Main Logo

Monday 30 January 2023

ජේ ආර් යටත්වීම

 ජේ ආර් යටත්වීම

 

මෙරට ඊනියා දෙමළ ප්‍රශ්නය බිහි කර වර්ධනය කෙළේ ලන්දේසීන් හා ඉංගිරිසින්. සිංහලයන් අතර කුල පීඩනයක් නිර්මාණය කෙළෙත් ඔවුන්. 1947න් පසු ඉන්දියාවත් කලාපයේ තම ආධිපත්‍යය ඇති කර ගැනීම සඳහා එය යොදා ගත්තා. අද එය ඉන්දු බටහිර දේශපාලනයක් බවට පත් වී තියෙනවා. බටහිර දේශපාලනය විසින් තම කාර්යය වූ ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය පිහිටුවා සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීම හැකි නම් නැති කිරීමට මෙරට පළමුවෙන් කුමාරස්වාමි ප්‍රභාකරන් පවුල ප්‍රධාන වෙල්ලාලයනුත් පසුව ප්‍රභාකරනුත් යොදා ගැණුනා. ඊනියා ඩයස්පෝරාව ප්‍රධාන වශයෙන් එංගලන්තයෙන් නඩත්තු වෙන්නක්.

 

අපට ප්‍රභාකරන්ගේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් වුණා. එහි ක්‍රියත්මක වූ ප්‍රධාන දෙදෙනා අද දේශපාලනයෙන් ඉවත් කෙරි අවසන්. මහින්ද හා ගෝඨාභය. ඉන්දු බටහිර දේශපාලනය සමත් වෙලා තියෙනවා දෙදෙනා රටට වින කළ දෙදෙනකු ලෙස හඳුන්වා දෙන්න. කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් අවුරුදු පන්සීයකට පමණ පසු රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ඉහළ සේවය කළ දෙදෙනා එසේ හොරුන් ලෙස හංවඩු ගසා දේශපාලනයෙන් ඉවත් කෙරීම මෙරට කිසිවකුගේ වැඩක් නො වෙයි. එය තනිකර ඉන්දු බටහිර දේශපාලනයේ වැඩක්. අද පඬි නැට්ටන් කියන්නේ මා මහින්දගෙ රෙද්දෙ දේශපාලනයක් කියවනවා කියා. ඔවුන් නියම බුද්ධිමතුන් වෙන්න ඇති.

 

කවුරු හරි මට තේරුම් කරල දෙනවා මහින්ද හා ගෝඨාභය දේශපාලනයෙන් ඉවත් කෙරෙන්නටත් බැසිල් ඉවත් නොකෙරෙන්නටත් හේතුව කුමක් කියලා. මහින්ද හා ගෝඨාභය බැසිල්ට වඩා හොරකම් කළා ? රාජපක්‍ෂලා අතරින් වැඩියෙන් ජාතිකත්වයක් බැසිල්ට තියෙන නිසා ? අදටත් ඔහු ද්විත්ව රටවැසියකු නිසා ? සිංහලයන් අවිචාර වූ තරමට ඉන්දු බටහිර දේශපාලනයට වාසයි. බැසිල්ට හරි නාමල්ට හරි මගේ කිසිම පක්‍ෂපාතීත්වයක් නැහැ. එහෙත් පඬි නැට්ටන්ට අනුව මා රාජපක්‍ෂලාට කඩේ යන්නෙක්. ඔවුන්ගෙ රෙදි හෝදන්නෙක්. සිංහලයන්ගේ තරම පෘතුගීසීන් හොඳින් දැන සිටි බව පැහැදිලියි. ඔවුන්ට වඩා උපක්‍රමශීලී වූ ඉංගිරිසින් හා ලන්දේසීන් (ඕලන්දක්කාරයන් අද කියන විධියට නම් නෙදර්ලන්ත ජාතිකයන්) සිංහලයන්ගේ තරම පෘතුගීසීන්ට වඩා හොඳින් දන්නවා.

 

අද වන විට මෙරට දෙමළ ජතිවාදය පරාජය වී අවසන්. දෙමළ ජාතිවාදයට තවත් නැගිටින්න බැහැ. මතවාදී වශයෙනුත් ඔවුන් දැන් පරාජය වෙලා. දෙමළ ජාතිවාදය මෙරට දේශපාලනයේ ප්‍රශ්නයක් නො වෙයි. එසේ නම් මේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීමට රනිල් උත්සාහ කරන්නේ ඇයි? සුමන්තිරන් වෙනුවෙන් ? ඔහුගේ හිතේ සමහර විට පොන්නම්බලම් කුමාරස්වාමි පවුලේ සාමාජිකයන් ගැන සෙනෙහසක් ඇති. ඔහු අගමැති සිටි කාලයේ අර ස්වෛරි බැඳුම්කර අනුව ඉතා වැඩි පොළියට ඩොලර් ණයට ගත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවුලේ කෙනෙක්. මගේ මිත්‍රයකු වූ ඩී එම් ස්වාමිනාදන් හා විග්නේස්වරන් පවුලේ. රනිල් කියනවා අපි ඔක්කොම සිංහල කියා. ඔහු මානවම්ම රජු ගැන දන්නවා. බොහෝ සිංහලයන් මානවර්මන් (මානවම්ම) ගැන දන්නේ නැහැ. ඉතින් රනිල් සිංහල නො වෙයි ? මා නම් මානවම්ම ගැන දන්නේ මා නොවම්ම කෙනකු ලෙස. රනිල් තමා බලයට පත්කළ පරගල සැලසුම්කරුවන්ට අවශ්‍ය දේ කරනවා.

