Main Logo

Thursday 26 January 2023

ගෝඨාභය සම්ප්‍රාප්තිය

 ගෝඨාභය සම්ප්‍රාප්තිය

 

ගෝඨාභය රාජපක්‍ෂ ගෙදර යැවුවේ කවුද? ගෙදර අය ? පිට මිනිස්සු ? මෙතන දි ගෙදර අය කියන්නෙ රාජපක්‍ෂල වෙන්නත් පුළුවන්, මෙරට රාජපක්‍ෂලා ඇතුළු  ඇතැමුන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රාජපක්‍ෂලා නැතුව මෙරට වෙනත් ඇතැමුන් වෙන්න පුළුවන්. පිට මිනිස්සු කියන්නෙ පිටරට අය වෙන්නත් පුළුවන්. රාජපක්‍ෂලා නැතුව මෙරට ඇතැමුන් වෙන්නත් පුළුවන්. රාජපක්‍ෂලා නැතුව මෙරට ඇතැමුන් හා පිටරට අය වෙන්නත් පුළුවන්. අපි බලමු කවුද කියලා.

 

ගෝඨාභය කියන්නෙ රාජපක්‍ෂ කෙනෙක්. සාටකය නැති වුණාට රාජපක්‍ෂ කෙනෙක්. සාටකය නැති වුණත් වඩාත් ජාතිකත්වයක තිබූ රාජපක්‍ෂ. මහින්ද රාජපක්‍ෂ ජාතිකත්වයට තල්ලු කෙරුණු රාජපක්‍ෂ කෙනෙක්. බැසිල් රාජපක්‍ෂ කිසිම ජාතිකත්වයක් නැති රාජපක්‍ෂ කෙනෙක්. නාමල් ගැන කතා කරන්නවත් දෙයක් නැහැ.

 

2019 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරිපත් කෙරුණෙ ජාතිකවාදීන් විසින්. මාත් අය අතර හිටියා. මට මතකයි කොල්ලුපිටියේ පැවති රැස්වීමක දී නම ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් කෙරී සම්මත වුණු බව. මා තීරණය ගැන සතුටු වෙනවා. පිළිබඳ කිසිම කණගාටුවක් නැහැ. කණගාටුව ඔහුට යන්න සිදු වුණු එක ගැන. පඬි නැට්ටන් කිය කියා හිටියෙ මා රාජපක්‍ෂවාදියෙක් මහින්දවාදියෙක් ආදී වශයෙන්. අද ඔවුන් කියන්නෙ හෙලිකොප්ටර්වාදියෙක් කියල ? එතකොට රාජපක්‍ෂලට කඩේ යන්නෙ නැද්ද? මෙරට පඬි නැට්ටන් තර්ක බුද්ධිය ගැන කතා කරන අය. ඔවුන්ගෙ තර්ක බුද්ධිය ගැන මා කතා කරන්නෙ නැහැ.

 

කොල්ලුපිටියෙ රැස්වීමට කලින් සමහර අය ගැන කතා කරල තියෙන්න ඇති. පිළිබඳ ගෞරවය අර කියන විධියට ක්‍රෙඩිට් එක අපි ඔවුන්ට දෙමු. අපේ සමාජය  දැන් ක්‍රෙඩිට් (ණය) සමාජයක් වෙලා. සමාජය විසින් උගතුන් ලෙස පිළිගැනෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුත් ණයයි කියනවා. මාත් විශ්වවිද්‍යාල කිහිපයක හිටියා. රැකියාවක් නැතුවත් සෑහෙන කාලයක් හිටිය. ඒත් ඔය විධියට ණය වුණෙ නැහැ. ගේ හදන්න ලක්‍ෂයක ණයක් අරගෙන තිබුණ. තනි තට්ටුවෙ ගෙයක්. සර්පයකු නම් ලිවුවෙ ගේ වටේට අඩි දොළහක තාප්පයක් බැඳලා කියල. මා තාමත් තාප්පෙ හොයනවා. සර්පයා බඩ ගාගෙන තාප්පෙ දිගේ යන්න ඇති. ගෙවල් ණය ගෙවලා හුඟක් කල්.

