පළාත් පාලන මැතිවරණය වැට උඩ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වේ ද යන්න අවිනිශ්චිතයි. ඊයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ පනත මෙවර පළාත් පාලන ඡන්දයට වලංගු නොවන බව සහතික කිරීමට විපක්‍ෂය ගෙනා සංශෝධනයට ආණ්ඩුව එකඟ වුණේ නැහැ. පනතට අදාළ රෙගුලාසි තවමත් පනවා නැහැ. එයට කාලයක් ගත වෙනවා. දැන් තීරණය කරන්න ඇත්තේ පැවැත්වීමට යන පළාත් පාලන මැතිවරණය සඳහා පනත අදාළ ද නැද්ද යන බව. ඒ අදාළ නම් රෙගුලාසි පනවන තුරු මැතිවරණය තියන්න බැහැ.
ප්‍රශ්නය වන්නේ පනත පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ ද නැද්ද යන්න තීරණය කරන්නේ කවුද යන්නයි. මැතිවරණ කොමිසම ද අධිකරණය ද වෙනත් ආයතනයක් ද? ඒ කවුරු වුණත් පාර්ලිමේන්තුව නො වෙයි. ජනාධිපතිත් නො වෙයි. ජනාධිපති ඔය කිසිවක් දන්නේ නැහැ. විජයදාස රාජපක්‍ෂ දන්නෙත් නැහැ. අලි සබ්‍රි දන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවේ
ඉන්න කිසිම නීතිඥ මන්ත්‍රීවරයකු දන්නෙත් නැහැ.
කවුරු
තීරණයක් දුන්නත් ජනාධිපති නිදහස්. ඔහු හැම එකෙන් ම නිදහස්. මහා බැංකු මංකොල්ලයෙනුත් නිදහස්. පාස්කු ප්‍රහාරයෙනුත් නිදහස්. ඔහු කිසි දෙයක් කෙරුව කියන එක නොවෙයි මා කියන්නෙ. ඔහු නිදහස්. ඔහු මොකුත් කරල නැහැ. ඔහු දක්‍ෂයෙක්. මොකුත් නොකර ඉන්න එකත් දක්‍ෂ කමක්.
පළාත්
පාලන මැතිවරණය ගැන කවුරු මොන තීරණය දුන්නත් එය ජනාධිපතිගෙ තීරණයක් නො වෙයි. විජයදාස රාජපක්‍ෂගෙ තීරණයකුත් නො වෙයි. අඩු තරමෙන් පාර්ලිමේන්තුවේ
තීරණයකුත් නො වෙයි. නීති හදන්නෙ පාර්ලිමේන්තුව තමයි. ඒත් නීති විවරණය කරන්නෙ පාර්ලිමේන්තුව නො වෙයි. ඕනෑම නීතියක හිල් තියෙනවා. දක්‍ෂ නීතිඥයකු කියන්නෙ මේ හිල් දකින්න පුළුවන් අයකුට.
දැන්
ප්‍රශ්නයක් තියෙනවා. කිසිම අයකුට හිල් නැති නීතියක් හදන්න බැහැ කියනවා. නීතිය කියන්නෙ ගණිතය වගේ එකක් නො වෙයි. ලංකාවෙ හොඳ ම නීතිඥයන් අතර ගණිතය හදාරපු අයත් ඉඳලා තියෙනවා. ඒක වෙන ම කාරණයක්. ගණිතයෙත් හිල් තියෙනවා. සමහර ඊනියා සාධන වැරදි වෙච්ච වෙලාවලුත් තියෙනවා. ඒ තර්ක වරද්දගෙන. ඒ වැරදි හොයා ගන්න අවුරුදු ගණන් ගිහින් තියෙනවා. දැන් පරිගණක සාධනත් තියෙනවා. ඒත් ගණිතයට එක වාසියක් තියෙනවා. පටන් ගන්නෙ ස්වසිද්ධි පද්ධතියකින්. ඒ පද්ධතිය හරි ද වැරදි ද කියා කවුරුන්වත් දන්නෙ නැහැ. කාටවත් දැන ගන්න වුවමනාවකුත් නැහැ.
