Main Logo

Wednesday 17 May 2023

ජෙරොම් ප්‍රනාන්දුට ඇති ඇල්ම හා බැල්ම

 

ජෙරොම් ප්‍රනාන්දුට ඇති ඇල්ම හා බැල්ම

 

දේශක ජෙරොම් ප්‍රනාන්දූ ප්‍රශ්නය සුළුවෙන් සලකන්න බැහැ. ඔහු අද ක්‍රිස්තියානි නිකායක ප්‍රචාරකයා. ඔහුට දේව බැල්ම කෙසේ වෙතත් මෙරට ප්‍රධානියකුගේ ඇල්ම හා බැල්ම තියෙන බව පැහැදිලියි. ඔහුට රටින් පිටවීම තහනම් කරමින් උසාවි නියෝගයක් ගැනීමට පෙර ඔහු රටින් පිටවෙලා. ඔහු ගැන පරීක්‍ෂණයක් පවත්වන්න යනවා. ඉන් එතරම් වැඩක් වේද යන්න ප්‍රශ්නයක්. එය හොරාගෙ අම්මගෙන් පේන ඇහීමක් වේවි ? ඔහු වැඩි කල් නොගොස් ආපසු ලංකාවට ඒවි. තම දූත මෙහෙවර කරගෙන යාවි.

 

ජෙරොම් ප්‍රනාන්දු යම්කිසි දූත  මෙහෙවරක යෙදෙන බව පැහැදිලියි. ආරංචි හැටියට ඔහු යම් සාර්ථකත්වයක් ලබල. මෙරට බෝන් අගේන් ප්‍රචාරයට ඇතැමුන් අකර්ෂණය වෙලා. එයට කොළඹ ආසන්නයේ යම් ජනප්‍රියතාවක් තියෙනවා. සිංහල බෞද්ධයන් අතර පමණක් නොව සිංහල කතෝලිකයන් හා වෙනත් ක්‍රිස්තියානි ආගමිකයන් අතරත්. ජෙරොම් ප්‍රනාන්දුගේ ප්‍රාතිහාර්ය ශාලාව ඇත්තේ කටුනායක. මීගමුව ආසන්නයේ.

 

රටේ ප්‍රධානීන් ලෙස සැලකෙන විවිධ ක්‍ෂෙත්‍රවල පුද්ගලයන් බෝන් අගේන් ක්‍රිස්තියානිය වැළඳ ගෙන ඇති බව කියනවා. ව්‍යාපාරයට මුදල් ලැබෙන බවත් පේන්න තියෙනවා. කාදිනල්තුමාට මේ ව්‍යාපාරය කලක් ප්‍රශ්නයක් වුණා. එතුමා බෞද්ධයන් සමග එක් වීමට අදහස් කළේත් නිසා වෙන්න පුළුවන්. එහෙත්  එතුමා පාස්කු ප්‍රහාරයෙන් ටික කලකට පසු හදිසියේ එහි මහාමොළකරු හොයන්න පටන් ගත්තා. ඉන් පසු අර බෞද්ධ සහජීවනය අගසවුවන්ට හා තවත් කිහිප දෙනකුට සීමා වුණා. 43 වැනි බල කායත් යම් ආකාරයකට සහජීවනයේ සිටියා. නැහැ හමුදාවේ බලකායක් නො වෙයි.

 

  සහජීවන දැන් තරමක් යට ගිහින්. කාදිනල්තුමා මහමොළකරු සෙවීමත් එතරම් උද්‍යොගයකින් කරන පාටක් පේන්න නැහැ. 43 වැනි බලකාය විසිරිලා . 44 වැනි බලකාය හදන්න යනවා. කවදාවත් නැතුව කාලෙකට පස්සෙ මහානායක හාමුදුරවරුන් මතක් වෙලා. අද ජාතික දේශපාලනයේ ලොකු හිඩැසක් තියෙනවා. අදහස් අතින් නොව නායකත්වය  අතින්. හිඩැස පිරවීමට විවිධ පුද්ගලයන් නැවතත් ජාතිකත්වය දෙසට ඇදෙනවා.

 

ජෙරොම් ප්‍රනාන්දුගේ ප්‍රකාශවලට විරුද්ධ කතෝලික සභාව එතරම් ශක්තිමත් නොවන නිවේදනයක් නිකුත් කරලා. බෞද්ධයන් සමග සහජීවනයක් ගැන කතාවක් නැහැ. බෝන් අගේන් ව්‍යාපාරය ශක්තිමත්. එය ඇංග්ලිකන් ක්‍රිස්තියානියේ වර්ධනයක්. එහෙත් ඇංග්ලිකන් මෙතෝදිස්ත හා වෙනත් ක්‍රිස්තියානි නිකායන්ටත් ප්‍රශ්නයක්.

 

බෝන් අගේන් ව්‍යාපාරය වැඩියෙන් ගෙන යන්නේ සිංහලයන් අතර. එයට මුස්ලිමුන් ආකර්ෂණය කරගන්න බැහැ. දෙමළ හින්දුන් අතර හරි දෙමළ කතෝලිකයන් අතර හරි බෝන් අගේන් එතරම් ව්‍යාප්ත කෙරෙන්නේත් නැහැ. බෝන් අගේන් සිංහලයන් ඉලක්ක කරගෙන ආරම්භ වෙච්ච ව්‍යාපෘතියක්.