 

ගුරා හිටගෙන කරන කොට ගෝලයා දුව දුව කරනවලු. අපේ සමාජයෙ ණය කතාවටත් එය වලංගු වගේ. ඔය ගුරාල අතරෙ ආර්ථික විද්‍යා විශේෂඥයොත් ඇති. මාත් ඔය ගුරාලගෙ පඩි වැඩ කරන්න අවුරුදු තිහකට ඉස්සර වැඩ කළා. සටනෙන් පස්සෙ මා අස්කෙරුණා. ගුරු සංගමය (ආචාර්ය සමිති සම්මේලනය) නම් මුකුත් කෙළෙ නැහැ. මා ඒකෙ ලේකම් වගේ සභාපති වෙලත් ඉඳලා තියෙනවා. ගුරාල එහෙමයි. ඔවුන්ගෙ ආදර්ශය හැම පැත්තෙන් සතුටුදායකයි.

 

දැන් නැවතත් ගෝඨාභයට.  ජාතිකවාදීන් ජනාධිපති ධුරයට ගෝඨාභය ඉදිරිපත් කළා අනෙක් රාජපක්‍ෂලා විරුද්ධ වුණා. ජාතිකවාදීනුත් අත හැරියෙ නැහැ. අන්තිමේ දි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයෙ දි මහින්ද රාජපක්‍ෂ විශාල පිරිසක් මධ්‍යයේ තම සහෝදරයා ජනතාවට භාර දුන්නා. ඔහු එයින් කිවුවෙ සහෝදරයා අත හැරිය බව ?

 

ගෝඨාභයට සිංහල ඡන්දවලින් පමණක් දිනන්න පුළුවන් කියල අපි පෙන්නල දුන්න. මා නම් ගෝඨාභයගෙ ඡන්ද රැස්වීම් කිහිපයක පමණයි කතා කෙළෙ. මට අවස්ථා ලැබුණෙ නැහැ. ගෝඨාභයට ඡන්ද හැටනව ලක්‍ෂයක් ලැබුණා. විදේශවලිනුත් සිංහලයන් පැමිණියා ඡන්දෙ දෙන්න. ගෝඨාභය දිනුවෙ සිංහල ඡන්දවලින්. ජාතිකත්වයට දුන්න ඡන්ද. මහින්දගෙ ඡන්දවත් පොහොට්ටුවෙ ඡන්දවත් නො වෙයි.

 

මහින්ද 2015 ඡන්දෙන් පැරදිලා හිටියෙ. ඔහුගෙ ඡන්දවලින් ජනාධිපතිවරණයක් දිනන්න බැහැ. පොහොට්ටුව සංවිධානය වෙලා තිබුණෙත් නැහැ. මා මහින්ද රාජපක්‍ෂට අගෞරවයක් කරනවා නො වෙයි. මෙරට ඡන්දදායකයන් මහින්දට දිනා ගැනීමට බැරි වෙන විධියට බැසිල් නාමල් ආදීන් ක්‍රියා කරල තිබුණා. 

 

තම පක්‍ෂයේ ලේකම් වෙලා හිටිය මෛත්‍රිපාල සිරිසේන ජා පැත්තට තල්ලු කෙළෙ බැසිල් ආදීන්. ඡන්දදායකයන් දිනා ගන්න පාප්ප බාල්දිවලින් හා පෝස්ටරවලින් පුළුවන් කියා හිතන්න ඇති. 2015 ඡන්දෙන් මෛත්‍රිපාල දිනුව. ඡන්ද ප්‍රමාණ දැන ගන්න අවශ්‍ය නැහැ. මහින්දට ඡන්ද ලැබුණෙ නැහැ. ගෝඨාභය දිනුවෙ මහින්දගෙ ඡන්දවලින් හරි පොහොට්ටුවෙ ඡන්දවලින් හරි කියන එක වැරදි බව කියන්න ඕන.

 

ඒත් බොහෝ දෙනකුට අමතක වෙලා තිබුණ මහින්ද තමයි කොටි පරදවන්න දේශපාලන නායකත්වය දුන්නෙ කියල. එවැන්නක් අමතක කරවීමට තරම් සේවයක් බැසිල් නාමල් ආදීන් කර තිබුණා. (මතු සම්බන්ධයි)