Main Logo

Friday 13 January 2023

පාස්කු ප්‍රහාරය මෛත්‍රිපාල හා පිරිස

 

පාස්කු ප්‍රහාරය  මෛත්‍රිපාල හා පිරිස

 

පාස්කු ප්‍රහාරය පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබිය දී වළක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳ වරදකරුවන් බවට ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරලා. මේ රාජ්‍යාරක්‍ෂාව පිළිබඳ වග කිවයුතු ඉහළ අය වෙන්න ඕන. මෙතන අඩු එකල අගමෑති රනිල් වික්‍රමසිංහ පමණයි. එය එහෙම වෙන්නෙ කොහොම ?

                                

අගමෑති රාජ්‍යාරක්‍ෂාව ගැන වග නොකියන තනතුරක් කියා කිසිවකු කියන එකක් නැහැ. නඩු විභාගය පිළිබඳ වාර්තාවත් නඩු තීන්දුවවත් මා කියවා නැහැ. අපට එහෙත් උපකල්පනය කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන නොසිටිය බව. තොරතුරු දැන සිටිය කියල අඩු තරමෙන් අධිකරණයේ දී සාක්‍ෂි ඉදිරිපත් වෙලා නැහැ කියා හිතන්න වෙනවා. රනිල් වික්‍රමසිංහ ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට සහභාගි වී නැති බවක් එකල වාර්තා වුණා. ඔහුට රැස්වීම්වලට ආරාධනා කෙරී නැති බවකුත්  එකල වාර්තා වුණා.

 

ඒත් තවම පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු හඳුනාගෙන නැහැ. එය අඩුපාඩුවක්. කාදිනල්තුමා තවමත් ඉන්නෙ හෝදිසියෙන්. පාස්කු ප්‍රහාරය ගෝඨාභය ජනාධිපති කිරීම සඳහා සැලසුම් කළ එකක් බවට ආරංචි පැතිර ගියා. ප්‍රචාරය පසුපස කවුරුන් හිටියේ කියා දැන ගන්න බැහැ. එය වැරදි ප්‍රචාරයක් වෙන්න ඇති. ඔය වරදකරුවන් වෙලා ඉන්න අය තොරතුරු දැන දැනත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකෙළෙ ගෝඨාභය ජනාාධිපති කිරීමේ වුවමනාවෙන් වෙන්න බැහැ. මා හිතන්නෙ නැහැ මෛත්‍රිපාල සිරිසේනටවත් අනෙක් වරදකරුවන් ලෙස තීරණය වී ඇති අයටවත් ගෝඨාභය ජනාධිපති කිරීමේ වුවමනාවක් තිබුණා කියා.

 

එහෙත් මට දැන ගන්න ඕන ඔය වරදකරුවන් බවට තීරණය වී ඇති අය තොරතුරූ දෑන සිටියදීත් පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකෙළෙ ඇයි කියන එක. එය අධිකරණයේ කටයුත්තක් නොවෙනවා වෙන්න ඇති. ඒත් එය දේශපාලනයේ දි වැදගත් වෙනවා. වරදකරුවන් බවට තීරණය කෙරී ඇති අය සාමාන්‍යයෙන් තම වගකීම් ඉටූ නොකළ අය ? එය ඔවුන්ගේ සාමාන්‍ය චර්යාව ? මෛත්‍රිපාල සිරිසේන නම් තනතුරට පත් වුණේ ඡන්දයෙන්. ඔහු තනතුරට පත් කිරීම ගැන වරද කරුවන් ඔහුට ඡන්දය දුන් ඡන්දදායකයන් ? එසේත් නැත්නම් ඔහු ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කළ අය

 

මෛත්‍රිපාල සිරිසේන 2015 වන තුරු තම වගකීම හරි හැටි ඉටු කර තිබුණ ? එහෙමත් නැත්නම් 2019 වන තුරු තම වගකීම ඉටු කර තිබුණ ? පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබිය දී ගැන පමණක් ඔහු  වගකිව යුතු අයුරින් කටයුතු නො කෙළේ ?