 

දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ නිර්මාණයක් වුණා වගේ පළාත් සභා ඉන්දු බටහිර දේශපාලනයේ නිර්මාණයක්. එය 1987 ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක්. එකල මෙරට ඉන්දීය මහා කොමසාරිස් වුණේ ඩික්සිත්. ඔහු ජේ ආර් ජයවර්ධනගේ අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලට පවා සහභාගි වුණා. ඔහු මෙරට වයිස්රෝයි කෙනකු, නැත්නම් රාජ්‍යයක් වෙනුවෙන් විජිතයක ආධිපත්‍යය දරන්නකු, බවට පත් වුණා. ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියාව අප යටත්විජිතයක් ලෙස තබා ගැනීමට දරණ වෑයමේ එක් සන්ධිස්ථානයක් පමණයි. එයට පෙර ඉන්දිරා ගාන්ධිගේ කාලයේදී පරතසාරති මෙරටට පැමිණ ජේ ආර්ට බලපෑම් දැම්මා. ඉන් පසු තිම්පු සාකච්ඡා ආදිය ඉන්දියාවේ බලපෑම යටතේ තිබුණා.

 

අවසානයේ දී ලංකාවේ ඊනියා සාමයක් ඇති කිරීම සඳහා යැයි කියමින් ඉන්දු ලංකා ගිවිසුම 1987 ජූලි මාසයේ දී ජේ ආර් අත්සන් කළා. ජේ ආර් ඉන්දියාවට යටත් වීම. එහි ප්‍රතිඵල ලෙස තමයි අර ඉන්දීය සාම සාධක හමුදාව ආවෙත් පළාත් සභා ඇති කෙළෙත්. ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුම අනුව වැඩ කෙළේ නැහැ. ඔවුන් ගිවිසුම උල්ලංඝණය කළා. ඔවුන් ඇති කළ සාමයක් නැහැ. අඩු තරමෙන් ප්‍රභාකරන් නම්මා ගැනීමට ඉන්දියාවට නො හැකි වුණා. ප්‍රභාකරන් ඉන්දියාවේ නිර්මාණයක් වුවත් (ඔහු චෙන්නායි හි පුහුණු වුණා) ඉන්දියාවට ඔහු කීකරු වුණේ නැහැ. ඔහු රජිව් ගාන්ධි ඝාතනය කිරීමට පසුබට වුණේ නැහැ. අවසානයේ දී ප්‍රභාකරන් පරාජය කෙළේ මහින්දගේ දේශපාලන නායකත්වයෙන්.  එහි දී ගෝඨාභයගේ කළමනාකාරීත්වය මෙන් සරත් ෆොන්සේකාගේ හමුදා මෙහෙයවීම කරන්නාගොඩ දුන් සහාය ආදිය බලපෑවා.

 

ජයග්‍රහණය ඉන්දු බටහිර දේශපාලනයේ දරුණු පරාජයක්. ඔවුන් අපට සම්බන්ධයෙන් කිසිම සමාවක් දෙන්නේ නැහැ. ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් කතා, දරුස්මාන් වාර්තාව හා තවත් ප්‍රබන්ධ ජෙනීවා සම්මේලනයේ අවුරුද්දට දෙවතාවක් කරන පහර දීම්, මහින්දට හා රණවිරුවන්ට සම්බාධක පැනවීම්, ගෝඨාභයට විසා නොදීම් ආදිය තවමත් කෙරී ගෙන යනවා. පළාත් සභා මුළුමනින් ක්‍රියත්මක කිරීම ඉන්දු බටහිර දේශපාලනයේ තවත් අංගයක් පමණයි.

 

අප බොහෝ දෙනකුට අමතක වුණාට පළාත් සභා පනත සම්මත කර ගත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකරයකට. විස්තර පසුවට.

 

පසුවදනක්ඃ මා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමය ඉදිරියේ කරන කතාව හුදෙක් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකුගේ  ආරාධනයෙන්  දැන හැඳුනුම්කම් මත කෙරෙන්නක් පමණයි.