Main Logo

Monday 2 January 2023

සුබ පැතුමේ පසුබිම

 සුබ පැතුමේ පසුබිම

 

ජනේරුව අපට පෘතුගීසීන්ගෙන් ලැබුණු එකක් වෙන්න ඕන. පෘතුගීසි භාෂාවෙන් ජනවාරි මාසෙට කියන්නෙ ජනෙයිරෝ කියල මගේ මිතුරකු කියා එවල තිබුණා. වුණත් 1516 ඉඳන් අවුරුදු හාරසිය පනහක් පමණ යනකම් මෙරට සාමාන්‍ය ජනයා ජනේරුවක් ගැන තැකුවෙ නැහැ. ඒත් ඊයෙ  විජාතික රූපවාහිනිය හා අනෙක් නාළිකා සමහරක් ජනේරුව ජයට සැමරුව. ඊයෙ පාන්දර ආතල්ගම පුනර්ජීවනයක් ලැබුවා කියන්න පුළුවන්.

 

මට පුළුවන් විධියට කාදිනල්තුමාට සුබ පැතුමක් යැවුවෙ එතුමන්ට ජනේරුව තියෙන බව අප දන්න නිසා. අද ලෝකෙ ජනේරුව පවත්වනවා. විජාතික රූපවාහිනිය බව අපට රූප රාමු සහිත පෙන්නුවා. එයින් පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. තමයි බටහිර ක්‍රිස්තියානි (කතෝලික නොවෙයි) නූතනත්ව සංස්කෘතික ආධිපත්‍යය. ඊනියා නූතනත්වය කියන්නෙ සම්පූර්ණ ක්‍රිස්තියානි කතාවක්. මාටින් ලූතර් එහි ප්‍රධාන ප්‍රකාශකයෙක්. එහෙත් නූතනත්වය ඊනියා පුනරුදයත් එක්ක ඉතාලියේ ඇති වුණු එකක්. එහි පසුබිමේ තිබුණෙ පෞද්ගලිකත්වය ඉන්ද්‍රිය පිනවීම ආදිය.

 

කතෝලික කියන වචනයේ තියෙන සාමූහිකත්වය ක්‍රිස්තියානි සංස්කෘතියෙ නැහැ. ඒත් අර ලෝකය මවා ඇත්තේ මිනිසා සඳහාය කියන කතාව බයිබල් සම්ප්‍රදායෙ එදත් තිබුණ. නූතනත්වයෙ එය වෙනස් වුණෙ ලෝකය මවා තියෙන්නෙ බටහිර යුරෝපයෙ සුදු පිරිමියා සඳහා ලෙස. පාප් වහන්සෙ අනුව තමයි ලෝකය ස්පාඤ්ඤ ජාතිකයන්ට පෘතුගීසීන්ට බෙදල දුන්නෙ. පෘතුගීසීන් ජනේරුවත් අරගෙන ලංකාවට ආවෙ එහෙමයි. පාප් වහන්සෙ නෙදැනුවත් ක්‍රිස්තියානිකරණයට සහාය දීල. මා මේ කතාව කලිනුත් කියා තියෙනවා. අර ඉතාලියෙ ෆ්ලොරන්ස් (පිරෙන්ට්සි) නගරය තමයි පුනරුදයෙ නගරය ලෙස සැලකෙන්නෙ. එහි හිටිය මිචලාන්ජිලෝ හා ඩා වින්චි ගැන කලින් ලියා ඇති.

 

පුනරුදය පටන් ගත්තෙ පාප් වහන්සෙ ස්පාඤ්ඤ ජාතිකයන්ට හා පෘතුගීසීන්ට ලෝකය බෙදල දෙන්න ඉස්සර. පාප් වහන්සෙත් නොදැනුවත් ක්‍රිස්තියානිකරණයට සහාය දීල කියල මා කියන්නෙ මාටින් ලූතර් පාප් වහන්සේට විරුද්ධ පෝස්ටර අලෙවුවෙ පුනරුදයෙ වර්ධනයත් සමග නිසා. කොහොම නමුත් පුනරුදය ඉංගිරිසින්ගෙ නායකත්වය යටතට ගියාට පස්සෙ නූතනත්වය ලෝකය පුරා පැතිරෙවුව. අද ජනේරුව කතෝලික සංස්කෘතියෙන් ඉංගිරිසි ක්‍රිස්තියානින් පැහැර ගෙන. ඔවුන් එය ලෝකයට දීල. විජාතික රූපවාහිනිය ලෝකෙ හැම තැන ජනේරුව පෙන්නන්නෙ එහි ප්‍රතිඵලයක් ලෙස.