 

අනෙක් වරදකරුවන් බවට තීරණය වී ඇති අය උසස් නිලධාරීන්. ඔවුන් තනතුරුවලට පත් කිරීමේ දී ඔවුන්ගේ අතීත වාර්තා සලකා බලන්න ඇතිඔවුන් අතීතයේ දී තම වගකීම් හරි හැටි ඉටු කර තියෙන්න ඇති. නැත්නම් ඔවුන් අදාළ තනතුරුවලට පත් කර ගනීවි කියා හිතන්න බැහැ. ඊයෙ පෙරේදා වෙනකම් නිලන්ත ජයවර්ධන පොලිස්පති තනතුරට පත් කිරීමටත් හිතා සිටි බවක් වාර්තා වුණා. මේ වාර්තා ගැන මට සහතික වෙන්න බැහැ. එහෙත් එහෙම පොලිස්පති තනතුරට පත් කිරීමට තරම් සලකා බැලිය හැකි පුද්ගලයකු නිසගයෙන් තම වගකීම් පැහැර හරින පුද්ගලයකු වෙන්න පුළුවන් ?

 

මා අධිකරණයේ අපක්‍ෂපාති බව ප්‍රශ්න කරන්නෙ නැහැ. විනිසුරුවන් තීරණ ගන්නේ ඔවුන්ට ඉදිරිපත් කෙරෙන සාක්‍ෂි මත. එහෙත් අපට සාක්‍ෂි ගැන ප්‍රශ්න තියෙන්න පුළුවන්. මගේ මූලික ප්‍රශ්නය මේ වරදකරුවන් ලෙස නියම වී ඇති අය නිසග වගකීම් පැහැර හරින අය ? ඔවුන් තොරතුරු නොසලකා තම වගකීම් ඉටු කර නැත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් ? මේ එක් අයකු පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. රටේ ඉහළ තනතුරූ දැරූ කිහිප දෙනකු පිළිබඳ ප්‍රශ්නයක්.

 

ඔවුන් සියලු දෙනා කතා වී පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු නොසලකා හැරියා ? එසේත් නැත්නම් තොරතුරු පිළිබඳ විශ්වාසයක් තබන්න බැරි යැයි ඔවුන් තීරණය කළා ? පොදු තීරණයක් ? එසේත් නැත්නම් අයගේ පෞද්ගලික තීරණ ? පෞද්ගලක තීරණ නම් කිහිප දෙනකු එක තීරණයට පැමිණියේ කෙසේ ? මේ එකක්වත් අධිකරණයට ප්‍රශ්න නො වෙයි. ප්‍රශ්න වෙන්නෙ ඔවුන්ට වැටුප් ගෙවූ අයටයි.

 

මේ පාස්කු ප්‍රහාරය සිදු වූයේ අරාජික කාලයක. නීීත්‍යානුකුල පත් වූ දින පනස්දෙකේ ආණ්ඩුවෙන් පස්සෙ. යටත්විජිත පාර්ලිමේන්තුවේ දී මීටර් සීයේ වාර්තාව බිඳ හෙලුවට පස්සෙ. බටහිර තානාපතිවරු දින පනස්දෙකේ ආණ්ඩුව පෙරළා පාර්ලිමේන්තුවේ අත්පොළොසන් දී තම සතුට ප්‍රකාශ කළාට පස්සෙ. දින පනස් දෙකේ ආණ්ඩුව වැට්ටුවට පස්සෙ මෙරට හරිහමන් අණ්ඩුවක් තිබුණෙ නැහැ. කවුරු කාට වග කිවුව කියල දෙයියො තමයි දන්නෙ. පස්කු ප්‍රහාරයට වග කියන්න ඕනෙ දින පනස් දෙකේ ආණ්ඩුව වැට්ටුව අය කියා මා කියන්නෙ නැහැ. කැකිල්ලෙ රජු කියන්නෙත් නැහැ.