නීතියෙ එහෙම නො වෙයි. නීති පද්ධතිය පටන් ගන්න නිශ්චිත ස්වසිද්ධි පද්ධතියක් නැහැ. ආරම්භයක් නැතුවා නො වෙයි. සමහර විට ආරම්භ ඇති වෙලා තියෙන්නෙ නැත්නම් ආරම්භ හැටියට අරගෙන තියෙන්නෙ පස්සෙ හදා ගත් දේ. ඒත් නීතියෙ හරි වැරදි ගැන මිනිස්සු කතා වෙනවා. ගණිතයෙ වගේ නො වෙයි.
එක
එක නීිති පද්ධති ඒ ඒ සංස්කෘතියෙ ආරම්භ වෙච්ච දේ. අද ලංකාවෙ ඇත්තෙ රෝම වැසියන් පටන් ගත්ත නීතියක් ඉංගිරිසි එකතු කිරීම් සමග. ඉංගිරිසි නීතියත් ආරම්භ වෙන්නෙ රෝමයෙන්. සිංහල නීතියකුත් තිබුණා. නීතිපතිත් (සිරිත් ලේනා) හිටියා. විනිශ්චයකරුවන්
මහාවිනිශ්චයකරුවකු (සභාපතිනා) සිටියා. ඒ වගේම අධිකරණ ඇමතිවරයකුත් (විනිච්චයමච්ච) හිටියා. ඒත් ඒ සියල්ලන්ට උඩින් රජු හිටියා. දැන් එහෙම නො වෙයි.
නීතියෙ කොහොමටත් හිල් තියෙනව විතරක් නො වෙයි හිල් හදන්නත් පුළුවන්. වුවමනාවෙන් හදන්න පුළුවන්. ඊයෙ සම්මත වුණු පනතෙත් හිල් තියෙන්න ඕන. එහි වැදගත් හිලක් වුවමනාවෙන් ම තියල. ඒ තමයි පනත පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ ද නැද්ද කියන එක හරියට නො කීම. විපක්‍ෂයට ඕන වුණෙ ඒ හිල වහල පනත පළාත් පාලන මැතිවරණයට අදාළ නැහැ කියල පනතෙන් ම කියවන්න. විජේදාස රාජපක්‍ෂ ආණ්ඩුව වෙනුවෙන් එයට විරුද්ධ වුණා. සංශෝධනය පිළිගත්තෙ නැහැ. අනෙක් අතට පනත පළාත් පාලන මැතිවරණයටත් අදාළ කියල වගන්තියක් එකතු කළෙත් නැහැ.
රනිලුත් විජේදාසත් ප්‍රශ්නයෙන් ගැලවිල. පනත පළාත් පාලන මැතිවරණයට අදාළ ද වලංගු ද යන්න වෙන කවුරු හරි තීරණය කරාවි. රනිල් ඒ තීරණවලට ඇඟිලි ගහන්නෙ නැති බව රනිල් දන්නවා. ඒක නිසා ඒ තීරණ රනිල්ගෙ තීරණ වෙන්නෙ නැහැ. ඒත් අපට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව මේ කඩිමුඩියෙ පනත සම්මත කර ගත්තෙ ඇයි? පළාත් පාලන මැතිවරණය අවසන් වුණාට පස්සෙ පනත ඉදිරිපත් කරන්න තිබුණා.
ඒ අතරට ආණ්ඩුවට සල්ලි නැති ප්‍රශ්නෙත් තියෙනවා. පළාත් පාලන මැතිවරණය පවත්වන්න තරමක මුදලක් යනවා. මැතිවරණය පැවැත්තුවට පස්සෙ ආණ්ඩුව තවත් අමාරුවෙ වැටෙනවා. ආණ්ඩුවට සල්ලි නැතුව වගේ ම රනිල්ට ඡන්දත් නැහැ. අලියට ඡන්ද නැහැ. පොහොට්ටුවට නම් කවුරු මොනව කිවුවත් ඡන්ද ටිකක් ලැබෙයි. අනෙක් පක්‍ෂවලටත් වැටෙයි. ඒත් එ ජා පක්‍ෂයට ඡන්ද ඇත්තෙ ම නැහැ. රනිල්ට සල්ලිත් නැහැ ඡන්දත් නැහැ. ඒත් ජනාධිපතිකම තියෙනවා. ඒ මදැයි 13 දෙන්න.