Main Logo

Wednesday 24 May 2023

පඬිනැට්ටන් හා හඩු බස

 

පඬිනැට්ටන් හා හඩු බස

 

මා ඊයේ ලිපිය ලිවුවේ පඬි නැට්ටන්ගේ හඩු බසින්. එහි අදහස් සිංහල බෞද්ධ විරෝධීන්ගේ. එක් පඬි නැට්ටකු හිතා ගෙන ඇත්තේ මා ඔහු කියන අන්දමට ජාතිවාදී ආගම්වාදී මිථ්‍යාමත වැපිරීම අවසන් කර ඇත කියා. මා පඬි නැට්ටන් මෙන් බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි. කිසිසේත්ම විද්‍යාඥයකු නො වෙයි. ලිපියෙහි ඇත්තේ මගේ අදහස් නොවෙයි. විද්වතුන්ගේ අදහස්. එක් අයකුගේ නොව රාශියකගේ අදහස්. නිවුටන් ගුණසිංහ, ජයදේව උයන්ගොඩ, සුසිල් සිරිවර්ධන, මහින්ද ඉලේපෙරුම, ජෙරොම් ප්‍රනාන්දු සහ තවත් අයගේ අදහස්. අය සියලු අදහස් දරණවා නො වෙයි. සමහරු සමහර අදහස් සමග එකඟ නොවනවා වෙන්න පුළුවන්. එහෙත් ඔවුන් මූලික වශයෙන් බටහිර දැනුමෙන් හිස පුරවා ගත් විද්වතුන්.

 

ඔවුන් පැණියට විරුද්ධයි. මතු බුදුවන නාථ දෙවියන් ප්‍රතික්‍ෂෙප කරනවා. ඔවුන්ට සසරක් නැහැ. ඔවුන් යම් සත්‍යයක් පරම සත්‍යයක් ඇති බව විශ්වාස කරනවා. සත්‍යයට බටහිරයන් ළඟා වෙන බව විශ්වාස කරනවා.

සමහර පඬිනැට්ටන් හිතන්නේ ලිපිය ලියුවේ මා නොවන බවයි. සමහරු හිතන් ඉන්නේ යම් කිසිවකු ලිපිය ලියා මගේ අනුමැතියෙන් පළ කර ඇති බවයි. මා කිසිවකුගේ ලිපි පළ කරන්නේ නැහැ. කිසිවකුට මගේ පිටුවේ ලිපි පළ කරන්න ඉඩ දෙන්නේත් නැහැ. මා එකතු කරමින් ලියන ඇතැම් ලිපි මා කියවන්නේවත් නැහැ. වැඩිම වුවහොත් මා මගේ පිටුවේ දැන්වීමක් පළ කරාවි. පඬිනැට්ටන් හිතනවා ඇති ඔවුන්ගේ බසින් මැන්ටලයකට තම හඩු බසින් ලියන්න බැහැ කියා. හඩු බසින් ලියන්න අමුතු ශික්‍ෂණයක් අවශ්‍ය නැහැ.

 

පඬිනැට්ටන් සමහරු දැන් හැට පැනපු අය. සමහරු හැටට ආසන්නයි. ඔවුන් මැන්ටල නො වෙයි. ඔවුන් සදා තරුණයි. මා විතරයි මැන්ටලයකට ඉන්නේ. මා බටහිර විද්‍යාව විතරක් නො වෙයි සියලු දැනුම් බොරු මායා කියා කියනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරු වන්නේ එය වියුක්ත නිසා. වියුක්ත යන්නට අමූර්ත කියාත් කියන්න පුළුවන්. එහි කිසිම වෙන් වූ බවක් නැහැ. වියුක්ත සංකල්ප හිතෙන් මවා ගන්නවත් බැහැ.

 

මා දන්නා කම්කරු පංතියක් නැහැ. එහෙම පංතියක් තියෙන රටක් ගැන මා දන්නේ නැහැ. ඊනියා කම්කරු පංති විප්ලවය කිසි දා කිසි රටක ඇති වන්නක් හරි ඇති වූවක් හරි නො වෙයි. සමාජවාදය සෙන්ට් සයිමන්ගෙ වුණත් මාක්ස්ගෙ වුණත් වැඩ නොකරන හිතළුවක් පමණයි. වාම පඬිනැට්ටන් විප්ලවය එන කම් බලා ඉන්නවා. ඔවුන්ට මැරෙන කම් බලා ඉන්න වේවි. පඬිනැට්ටන් තමන් කළා යැයි හිතන පරගලයට මොකක් වුණා කියා හිතා ගන්න බැරුව ඉන්නවා. බටහිරයන් සැලසුම් කළ පරගලයෙන් පඬිනැට්ටන් නිර්ප්‍රභූ පාලනයක් බලාපොරොත්තු වෙන්න ඇති. දැන් හොඳ නිර්ප්‍රභූ පාලනයක් ඇති වෙලා.

