Main Logo

Saturday 13 May 2023

එන්ලයිට්න්ඩ් බෝන් අගේන් - මෝහාන්ධකාරය දුරු වේවා!

 

 එන්ලයිට්න්ඩ් බෝන් අගේන් -  මෝහන්ධකාරය  දුරු වේවා!

 

මා ඊයේ ඇමුණු සබැඳිය අද ලිපියේ සඳහන් කරනවා. එය මිනිත්තු එකොළහක පමණ රුහඬ පටයක්. දේශකයා බුදදහම පමණක් නොව මුස්ලිම් හින්දු කතෝලික ආගම් විකෘති කරනවා. ඔහු එතරම් දෙයක් දන්න පුද්ගලයකු නොවන බව පැහැදිලියි. බුදුහාමුදුරුවන් ආලෝකය ඇතිවීමක් ගැන කියා ඇත්තේ විදුලි පන්දමක් හරි වෙනත් පන්දමක් හරි දකින ආකාරයක තේරුමකින් නො වෙයි. එය පන්දම් පෙළපාලියකුත් නො වෙයිමෝහන්ධකාරය  දුරලීමක් ගැනයි කියැවෙන්නේ.

 

අපට යේසුස් වහන්සේ ගැනවත් ආදරය ගැනවත් දෙවියන් වහන්සේගේ අගාපේ ගැනවත් කීමට අවශ්‍ය නැහැ. අප දන්නේ කරුණාව මෛත්‍රිය ගැන. අවශ්‍ය නම් සතර බ්‍රහ්ම විහරණ ගැන. ඒවා බෞද්ධ කියා අහන්න අවශ්‍ය නැහැ. බුදුහාමුදුරුවන් බොහෝ විට යොදා ගත්තේ එකල භාවිතා කළ චචන. සමහර විට වෙනස් තේරුම් දුන්නා. ගැන අපට දේශකයාට කියා දීමට අවශ්‍ය නැහැ. අප අහන්නේ නැහැ දෙවියන් වහන්සේ පන්දමක් කියා. එහෙමත් නැත්නම් ගිනි බෝලයක් කියා. එවැනි කතා අපට හුරු නැහැ. එහෙත් අද ආගම්වලට නැති විරෝධයක් බුදුදහමට ප්‍රබල මතුවෙලා. එහි වත්මන් සන්ධි ස්ථානය පරගලයයි. එය කලක් තිස්සේ පැවති විරෝධයක් කුළු ගැන්වීමක් වුණා.

 

පහුගිය දා රජයේ ඉඩම් ගැන කියද්දී රනිල් ඉඩම්වල පන්සල් හදන්න බැහැ කියා කිවුවේ කෝවිල් පල්ලි හැදීමට පුළුවන් කියන අර්ථයකින් කියා යමකුට අහන්න පුළුවන්. කවුරු හරි රනිල්ට 1892 ආඥා පනත කියල දෙනවා ? කුමක් වුවත් රනිල් බලයට පත්වීමෙන් පසු මේ දේශකයා තම හඬ වැඩි කර තියෙනවා. ඔහු ක්‍රිකට් දිනවා දුන්නා කිවුවා. දැන් පරාද කරවන්නේත් ඔහු දන්නේ නැහැ.

 

එහෙත් ප්‍රශ්නය වන්නේ මේ ඊනියා හාස්කම්වලට විරෝධයක් පඬි  නැට්ටන්ගෙන් මතු නොවීමයි. කාලෝ ෆොන්සේකා එකල කතා කෙළේ ගිනි පෑගීමට විරුද්ධ පමණයි. ඇවිදින්න බැරි අය ඇවිද්ද වූ ඊනියා හාස්කම් ඔහුගේ යථාර්ථවාදී විද්‍යාවට හසු වුණේ නැහැ. හාස්කම් නොපෙනෙන්නේ ඉන් ආලෝකයක් විහිදෙන්නේ නැති නිසා කියා අහන්න ඕනත් නැහැ.

