ඩොලරයේ වටිනාකම හා නීති හැදීම
ධනවාදය ගැන මොන දේ කියා තිබුණත් එය මුලික වශයෙන් ම එංගලන්තයේ නිෂ්පාදිතයක්. එහි මූලික ම කාරණය තමයි හැම දේකට ම මිලක් නියම කිරීම. එහෙමත් නැත්නම් වටිනාකම මුදලින් ධනයෙන් නියම කිරීම. සමහර විට හිතෙන්න පුළුවන උගත්කමට මිලක් නැහැ කියල. උගත්කම තමයි අද මිල නියම කෙරෙන ප්‍රධාන ම දෙයක් වෙන්නෙ. අප ඉගෙන ගන්නෙ හුදෙක් දැනුම් පිපාසයෙන් පෙළෙන නිසා නො වෙයි.
ඉස්සර
කතාවක් තිබුණ පැවිදි වෙලා හතර වරිගෙ ම සසර කෙළවර කරනව කියලා. අද ඉගෙන ගන්නෙ රැකියාවක් කරල හතර වරිගෙ ම ගොඩ දාන්න. උගත්කම අනුව තමයි අද රැකියා හා වැටුප හරි ආදායම හරි තීරණය වෙන්නෙ. නීතිඥයන් බටහිර වෙද මහත්වරුන් පමණක් නොවෙයි උපකාරක පංති කරන්නවුනුත් තම උගත්කම විකුණනවා. ඒ සඳහා ඉගැන්වීමේ දක්‍ෂකම හා තවත් දක්‍ෂකම් ද තියෙන්න ඕන. එහෙත් ප්‍රධාන සාධකය උගත්කම.
අද
මෙරට විශ්වවිද්‍යාලවල
මහාචාර්යවරු වැහි වැහැල. මා හිතන්නෙ ලෝකෙ වෙනත් රටවල නැති විධියට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුත් ඉන්නවා. ඒ සඳහා සපුරාලිය යුතු කොන්දේසිත් තියෙනවා. පත්‍රිකා ලියන්න ඕන. ඒ කියන්නෙ පත්‍රිකාවලටත් මිලක් නියම කෙරෙනවා. නිර්මාණ කියන ඒවත් විකුණනවා. චිත්‍ර කවි නාට්‍ය නවකතා කෙටිකතා ආදී මේ සියල්ල විකිණෙනවා. ඒ සඳහා වෙළෙඳ දැන්වීමුත් පළ කෙරෙනවා. ඒ විචාර ආදිය මගින්. එකිනෙකාගෙ කෘති විචාරයට ලක් කර අන්‍යොන්‍ය විකිණීමකුත් කෙරෙනවා.
ඒ අතර තවත් පිරිසක් ඉන්නවා උගත්කමක් නිල වශයෙන් අත්කර ගැනීමට නොහැකි වෙච්ච. එක්කෝ උසස් පෙළ අවශ්‍ය පරිදි ලකුණු නැති වීම හරි වෙනත් කරුණක් හරි නිසා වෙන්න පුළුවන්. ඒ අය හා විශ්වවිද්‍යාලවලට
ගිහින් මහාචාර්යවරුන් වෙච්ච අය අතර ඇත්තේ සුළු වෙනසක්. සමහර විට තමන් දන්න දේ පැහැදිලි ව ලියා ගන්න බැරි වීම වෙන්න පුළුවන්. ඔවුන් සමහරු තම උගත්කම ප්‍රදර්ශන භාණ්ඩයක් කර ගන්නවා. එයත් බොහෝ වෙලාවට සකර්බර්ග් මගින් හරි වෙනත් ක්‍රමවලින් හරි විකුණනවා.
සෑම
දෙයකට ම මිලක් නියම කිරීම තමයි ධනවාදයෙ මූලික ලක්‍ෂණය. අනෙක්වා ද්විතීයික ලක්‍ෂණ. අද වන විට හැත්තෑවේ දශකයෙ මුල බ්‍රෙට්න්වුඩ් ගිවිසුම නෑති කිරීමෙන් පසු මුදලටත් වටිනාකමක් මිලක් නියම කෙරෙනවා. අපි කියනවා රුපියලේ අගය අඩුවෙලා වැඩිවෙලා කියලා. කලින් රත්තරන්වලට තිබූ තැන අද ඩොලරයට හිමි වෙලා. රුපියල් ද අනෙක් මුදල් ද ඇමරිකන් ඩොලර්වලින් තමයි වටිනාකම එහෙම නැත්නම් මිල නියම කෙරෙන්නෙ. අද චීනය එය වෙනස් කිරීමට හදනවා. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ට අවශ්‍ය ඩොලරය වෙනුවට යුආන් මුදලේ අගය තීරණය කරන මුදල බවට පත් කරන්න. චීනය ක්‍රම වෙනසක් කරල නැහැ. ඔවුනුත් ධනවාදයෙ ම තමයි ඉන්නෙ.
