මා
දුරුත්තේ කැලණි ගිය හැටි
මට
උපකාර කළ බොහෝ දෙනකු ඉන්නවා. ඔවුන්ට ප්‍රතිඋපකාර කිරීමට නොහැකි වීම ගැන මා කණගාටුවෙනවා. කොහොමටත් මගෙන් එච්චර උපකාරයක් කෙරෙන්නේ නැහැ. මට උපකාර කර ඇති සමහරකු ප්‍රතිවාදී අදහස් දරණ අය. මා සමග එකඟ වන අය ඉන්නේ ඉතා සුළු පිරිසක්. යමකු මා සමග එකඟ වෙනවා කියන්නේ ඔහු දරණ මතවාද සමග මගේ මතවාදය ඒ මොහොතේ එකඟ වීමටයි. එහෙත් ඔහු දරණ මතවාදයෙන් මගේ මතවාද වෙනස වූ ගමන් ඔහු පහර දීමට පටන් ගන්නවා. යමකුට මතවාදයක් ලැබෙන්නේ සංස්කෘතියෙන්. වැඩිහිටියන්ගෙන්
ගුරුවරුන්ගෙන් මිතුරන්ගෙන් පොතපතින් ආදී වශයෙන්. තම තමන් ම මතවාදයක් සකස් කර ගන්නා අය විරලයි. ලංකාවේ නම් ඇත්තේ ම නැති තරම්.
ජාතිකවාදීන් එ ජා පක්‍ෂයට ලැදි වුවන් අතරත් ඉන්නවා. ඔවුන් මා සමග ගණුදෙනු කරන්නේ සුහද ව. මා දරණ බොහෝ මතවාද සමග ඔවුන් එකඟ වන්නේ නැහැ. ඇතැම් ජාතිකවාදීන්ට අවශ්‍ය මා ලවා ඔවුන්ගේ මතය කියවා ගන්න. මහාවංසයේ අමනුෂ්‍ය කතා මා පිළිගන්නේ නැහැ. කුවේණි නම් යක්‍ෂණිය මිනිස් වෙසක් මවාගෙන විජයට දරු දෙදෙනකු ලබා දුන්නේ ය වැනි කතා මා පිළිගන්නේ නැහැ. අමනුෂ්‍යයන් හා වෙනත් අදෘශ්‍යමාන සත්වයන් අප සමග ජීවත් වන බව එකක්. ඒ බව පිළිගන්න පුළුවන්. දැනුත් ඒ අත්දැකීම් ලබා ගන්න පුළුවන්. එහෙත් විජය කතාව ඒ විධියට ම පිළිගන්න බැහැ. මා පිළිගන්නේ නැහැ. විජයට පෙර මෙරට මනුෂ්‍යයන් නොසිටි බව මා පිළිගන්නේ නැහැ. ජාතිකවාදීන්ගේවත්
වෙනත් කාගේවත් හිත දිනා ගැනීමට මට දැන් අවශ්‍ය නැහැ. මා ද්‍රේහියකු යැයි කියන සුපිරි ජාතිකවාදීන් මා මෙහි ප්‍රතිචාරයේ දන්වා ඇති බුදුහාමුදුරුවන් ගැන කියන දේශනය ගැන කියන්නේ කුමක් ද? එය බොරුවක් නම් ප්‍රශ්නයක් නැහැ.
මා
කියන්න යන්නේ මට උපකාරයක් කළ එ ජා පක්‍ෂයට හිතවත් අයකු ගැන. මට රැකියාවක් නැතුව සිටි කාලයෙහි තමයි 1996 දී අප කළුතර සිට කතරගමට පා ගමනක් ගියේ. ඒ චන්ද්‍රිකාගේ පැකේජයට විරූද්ධ ව. එයට එ ජා පක්‍ෂයට හිතවත් කිහිප දෙනකුත් සහභාගි වුණා. අම්බලන්තොට ව්‍යාපාරිකයකු වූ සරත් එවැන්නෙක්. එකල තිබූ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමති වූයේ ඉන්දික ගුණවර්ධන. ඔහු මගේ පාසල් මිතුරෙක්. අප එක ම පංතියේ නොවුණත් එක ම ශ්‍රේණියේ ඉගෙන ගත් වසර දෙකකුත් තිබුණා. එහෙත් ඔහුගෙන් මා විශ්වවිද්‍යාල රැකියාව බලාපොරොත්තු වුණේ නැහැ.
ඒ අවධියේ මා නඩු වර්ග දෙකක් කිවුවා. එකක් කම්කරු උසාවිය, මහාධිකරණය හා ශ්‍රෙෂ්ඨාධිකරණය
හමුවේ කොළඹ විශ්වවිද්‍යාලයට එරෙහි නඩු. එහි දී එස් එල් ගුණසේකර, කණිෂ්ක විතාරණ, තිස්ස යාපා නීතිඥවරු මා වෙනුවෙන් නොමිලේ පෙනී සිටියා. මගෙන් ඔවුන්ට කිසිම ප්‍රතිඋපකාරයක්
වෙලා නැහැ. ජී එල්ගේ ඊනියා ගෘහස්ථ පරීක්‍ෂණයේ දී මා වෙනුවෙන් පෙනී සිටියේ අර්ජුන සොයිසා. ඔහුටත් මගෙන් ප්‍රතිඋපකාරයක් කෙරී නැහැ. එස් එල් ගුණසේකර හා අර්ජුන සොයිසා මෙලොව හැර ගිහින්.
