මහාවිහාර විශ්වවිද්‍යාලය
මා වමාලා ගැන සැලකිලිමත් වන්නේ නැහැ. අද වමක් නැතිවා පමණක් නොවෙයි, වාමාංශික අදහස්වලටවත් රටේ තැනක් නැහැ. වමාලා තමන් අතර ම පිට කසා ගැනීමේ ව්‍යාපාරයක නිරත වී සිටිනවා පමණයි. අද වෘත්තීය සමිති ව්‍යාපාරය ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයට. වෘත්තීය සමිති මින්පසු රනිල්ට විරුද්ධ ව පාරට බහින්නේ නැහැ. අර බදු වැඩි කිරීමට විරුද්ධ ව සටන් වැදුණු පාසල් ගුරුවරුන්ට විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ බදු අඩු කර දීමට නොහැකි වුණා. අන්තරේ යන්තරේ ම කඩා වැටිලා. එහි නිලධාරීන් තෝරනවා සමහර විශ්වවිද්‍යාල ශිෂ්‍ය සභාවලට දන්වන්නේ නැතිව. ජෙප්පන්ගේ අන්තරේ හා සෙප්පන්ගෙ අන්තරේ කියා අන්තර දෙකක් හැදුව නම් මොකද වෙන්නෙ. අවශ්‍ය උපදෙස් රනිල්ගෙන් ගන්න පුළුවන්.
වමාලා
නොදන්න දෙයක් නැහැ. ඊනියා අනෙකා කියවීමට ඔවුන් දක්‍ෂයි. එහෙත් තමන් ගැන දන්නේ නැහැ. ඇහුවොත් කතා කරන්නෙ දයලෙක්තිය ගැන. එංගල්ස් කිවුවෙ මොනව ද කියල ඇහුවොත් එංගල්ස්ටත් උගන්වන්න කතා කියනවා. එංගල්ස් මිය ගිය එක ඔහුගෙ වාසනාවක්. නැත්නම් මේ දවස්වල නොමරා මරණවා. වමාලා චතුස්කෝටිකයත් දන්නවා. සමහර
වමාලා නොවන අය වමාලාටත් වඩා හොඳින් චතුස්කෝටිකය දන්නවා. ඔවුන් ද්විකෝටිකය දන්නේ නැහැ. අගය හා කෝටිකය අතර වෙනස දන්නේ නැහැ.
මට
සසෙක්ස් විශ්වවිද්‍යාලය
ආචාර්ය උපාධියක් දුන්නෙ සාධාරණ සාපේක්‍ෂතාවාදය සම්බන්ධ ගැටළු දෙකක් විසඳුවාට. එකක් මගේ උපදේශකවරයා දුන් ගැටළුව. අනෙක මගේ ම ගැටළුවක්. ඒත් මා දන්න සාපේක්‍ෂතාවාදයක්
නැහැ. බටහිර ලෝකයේ සාපේක්‍ෂතාවාදය
ඉහළින් ම ප්‍රගුණ කළ අයටත් වඩා සාධාරණ සාපේක්‍ෂතාවාදය
දන්නා අය මෙරට ශාස්ත්‍ර පීඨවලින් බිහි වෙලා තියෙනවා. මා දැන් යමක් ඉගෙන ගන්නේ ඔවුන්ගෙන්.
මා
ඔවුන්ගෙන් ඉගෙන ගත්තත් වැඩියෙන් ම සැලිකිලිමත් වන්නේ ජාතිකවාදීන් ගැන. ජාතිකවාදී අදහස් රටෙන් තුරන් කරන්න බැහැ. ඒකට හේතුව වමාලා කියන විධියට නම් මෙරට අති මහත් සිංහල බහුතරය ගෝත්‍රවාදී ස්වොත්තමවාදී මෝඩ ලිංමැඩියන් වීම. මාත් එවැන්නකු වෙන්න ඕන. ඒත් මා දන්නවා බටහිරයන් අප පාලනය කරන්නේ ඔවුන්ගේ ජාතිකත්වය අපේත් ජාතිකත්වය බවට පත් කිරීමෙන් බව. ඒ කරන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය මගින්. අපට හෝඩියේ සිට විශ්වවිද්‍යාලය දක්වා ලැබෙන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය. අපට උගන්නනවා එය අපේ අධ්‍යාපනය ලෙස සිතීමට.
මා
මෙහි කියන දේට අතිමහත් ජාතිකවාදී බහුතරය එකඟ වන්නේ නැති බව මා දන්නවා. එහෙත් මගේ නිරවුල් වීම සඳහා මෙය ලියනවා. රනිල් මල්වතු අස්ගිරි මහා නාහිමියන්ට පවසලා තියෙනවා ජපානයෙන් ආධාර අරගෙන මහාවිහාර විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන බව. මට එ ගැන ඇත්තේ බියක්. මට තේරෙන පරිිදි මහාවිහාරය තමයි ලෝකයේ පළමුවැනි විශ්වවිද්‍යාලය. ඊළඟට අභයගිරිය. අභයගිරිය කී ගමන් කුපිතවන ජාතිකවාදීන් ඉන්නවා. එහෙත් අභයගිරියේත් විශ්වවිද්‍යාලයක්
තිබූ බව පැහැදිලියි. එහි තවමත් ගුරුවරුන් හා සිසුන් එකට නැවති අධ්‍යයනයෙහි නිරත වුණු පංචාවාස දකින්න පුළුවන්. මා හිතන විධියට අභයගිරියේ වැඩ විසු අරියදේව හාමුදුරුවන් තමයි නාගර්ජුන හාමුදුරුවන්ගේ ආයතනයේ ප්‍රධනියකු වුණේ.
