වෙසක්
උත්සවය වර්ණවත් කළු නැහැ
මෙවර වෙසක් උත්සවය කළු නැහැ. ඉතා ජයට නැති වුණත් කලකට පසු වෙසක් උත්සවය ජයට පැවැත්වුණා. ළමුන්ට වෙසක් සිරි බැලීමට හැකි වුණා. තොරං රාශියක් තිබුණා. ඊට වඩා දන්සල් තිබුණා. විශාල පිරිසක් සිල් සමාදන් වුණා. පන්සල්වල සෙනග ගැවසුනා.
ඒ කොහොම වෙතත් වෙසක් කියන්නෙ උත්සවයක්. එය ශෝක දිනයක් නොවෙයි. මීට වසර හැටහතකට පෙර බුද්ධ ජයන්තිය පැවැත්වුණා. ඒ වසරේ කිසිවකු කිවුවේ නැහැ ආමිස පූජාව වැඩක් නැහැ කියා. ඉතා ජයට වෙසක් උත්සවය පැවැත්වුණා.
ඒත්
පසුකාලීන ව බුද්ධිමතුන් කියන්න පටන් ගත්තා ප්‍රතිපත්ති පූජාව වඩා උසස් කියා. එය එසේ වෙන්න පුළුවන්. එහෙත් බුදුහාමුදුරුවන් කියන්නෙ දාර්ශනිකයෙක් නො වෙයි. සොක්‍රටීස්ගෙ හරි වෙනත් කාගෙ හරි උපන් දිනයට උත්සව පවත්වන්නේ කවුද? බුදුහාමුදුරුවන්
පිරිනිවන් පෑමෙන් පසු බුදුදහම ආශ්‍රය කරගෙන දර්ශනවාද ගොඩ නැගිල තියෙනවා. එය අපරදිග ප්‍රශ්නයක් නො වෙයි. පෙරදිගත් දර්ශන තියෙනවා. බමුණන් ගොතපු දර්ශන තිබුණා. ෆිලොසොෆි කියන වචනය බමුණන්ට සම්බන්ධ නැහැ.
ඒත්
බෞද්ධ දර්ශනය උගන්වන විට ඒ බුදුහාමුදුරුවන්ට පස්සෙ ඇති වුණු දැනුම් පද්ධතියක් කියා කියනව නම් හොඳයි. මගේ බුදුහාමුදුරුවන්
නම් දේශනා කළේ සසර කෙළවර කරගන්න. ඒ සඳහා දහමක් තියෙනවා. මාර්ගයක් තියෙනවා. සසර කෙළවර කරන්න ඔය දර්ශනත් අත්හරින්න ඕන. විශ්වවිද්‍යාලවලට
යන අයට සසර කෙළවර කරන්න තියෙන ඉඩකඩ ඉතා අඩු නිසා එහි බෞද්ධ දර්ශනය උගන්වන එක තේරුම් ගන්න පුළුවන්.
බුදුහාමුදුරුවො අපට ජීවන මගක් කියල දුන්නා. බුදුහාමුදුරුවන් අපට වෙසක් උත්සව පවත්වන්න කියා කිවුව ද කියල පඬි නැට්ටකුට අහන්න පුළුවන්. අපේ ජීවන මගට බුදුදහම පදනම් කරගෙන අපි යම් යම් දේ එකතු කරගෙන තියෙනවා. අඩු තරමෙ ගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙත් වෙසක් උත්සව පවත්තල තියෙනවා. ඒ දේ අපේ සංස්කෘතියෙ අංග බවට පත්වෙලා. සිල් සමාදන් වෙන එකත් පස්සෙ එකතු කර ගත්ත එකක් වෙන්න පුළුවන්. මා දන්නෙ නැහැ. සමහර ථෙරවාදී රටවල තාවකාලික පැවිද්ද තියෙනවා.
ඒ හැම එකක් ම සසර කෙළවර කරන්න උපකාර වෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒකත් ප්‍රශ්නයක් නොවෙයි. ඒත් වෙසක් කුඩුවක් හදන විට පහන් සිතක් ඇති වෙනවා. කොහොම හරි වෙසක් උත්සවය සිංහල බෞද්ධයන්ගෙ සංස්කෘතිකාංගයක්.