එංගලන්තයෙ හරි වෙන රටක හරි කලින් මුදල වටිනාකම මනින එක ම ඒකකය වුනෙ නැහැ. අපේ රටවලත් රන්මසු කහවනු ආදිය තිබුණා. එංගලන්තෙ වටිනාකම ඉඩම්වලින් පවුල් බලයෙන් ආදියෙනුත් මැන්නා. එංගලන්තයෙ තමයි ඒ ක්‍රමය වෙනස් වෙන්න පටන් ගත්තෙ. එහි ඊනියා වැඩවසම් ක්‍රමය යටතෙ රජවරුන්ට රදළයන්ට පූජකවරුන්ට ඉඩම් අයිතිවීමෙන් හා සමාජයේ බලය ආදියෙන් තිබූ
වටිනාකම් නැති වෙන්න පටන් ගත්තා. අපේ රටේ ඉඩම් අයිතිය කියා එකක් තිබුණෙත් නැති බව අමතක කරන්න එපා. නුවර යුගයේ තිබූ වැඩවසම් ක්‍රමයක් ගැන කියවන මුදල්
වටිනාකමක් ඇති උගතුන්ට එය මතක් කරන්න ඕන.
ඒ කොහොම වුනත් වටිනාකම මුදලින් පමණක් මැන්න පිරිසක් එංගලන්තයෙ බලය ගත්තා. ඒත් ඔවුන් රජ පවුල අහෝසි කළෙ නැහැ. එයටත් මුදලින් වටිනාකමක් දුන්නා. අද එංගලන්තෙ රජ පවුලෙ වටිනාකමත් පවුම්වලින් මනින්නෙ. අද ලෝකයේ ලොකු ම ධනවතා කවුද කියලයි හොයන්නෙ. ඒ අතර අර බලය ගත්ත අය ධනය වෙනුවෙන් නීති හදන්න පටන ගත්තා. බටහිර නීතිවල පදනම දෙවියන් වහන්සේ. අද ඒ නීති හදන්නෙ ධනය වෙනුවෙන්. බටහිර විද්‍යාවෙ නීති කියන්නෙ දෙවියන් වහන්සේගේ මනස.
ධනය
වෙනුවෙන් නීති හදන අය රජුගෙන් රදළයන්ගෙන් හා පූජකයන්ගෙන් තමන්ට බලය ගැනීම සඳහාත් නීීති හැදීම සඳහාත් පාර්ලිමේන්තුව කියල ආයතනයක් හදා ගත්තා. පාර්ලිමේන්තුවෙ තියෙන්නෙ ජනතාවගෙ බලය කියල ලස්සන කතාවක් ගොතල තියෙනවා. අපි ඒක ඉගෙන ගන්නවා. ඒ දැනුමටත් මුදල් වටිනාකමක් ලැබෙනවා. ආසියාවෙ අපට පාර්ලිමේන්තුව පිටින් ලැබුණු එකක්. එය අප මත බලෙන් පටවලා. අපි දන්නෙ නැහැ ඒක පාවිච්චි කරන විධිය.
අපි
දන්නෙ නැහැ පාර්ලිමෙන්තුව කියන්නෙ රජුගෙන් රදළයන්ගෙන් හා පූජකයන්ගෙන් අර මුදලෙන් වටිනාකම් මනින අයට බලය මාරු කළ ආයතනය බව. එංගලන්තෙ බලය මරු වීමේ දී සාමි මන්ත්‍රණ මණ්ඩලය කියා එකකුත් තියා ගත්තා. ඒකෙ තාමත් රදළයන් හා පූජකයන් ඉන්නවා. ඔවුන්ට අද විශාල බලයක් නැති වුනත් යම් යම් ප්‍රමාද කිරීම් කරන්න පුළුවන්. අපට පාර්ලිමේන්තුව කියන්නෙ තමන් රජවරුන් බවට පත්කරන ආයතනයක්. අද ආසියාවෙ පාර්ලිමෙන්තු යොදා ගන්නෙ රජ වෙන්න. එංගලන්තෙ රජු වෙනුවට අපට අගමැති කෙනෙක් හරි ජනාධිපති කෙනෙක් හරි ඉන්නවා.
අපි
පාර්ලිමේන්තුවෙ නීති හැදුවට ඒ ධනය සඳහා නොවෙයි. ධනවතුන්ටත් නීති හදන්නන්ටත් ඒ බව තේරෙන්නෙ නැහැ. අපි නීති හදන්නෙ ධනය හිමි අය වෙනුවෙන් මිසක් ධනය වෙනුවෙන් නො වෙයි. ඒ නිසා නීති හදන්නන් ම නීිති කඩනවා. රජුගෙ වචනෙ නීතිය කියල හිතපු විධියට තමයි අපි තාම වැඩ කරන්නෙ. අපි නීති හදන්නෙ නීතිපතිට.