තරමකට පසුව බෞද්ධ වී තියෙනවා. මණිඅක්ඛික නා රජුත් බුදුන් වහන්සේට කැලණියට වැඩම කිරීමට ආරාධනය කර තියෙනවා. එහෙත් යක්‍ෂ ජනකොටස එසේ කළ බවක් කියන්නේ නැහැ. ඔවුන් ගිරි දිවයිනට පළවා හැරි බවයි මහාවංසය කියන්නේ. මහා කාරුණිකයන් වහන්සේ එසේ කරාවි යැයි මා මොහොතකටවත් සිතන්නේ නැහැ.

 

අනුරාධපුර හා මාගම රාජධානි අතර නැකම් ගොඩ නැගීමටත් මහාවංසය කටයුතු කර තිබෙන බව පැහැදිලියි. එමෙන් භද්දකච්චනා මගින් අපට ශාක්‍ය වංශයට නෑකමක් තියෙනවා. මහාවංසය කර ඇති දේ ඉතා පැහැදිලියි. සිංහලයන්ට දඹදිවට ඇති නැකම් වර්ධනය කර මෙරට සිටි ජනකොටස් නැතුව සිංහල ජාතියක් ගොඩ නැගුණු බව ඒත්තු ගැන්වීමක් කර ඇත්තේ. එමෙන් යක්‍ෂයන් යම් පිරිසක් බෞද්ධ වීමට මැළිකමක් දක්වා ඇති බැවින් ඔවුන් දිවයිනෙන් පිටමං කර තියෙනවා. 

 

එහෙත් සිංහල භාෂාව සිංහලයන්ගේ සංස්කෘතිය සිරිත් විරිත් මුළුමනින් දඹදිවින් ලැබුණු දේ නො වෙයි. සිංහල වැනි භාෂාවක් ඉන්දියාවේ කතා කරන්නේ නැහැ. සිංහල භාෂාවේ මිනිස් සිරුරු අවයව ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා කට ඔළුව කකුල බඩ ආදී වචන දඹදිවින් ලැබුණු වචන නො වෙයි. අපේ මළවුන් පිදීමේ සිරිත වෙනත් ආකාරවලින් තවමත් පවතිනවා. එය බදුුදහමේත් ලක්‍ෂණයක්. බුදුදහම අනෙක් සංස්කෘතීන්ට ගැනෙනවා එහෙමත් නැත්නම් අවශෝෂණය වෙනවා. බුදු පිළිම පවා රටවල වෙනස් වෙනවා. අපේ බෝධි වන්දනාව මියන්මාහි දකින්න නැහැ.

 

මහාවංසය උත්සාහ කර තිබුණත් මෙරට වාසය කළ මිනිස් ජන කොටස් අමතක කරන්න බැරි වෙලා. දඹදිවින් විවිධ පිරිස් (සිංහ පමණක් නොව වෙනත් අය ) යක්‍ෂ නාග දේව ජනකොටස් සමග මිශ්‍ර වී සිංහල ජාතිය නිර්මාණය වී තියෙන්නෙ. අපට පොදු සිංහල සංස්කෘතියක් තියෙනවා. ප්‍රාදේශීය වෙනස්කම් නැතුවා නො වෙයි. එය ඕනෑම ජාතියක තියෙනවා. යෝක්ෂයරයේ ඉංගිරිසි ලන්ඩනයේ ඉංගිරිසි නො වෙයි. සිංහල ජාතිය නිර්මාණය වී ඇත්තේ ඊනියා ජාතික රාජ්‍ය ඇති වීමට බොහෝ කලකට පෙර. බටහිර ඇසින් ජාතිය දෙස බලන්නන්ට කතාව තේරෙන්නේ නැහැ.

 

මහාවංසය ලියන කාලයේ සිංහල ජාතිය නිර්මාණය වී අවසන්. අවශ්‍ය වී තිබුණේ මෙරටට තිබූ සම්බන්ධකම් නැති කිරීමට. එහෙත් සිදු වී ඇති දේ නම් මෙරටට පැමිණි විවිධ ජන කොටස් අවශෝෂණය වීමක්. සිංහල භාෂාවේ යක්‍ෂ ලක්‍ෂණ ගැන පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් ලියා තියෙනවා.