අනෙක්
නඩු වර්ගය වුණේ මහාචාර්ය තනතුරකට මා ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍ර නොසලකා හැර ප්‍රතික්‍ෂෙප කළ වෙනත් විශ්වවිද්‍යාලවලට
විරුද්ධව. ඒ නඩු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අභියාචනා මණ්ඩලය ඉදිරියේ විභාග වුණේ. මා ඒ නඩුවලට නීිතිඥයකුගේ සහාය ලබා ගත්තේ නැහැ. මට තේරෙන විධියට මා දන්නා විශ්වවිද්‍යාල අණපනත් රෙගුලාසි නීති රීති අනුව ඒ විනිසුරුවන් (ඔවුන් විශ්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්)
ඉදිරියේ නඩු කිවුවා.
ඒ නඩු සියල්ල 2002 පමණ වන විට අවසන් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය
අර උසස් අධ්‍යපන ඇමති හමීඩි බොරු කිවුවා යනුවෙන් මා පුවත්පත්වලට කළ ප්‍රකාශය පිළිබඳ චෝදනාවෙ හැරෙන්න අනෙක් චෝදනා සියල්ලෙන් මා නිදහස් කළා. ඔවුන් කියා සිටියේ ඇමතිවරයකු සම්බන්ධයෙන් මට එවැනි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට නොහැකි බවයි. මට ඒ තීන්දුව පිළිගැනීමට සිදු වුණා. මට ආපසු කොළඹ විශ්වවිද්‍යාලයට යෑමට නොහැකි වුණා. ප්‍රතිපාදන කොමිසමේ අභියාචනා මණ්ඩලය අනෙක් විශ්වවිද්‍යාලවලට නියෝගයක් දුන්නා මගෙ ඉල්ලුම් පත් සලකා බැලීමට.
එසේ
සලකා බැලීමෙන් පසුව හා සම්මුඛ පරීක්‍ෂණවලට සහභාගි වීමෙන් පසු මා පළමුව කැලණියේත් පසුව ජයවර්ධනපුරත් රැකියා සඳහා තෝරාගනු ලැබුණා. එහෙත් විශ්වවිද්‍යාලයකින් අස් කරනු ලැබු පුද්ගලයකු ලෙස ඒ විශ්වවිද්‍යාලවලට මට නීත්‍යානුකුල පත්වීමක් ලබා දීමට ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය අවශ්‍ය වුණා. ප්‍රතිපාදන කොමිසම තීරණයක් නොගෙන කල් මැරුව. මා කොළඹ විශ්වවිද්‍යාලයෙන්
අස්කෙරුණේ ප්‍රේමදාස ජනාධිපති ව සිටි හමීඩ් උසස් අධ්‍යාපන ඇමති ව සිටි සමයේ. හමීඩ් මා අස් කිරීමට විරුද්ධ වූ බව කියන්න ඕන. මා ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ලෙස වැටුප් හා දීමනා ප්‍රශ්නයේ දී සාකච්ඡා වාර කිහිපයක් ම පවත්වා තිබුණා. ජී එල්, ඈපාසිංහ, සමරනායක, අරුල්ප්‍රගාසම් ආදීන්ට මෙන් නොව ඔහුට මා ගැන වැටහීමක් තිබුණා. නඩු කිවුවේ චන්ද්‍රිකාගේ කාලයේ. 2001 දී ආණ්ඩු පෙරළියක් සිදු වුණා. රනිල් අගමැති වුණා. කබීර් හෂිම් උසස් අධ්‍යාපන ඇමති වුණා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණයක් ගැනීම ප්‍රමාද කිරීම පිළිබඳ ව පාර්ලිමේන්තුවේ
ප්‍රශ්න කෙරුණා. ඒ සම්බන්ධයෙන් උනන්දු වුණේ මහජන එක්සත් පෙරමුණ. මේ අවස්ථාවේ දී තමයි සරත් මැදිහත් වුණේ. ඔහු කබීර් හෂිම් පෞද්ගලික ව දැන සිටියා. මා සරත්ගේ ගෙදර අවමංගල්‍යයකට ගිය අවස්ථාවේ කබීර් හෂීම් ද එහි සිටියා. සරත් කබීර් හෂිම් හමු වී මගේ ප්‍රශ්නය ගැන කරුණු කිවුවා.
පාර්ලිමේන්තුවේ උසස් අධ්‍යාපන උපදේශක සභාව රුස්වුණා. එයට ප්‍රතිපාදන කොමිසමේ සභාපතිත් කැඳවනවා. එහි දී ම එ පෙ මගේ ප්‍රශ්නය මතු කළා. කබීර් හෂීම් ප්‍රතිපාදන කොමිසමට කිවුවා ප්‍රශ්නය සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්න කියා. මා 2003 දුරුත්තේ කැලණි ගියා. මට ඒ සම්බන්ධයෙන් උපකාර කළ සියල්ලන්ට පින්!
https://fb.watch/ktqxHmKAdm/?mibextid=RUbZ1f