 

වමාලාට අද කරන්න ඇත්තේ එක එක දේශපාලනයක් පමණයි. ජාතිකවාදයට විරුද්ධ ලියා තම  අපේක්‍ෂා භංගත්වය හෙළි කිරීම පමණයි. ජතිකවාදයට විරුද්ධ ලියා සතපහක වැඩක් වෙන්නේ නැහැ. වරද්දාගත් තරුණයන් හිතනවා තමන් විද්‍යාත්මක චින්තනයක් අනුගමනය කරනවා කියා. විද්‍යාත්මක චින්තනය මොකක් කියා කිසිවකුට කියන්න බැරි බව මා දන්නවා. ඇති විද්‍යාත්මක චින්තනයක් නැහැ. කාල් මාක්ස් මෙන් කාල් පොපර් වැඩ නොකරන හිතළු කියෙවුවා පමණයි. මිනිසුන් ඇතැම් නිරීක්‍ෂණ විස්තර කිරීම සඳහා හිතළු ගොතනවා. සමහර හිතළු වැඩ කරනවා. ඒවා සත්‍යය හරි සත්‍යයට ළඟා වෙන දේ හරි හැටියට හිතන්න අප පුරුදු කරලා.

 

පඬිනැට්ටන් ලෝකය දකින්නේ බටහිරයන්ගේ හිතළුවලින්. ඔවුන්ට අනුව ජාතිය ඇති වී තිබෙන්නේ මෑතක. එහෙත් සිංහල ජාතිය ඇති වෙලා අඩු තරමෙන් වසර දෙදහසක් වෙනවා. ගැමුණු රජුගේ කාලයේ. සිංහල භාෂාව එයට වඩා පැරණියි. දෙමළ භාෂාවක් තිබුණත් දෙමළ ජාතියක් ලොවේ කිසි දා කිසි තැනක තිබී නැහැ. අප කතා කරන්නේ චෝල පාණ්ඩ්‍ය ආදී රාජ්‍ය ගැන මිස දෙමළ රාජ්‍යයක් ගැන නො වෙයි. තවමත් තමිල්නාඩුවේවත් දෙමළ ජාතියක් නැහැ. දෙමළ දේශයක් ගැනත් ඉතිහාසයේ කියැවෙන්නේ නැහැ. එහෙත් සිංහල දේශය ගැන දඹදිව දැනන් හිටියා. දෙමළ ජනකොටස් නම් දකුණු අප්‍රිකාවේත් ඉන්නවා. නරක දකුණු අප්‍රිකාවේ දෙමළ නිජභූමියක් ගැන කතා කෙරුව නම්. විප්ලවයක් එන්නෙ නැති එකේ පඬිනැට්ටන්ට වැඩත් එපායැ.

 

බටහිරයන් බහුසංස්කෘතික බහුබූතයක් ගැන කියවන්නේ මුළු ලෝකය තම ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට නතු කර ගනිමින්. එංගලන්තයේ බහු සංස්කෘතියක් නැහැ. බව චාල්ස්ගෙ මෞලි මංගල්‍යයෙ දි දකින්න ඇති. වෙනත් සංස්කෘතිවල ජනයා එංගලන්තයේ ඉන්නවා. ඒත් සංස්කෘති ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංසකෘතියේ අහළකින්වත් තියන්නෙ නැහැ. වත්මන් දැනුමත් එහෙමයි. බටහිර දැනුම සම්පූර්ණයෙන් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙ අභිසංස්කරණයක්.

 

ලංකාවේ අපට කියනවා හැම සංස්කෘතියක් සමානයි කියල. අපි ඒක එහෙම නොවෙයි කී ගමන් පඬිනැට්ටන් අපට ජාතිවාදීන් කියනවා. පද්මනාදන් කොතරම් වෑයම් කළත් දෙමළ සෙල්ලිපි අලුතෙන් ලියන්න බැහැ. මෙරට විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව මකා දැමීමට තමයි පඬිනැට්ටන් හා පද්මනාදන්ලා උත්සාහ ගන්නේ. එංගලන්තයේ ඇති බහු සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යය යටතේ අනෙක් සංස්කෘතීන් පවත්වා ගෙන යෑම. මෙරට බහු සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියට ඇති විශේෂත්වය නැති කිරීම. අප කතා කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යයක් ගැන නොවන බව අවධාරණය කරන්න ඕන.

 

සිංහල බෞද්ධ සංස්කෘතියට නුවර යුගයේ එකතු වූ කුල භේදය නිසා යම් පීඩාවකට ලක් වී ඇති ඇතැම් පඬිනැට්ටන් එයට පළිගැනීමට සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වෙනවා. අපට එය තේරුම් ගන්න පුළුවන්. ඔවුන් කුල භේදය නැති කිරීමට ක්‍රියා කරනු වෙනුවට කරන්නේ බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යය යටතේ දෙමළ ජාතිවාදය වෙනුවෙන් වැඩ කිරීමයි. අද පඬිනැට්ටන් කරන්නේ තම විවිධ හීනමාන හා අධිමාන නිසා බටහිර විද්‍යාව ප්‍රමුඛ බටහිර දැනුම කට ගාගෙන සිංහල බෞද්ධ සංස්කෘතියටත් සිංහල දැනුමටත් විරුද්ධ වැඩ කිරීමයි. මා සිංහල බෞද්ධ සංස්කෘතියටත් සිංහල දැනුමටත් හිමි විය යුතු තැන වෙනුවෙන් කටයුතු කරනවා. එහෙත් මා අනෙක් දැනුම් ප්‍රතික්‍ෂෙප කරන්නේවත් අනෙක් සංස්කෘතීන්ට ගරහන්නේවත් නැහැ.

 

පඬිනැට්ටන්ට අනුව මා ජාතිවාදියෙක් ආගම්වාදියෙක් මිථ්‍යා මතධාරියෙක් හා මැන්ටලයක්.