වෙසක් දිනයෙ අප තෙමගුල සමරනවා. බුදුහාමුදුරුවො
පිරිනිවන් පෑ එකත් මගුලක් ද කියා අහන්න බැරි නැහැ. පිරිනිවන් පෑම මරණයක් නො වෙයි. මරණයෙන් සසර කෙළවර වෙන්නෙ නැහැ. එහෙත් පිරිනිවන් පෑම සසර කෙළවර කිරීම. ඒක මගුලක් තමයි. මරණය මගුලක් නො වෙයි.
සිංහල
බෞද්ධයන්ට ප්‍රධාන උත්සව දෙකක් තියෙනවා. එකක් අවුරුද්ද අනෙක වෙසක්. අවුරුද්දට අපි ගමේ යනවා. පවුල් එකතු වෙනවා. එය පවුල ප්‍රධාන කරගෙන පවත්වන උත්සවයක්. අවුරුදු උත්සච පැවැත්වුවත් ඒවා සීමිතයි. වෙසක් උත්සවය සමාජය ප්‍රධාන කරගෙන පවත්වන උත්සවයක්. එය වඩාත් සාමූහික උත්සවයක්. අවුරුද්දටත් අපි පන්සල් යනවා. ඒත් වෙසක් උත්සවයට පන්සල් යන්නේ වඩා සාමුහික ව. සමහරු දවස ම පන්සලේ ගත කරනවා. සාමුහික ව බණ අහනවා. පුද පූජා පවත්වනවා. තොරං බලන්න
යනවා. (මට තේරෙන විධියට තොරණ කියන වචනෙ බහු වචනය තොරං. පාසලේ දී නම් කිවුවෙ බහු වචනයත් තොරණ කියලා. පාසලේ මොනව ඉගැන්නුවත් අපි තොරණ බලන්න යනව කිවුවොත් එයින් කියැවෙන්නෙ අහවල් තොරණ බලන්න යනවා කියන එක.) වෙසක් සැරසිලි බලන්න යනවා. ඒ සියල්ල සාමූහික වැඩ. අවුරුද්ද ජනයා ගෙදර යවනව නම් වෙසක් ජනයා ගෙදරින් එළියට ගන්නවා.
දැන්
දන්සලට වැදගත් තැනක් හිමිවෙලා. ජනයා පෝලිමේ දන්සල් යනවා. අප කුඩා කල දන්සලට යෑම මදිකමක් ලෙසයි සැලකුනෙ. අද සියල්ලන් ම උස් පහත් භේදයකින් තොරව දන්සල් යනවා. එහි වඩා සාමුහිකත්වයක් තියෙනවා. වෙසක් තවත් සාමූහික වෙලා. ලබන වසර වෙන විට මෙරට විදේශීය තානාපති කාර්යාලයත් දන්සල් පැවැත්වීමට ඉඩ තියෙනවා. අද එ ඇත්තො සුදු ඇඳගෙන පන්සල් යනවා. ඔවුන්ගේ රටවල වෙසක් නිවාඩු දිනයක් නො වෙයි. අපි නම් මෙරට වාසය කරන ඒ ඒ ජනයාගේ ආගමික උත්සව ගණනාවකට නිවාඩු දෙනවා. ඒත් අපට බණිනවා.
වෙසක්
උත්සවය උත්සවයක් බවට පත් නොකිරීමට ඇතැම් බුද්ධිමතුනට අවශ්‍ය වුණා. ගිය අවුරුද්දේ පඬි නැට්ටන්ට ද අවස්ථාවක් ලැබුණා. ඔවුන් ප්‍රසිද්ධියේ කිවුව වෙසක් කළු කරමු කියා. ඒ හුදෙක් තෙල් නැති වීමට විරෝධය පෑමක් නොවෙයි. පරගලයට කවුරු සහභාගි වුණත් එය සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක්. ගෝඨාභය ඉවත් කිරීමත් සිංහල බෞද්ධ විරෝධීන්ට අවශ්‍ය වූවක්. ආතල්ගම යාඥා කළ අය වෙසක් කළු කරමු කිවුවා.
අද
රටේ මොටා උගතුන් අතර සිංහල බෞද්ධ විරෝධියකු වීම වීරකමක් කරලා තියෙනවා. එහෙත් මොටා උගතුන්ට සමාජයට බලපෑමක් කරන්න බැහැ. ඔවුන්ගේ තරම නොදන්නේ ඔවුන් පමණයි. කාට කළු කරන්න ඕන වුණත් මෙවර වෙසක් වර්ණවත් උත්සවයක් වුණා.