වයි
කරුණාදාස විද්වතා කියන විධියට මහාවිහාරෙ හාමුදුරුවරු වෙනස්වන්නකු නැතුව වෙනස්වීම ගැන කියලා තියනවා. එය පුද්ගලවාදීන්ට හා ආත්මවාදීන්ට අභියෝගයක් වුණා නියතයි. අද ඇරිස්ටෝටල්ගෙ ද්විකෝටික ද්විඅගය න්‍යාය දැනගත් උගත් තරුණයන්ට අනත්ත තේරුම් ගන්න බැහැ. පවතින්නේත් නැත නොපවතින්නේත් නැත යන්න ඇරිස්ට හරියන්නේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාව තේරෙන්නේත් නැහැ. සසර කෙළවර කරන්නේ ඊනියා ආත්මයක් නැති කිරීමෙන් නො වෙයි. නැති ආත්මයක් නැති කරන්නෙ කොහොමද? ඇතැමුන් සසර කෙළවර කිරීම උච්ඡෙදවාදයක් ලෙස සලකන්නේ වච්චගොත්ත සූත්‍රය අවබෝධ කර ගැනීමට බැරුව ඇරිස්ට අනුව සිතීමෙන්.
රනිල්
වික්‍රමසිංහගේ මහවිහාර විශ්වවිිද්‍යාලය තවත් බටහිර විශ්වවිද්‍යාලයක්
වෙන්න ඉඩ තියෙනවා. එයට ප්‍රධාන හේතුව අද බොහෝ බෞද්ධ උගතුන් බටහිරින් බුදුදහම ඉගෙනගත් අය වීම. එයට මහාවිහාර සම්ප්‍රදායත් එක් අතකින් වග කියන්න ඕන. මහාවිහාරය පස්වැනි සියවසෙන් පමණ පසු සංරක්‍ෂණ කාර්යයෙහි යෙදී තියෙනවා. අලුතෙන් යමක් එකතු කරන්න උත්සාහ අරගත් බවක් පේන්න නැහැ. අර වෙනස්වන්නකු නැතුව වෙනස්වීමක් වගේ දේ ගැන අහන්න ලැබෙන්නේ නැහැ.
බටහිර
විශ්වවිද්‍යාලවල මූලික ම දෙය දැනුම අභිසංස්කරණයයි.
පාසල හා විශ්වවිද්‍යාල අතර ප්‍රධාන වෙනස ද එයයි. දැනුම ලබා දීම දෙතැන ම කෙරුණත් දැනුම අභිසංස්කරණය වෙන්නෙ විශ්වවිද්‍යාලවල.
අපේ විශ්වවිද්‍යාල අද දහතුන්වැනි වසරෙන් එහා වසර ඇති පාසල් බවට පත් වී ඇත්තේ අභිසංස්කරණය නැති නිසයි. මහාවිහාරයේ හා අභයගිරියේ බොහෝ කලකට පෙර එය තිබී ඇති බව පැහැදිලියි.
සංරක්‍ෂණය හොඳ වැඩක්. එහෙත් අපට එයට පමණක් සීමා වෙන්න බැහැ. මහායානිකයන් කළේ බමුණු මත පදනම් කරගෙන බුදුදහමට අලුත් මත ඉදිරිපත් කිරීමයි. එයින් සිදු වූයේ බුදුදහම දඹදිවින් නැති වීමයි. බටහිරයන් අලුත් දැනුම එකතු කරන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව ක්‍රිස්තියානි සංස්කෘතියෙහි. අපි අද දැනුම සම්බන්ධයෙන් ඒ චින්තනය හා සංස්කෘතිය පසුපස ගාටන්නේ එහි කිඳා බැස නොවෙයි.
මහාවිහාර විශ්වවිද්‍යාලයත් ඒ චින්තනයෙහි හා සංස්කෘතියෙහි බුදුදහම හා අදාළ දැනුම් ලබා දෙන ආයතනයක් බවට පත්වීමට විශාල ඉඩක් තියෙනවා. විද්‍යොදය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල අද තුන්වැනි පංතියටත් පහළ අනුකාරක විශ්වවිද්‍යාල බවට පත් වී තියෙනවා. පේරදෙණිය හා කොළඹත් ඒ විධිය ම තමයි. 1921 දී විශ්වවිද්‍යාල ආයතනය ආරම්භ කෙළේ ම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ
උපාධි කඩයක් ලෙස. අදත් උත්තර පත්තර බලනවාට ඇදුරන්ට දිමනාවක් ලැබෙන්නේ ඒ නිසා.
පැරණි
දැනුම සංරක්‍ෂණය කර ගන්නා අතර අලුත් දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අභිසංස්කරණය කරන්න අපි පසුබට විය යුතු නැහැ. අපි බමුණන් හරි තුන්වැනි පංතියටත් පහළ අනුකාරකයන් හරි විය යුතු නැහැ. අලුත් දැනුම කියන්නේ අලුත් බුදුදහමක් නො වෙයි. යුදෙවුවන් හරි ක්‍රිස්තියානින්
හරි පරණ තෙස්තමේන්තුව හරි අලුත් තෙස්තමේන්තුව හරි වෙනස් කර නැහැ.