 

වෙනත් සංස්කෘතියක අවුරුද්ද ලැබීම ලෝකයා සමරන්නෙ නැහැ. එහෙත් ජනේරුව හෙවත් බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයෙ අවුරුද්ද මුළු ලෝකයා සමරනවා. බටහිරයන්ට අවශ්‍ය අනෙක් සංස්කෘතීන් විශේෂයෙන් තමන්ට අභියෝගයක් වූ ථෙරවාද සංස්කෘතීන් නැති කරන්න. ජනේරුව දැන් ලංකාවෙත් ජයට පැවැත්වෙනවා. ලංකාවෙ ජනේරුව පවත්වන්න සිද්ධවෙලා තියෙන්නෙ මධ්‍යම පංතියෙ ප්‍රසාරණය නිසා. ඒක එක පැත්තකින් නිදහස් අධ්‍යාපනයෙ ප්‍රතිඵලයක්. නිදහස් අධ්‍යාපනය නිසා සිද්ධ වුණෙ ඔය ක්‍රිස්තියානි නූතනත්ව අදහස් සමාජයට ගිය එක. නිදහස් අධ්‍යාපනය කියන්නෙ ක්‍රිස්තියානි අධ්‍යාපනය නොමිළේ ලබා දීම. එයින් පුද්ගලයන්ට සෙතක් වෙන්න ඇති. ඒත් රටට පොදුවෙ වුණු සෙතක් නැහැ. එහෙම සෙතක් වුණා නම් අද රට මේ තියෙන තත්වයෙන් තියෙන්නෙ කොහොම ? ක්‍රිස්තියානි අධ්‍යාපනය විසින් ඇති කරන ලද හීනමාන හේතුවෙන් බටහිර සංස්කෘතිය අනුකරණය කිරීමට සිද්ධ වෙලා. එහෙම අනුකරණය නොකරණ අය හරමානිස්ලා ගොඩයන් බයියන් බවට පත් කරනවා.

 

මධ්‍යම පංතිය රූපවාහිනිය හරහාත් දැන් මෙටාව හරහාත් බටහිර අදහස් අවිචාරාත්මක ලබා ගන්නවා ඔවුන් ඒකට කියන්නෙ විචාරශීලි වීම, මනස් ප්‍රසාරණය පුළුල් දැක්මක් ලබා ගැනීම වගේ මහාප්‍රාණ. එයට බටහිර තාක්‍ෂණයෙ වර්ධනයත් බලපානවා. අපට බටහිර තාක්‍ෂණය යොදා ගන්න පුළුවන් එහි වහලකු නොවී. මා මේ ලිපිය ලියන්නෙත් එය මෙටාවෙ පළ කරන්නෙත් පන්හිඳෙන් ලියල නො වෙයි. මට මෙටාව කියන්නෙ ආයුධයක් පමණයි.

 

අවුරුදු හාරසිය පනහක් පමණ ජනේරුවක් නොපවත්වපු අපි අවුරුදු තිහක හතළිහක කාලයක් ජනේරුව පවත්වනවා. දැන් ජයට පවත්වනවා. අද පාප් වහන්සේට බයිඩ්න්ට වගේ බලයක් නැති වුණත් කාදිනල්තුමාත් ජනේරුව පවත්වනවා. මට ප්‍රශ්නයක් වෙන්නෙ එතුමා අර පාස්කු මහා මොළකරු හඳුන ගන්න දැන් උත්සාහ කරන්නෙ නැත්තෙ මොකද කියන එක.

 

පාස්කු ප්‍රහාරය ඇති වුණෙ 2019 දි. එතකොට තිබුණෙ යහපාලන ආණ්ඩුවක්. ඒත් දෙදරපු ආණ්ඩුවක්. ජනාධිපති මෛත්‍රිපාල අගමැති රනිල්. කිසිවකු කිසිදේකට වග කිවුවෙ නැහැ. ඒත් ප්‍රහාරයෙ මහා මොළකරු හොයන්න කාදිනල්තුමාට කාලෙ වුවමනාවක් තිබුණෙ නැහැ. එතුමා ගැන උනන්දුවක් දක්වන්න පටන් ගත්තෙ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වුණාට පස්සෙ. උනන්දුව පරගල කාලෙත් තිබුණා. ඒත් රනිල් නැවත බලයට පත්වුණාට පස්සෙ උනන්දුව නැති වෙලා. ඒකෙ රටාවක් තියෙනවා.  මගේ පරම පැතුම කොහොම වෙතත් මට පැතුමක් තියෙනවා කාදිනල්තුමාට සම්බන්ධයෙන් දැනුම ලබා ගන්න පුළුවන් වෙන්න කියා. පැතුමයි ජනේරුවයි සුබ පැතුමකට තුඩු දුන්නා. 

 

පඬි නැට්ටන්ට  බැහැ සිංහල බෞද්ධ සංස්කෘතියට අබමල් රේණුවක තරම හානියක් කරන්න. බටහිරයන්ට එය කරන්න පුළුවන්. ඔවුන්ගේ සංස්කෘතික ආධිපත්‍යය නිසා. එහෙත් එය ඔවුන් හිතන තරම් ලෙහෙසි නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතිය නැති වෙන්න යන අවස්ථාව ඇවිල්ල. මෙයට කිට්ටු  අවස්ථාවක් ඉංගිරිසින් පාණදුරා වාදයට පෙරත් ඇති කළා. ඒත් නැති වුණෙ නැහැ. මෙවරත් නැති වෙන්නෙ නැහැ.