 

මෙරට දහනවවැනි සියවස අග භාගයේ දී බෞද්ධයන්ට එරෙහිව ඇංග්ලිකන් ක්‍රිස්තියානි හා මෙතෝදිස්ත පූජකවරුන් හා දේශකයන් ව්‍යාපාරයක් ආරම්භ කළා. එහි දී බුදුහාමුදුරුවන්ට අපහාසත්මක කතා කිවුවා. පංච මහා වාද හා බෞද්ධ පුනර්ජීවනය එහි ප්‍රතිඵලයක්. එහෙත් ඉංගිරිසින් සියුම් ලෙස තම ක්‍රිස්තියානි ප්‍රචාරය ආගමෙන් සංස්කෘතියට මාරු කළා. අධ්‍යාපනය මගින් අපට ක්‍රිස්තියානි ආගම නොව සංස්කෘතිය ලබා දුන්නා. අද අප බුදුදහමත් විවරණය කරන්නේ ක්‍රිස්තියානි ඇසකින්. ඇතැමුන් බුදුදහම ගැන අසන ප්‍රශ්නවලිනුත් එය පැහැදිලි වෙනවා. බොහෝ බෞද්ධයන්ට බුදුදහම විද්‍යාත්මක කරන්න අවශ්‍ය වෙලා. ජාතිකවාදී නොදත් දොස්තරලාත් ඇතුළු පිරිසක් සසර සැරිසරන්නේ නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ ඉන්ද්‍රිය ගෝචර දේ පමණයි. ඇතැම් ජාතිකවාදීන් එසේ නම් අන් අය ගැන කියනුම කවරේ ?

 

එදා එංගලන්තය කළ දේ අද කරන්නේ ඇමරිකාව. බෝන් අගේන් මූල් ඇත්තේ එහි. ඉංගිරිසි විද්‍යාව එහි වර්ධනය වුණා. එහෙත්  අද බටහිර විද්‍යාවේ අදහස් ඇන හිටලා. ඔවුන් දැන් පෙර මෙන් ඉන්ද්‍රිය ගෝචර සාක්‍ෂි ඉල්ලන්නේ නැහැ. අර ඉන්ද්‍රිය ගෝචර ජාතිකවාදීන් බව දන්නේ නැහැ. තන්තු ප්‍රවාදය (String Theory) බහුවිශ්ව  ආදිය ඉන්ද්‍රිය ගෝචර නැහැ. අද ඔවුන්ට යළි ඉපදෙන්න සිද්ධවෙලා. සෘජු  ආගමික විශ්වාසවලට අද නැවතත් තැනක් තියෙනවා. වර්ධනය වූ ක්‍රිස්තියානි ඇසකින් මිස කතෝලික ඇසකින් නොවෙයි. ජෙරොම් ප්‍රනාන්දු පාප්තුමා ගැනත් කිවුවේ බලාපොරොත්තු නැති අදහසක් දෙන වචනවලින්.

 

ජෙරොම් ප්‍රනාන්දු එක් අතකින් උත්සාහ කරන්නේ සිංහලයන්ගේ හැඟීම් ඇවිස්සීමට. එය සාර්ථක වන්නේ නැහැ. සිංහල බෞද්ධයන්  නිර්වින්දනය වෙලා.  ඔවුන් නිකම් බොරු බුද්ධිමත් තාර්කික කතා කියනවා. අපට ජෙරොම් ප්‍රනාන්දුට මුහුණ දෙන එක ප්‍රශ්නයක් නො වෙයි. බුදුදහම සිංහල සංස්කෘතියේ භාවිතා වෙන වචනවලින් කීමෙන් හා ශ්‍රද්ධාව ඇති කිරීමෙන්. සමහර විට අද භාවිතා වෙන භාෂාවලින් බුදුදහම හොඳින් කියන්න පුළුවන් සිංහලෙන් විය හැකියි. පාළි ඊට වඩා හොඳ භාෂාවක් වෙන්න පුළුවන්. එහෙත් අද එය භාවිතයේ නැහැ.

 

අද ඇත්තේ දහනවැනි සියවසේ අග භාගයේ තත්වය නො වෙයි. සූත්‍ර දේශනාවල තියෙන දේ වචනවලින් පමණක් කීමෙන් හරි චිත්ත චෛතසික ගණන් කිරීමෙන් හරි වැඩක් වෙන එකක් නැහැ. අපට තවමත් පටිච්චසමුප්පදාය හා මධ්‍යම ප්‍රතිපදාව අරුතක් නැති වචන ටිකක් පමණයි. අනත්ත ලක්ඛණය අත්ත ලක්ඛණයක් වෙලා. එහෙමත් නැත්නම් බුදුදහම විද්‍යාත්මක යැයි කීමෙන් හරි ප්‍රයෝජනයක් නැහැ. බුදුදහම විද්‍යාවේ මිණුම් දඬුවලින් කියන විට අපි විද්‍යාවේ බලපරාක්‍රමය පිළිගෙන.

 

අප බෝන් අගේන් ව්‍යාපාරයෙහි ඇති දේශපාලනයත් තේරුම් ගන්න ඕන. දහනවවැනි සියවසේ ක්‍රිස්තියානි ආගමික ප්‍රචාරය දේශපාලනික වූවා සේ බෝන් අගේන් ව්‍යාපාරයත් දේශපාලනිකයි. ජෙරොම් ප්‍රනාන්දුට බැල්ම තියෙන නිසා තමයි ඔහු රටින් පිටවුණේ. අද අවශ්‍ය බෞද්ධ විමසිල්ලක්.  බටහිර තාර්කික විමසිල්ලක් නො වෙයි.