 

අද උතුරු නැගෙනහිර පන්සල්වලට නොයෙකුත් විරෝධතා ඇති වෙනවා. රනිල් බලයට පත්වීමෙන් පසුව විරෝධතා වැඩි වෙලා. සියම් නිකායේ උපසම්පදාව සඳහා මෙහි වැඩම කළ උපාලි තෙරුන් වහන්සේ සැමරීම සඳහා හෙට අනිද්දා පැවැත්වෙන උත්සවයකටත් දෙමළ වෙල්ලාල දේශපාලනඥයන් විරෝධය පා තියෙනවා. අප මේ යන්නෙ කොහාට ? බෝන් අගේන් ප්‍රචාරය ආගම්වලට විරුද්ධ වෙන විට බෝන් අගේන් ආගම් බුදුදහමට විරුද්ධ වෙනවා .

 

පාණදුරා වාදයට මේ වසරේ අගෝස්තුවේ අවුරුදු එකසිය පනහක් පිරෙනවා. වාදය බුදුදහමට කළ අපහාසවලට විරුද්ධ . දහනවවැනි සියවසේ අගභාගයේ. එකල බටහිරයන් බුදුදහම ඉගෙනීමට පැමිණියේ ලංකාවට. එහෙත් අද වන විට තත්වය මුළුමනින් වෙනස් වෙලා. අර ශුන්‍යයේ සංකේතය සොයා ඇවිද්ද ඇක්සල්ට චතුස්කෝටිකය දැන ගැනීමට ලාඕසයට යන ලෙස තායිලන්තයේ දී උපදෙස් ලැබුණා. ලංකාවට ඇවිත් මොනවා කරන්න . මෙහි සමහරුන් අගය හා කෝටිකය අතර වෙනස දන්නේ නැහැ. චතුස්කෝටික න්‍යායට අගය දෙකයි කෝටික හතරයි. ද්වි කෝටිකයට අගයත් දෙකයි කෝටිකත් දෙකයි. අවශ්‍ය නම් අගය n සංඛ්‍යාවක් ඇති කෝටික m සංඛ්‍යාවක් ඇති න්‍යාය ගැන කතා කරන්න පුළුවන්. සම්බන්ධ මා තවත් අය සමග ඊනියා පත්‍රිකාවක් ලියා තියෙනවා.

 

එදා බුදුදහම ඉගෙනීමට ලංකාවට ආවත් අද බුදුදහම සම්බන්ධයෙන් ආචාර්ය උපාධි ලබා ගැනීමට බටහිර රටවලට විශේෂයෙන් එංගලන්තයට හා අමෙරිකාවට යනවා. හාමුදුරුවන් වඩිනවා. අද ඇති වී තිබෙන තත්වයට ඕල්කට්තුමාත් ඉංගිරිසි අධ්‍යාපනයත් බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමට ඇති භක්තියත් හේතු වෙනවා. අද නොදත් දොස්තරලා සසරක් ගැන දන්නෙ නැහැ. ඔවුන් දන්නේ ඉන්ද්‍රිය ගෝචර දත් හා වෙනත් දත්ත ගැන පමණයි. එහෙත් අද භෞතික විද්‍යාව කතා කරන්නේ ඉන්ද්‍රිය ගෝචර නොවන දේ ගැන.

 

අද ඉතා දියුණු යැයි කියන ක්වොන්ටම් ක්‍ෂෙත්‍ර ප්‍රවාදයේ (Quantum Field Theory) මුලික සංකල්පය ක්‍ෂෙත්‍රයයි. එය ඉන්ද්‍රිය ගෝචර නැහැ. අංශු කියන්නේ මේ ක්‍ෂෙත්‍රවල උත්තේජන පමණයි. අද ඇතිවෙන නැතිවෙන අතථ්‍ය අංශු (virtual particles) ගැන කතා කෙරෙනවා. අංශු ඉන්ද්‍රිය ගෝචර නැහැ. එහෙත් ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප මගින් ඊනියා යථාර්ථය තේරුම් ගන්න පුළුවන් කියනවා. කිසිවක් ගැන ප්‍රශ්න නොකරන අය පවතින්නේත් නැත නොපවතින්නේත් නැත කියන සියල්ල හිස් සියල්ල මායාවක්   කියන බුදුදහම ගැන ප්‍රශ්න කරනවා. දැන ගැනීමට නො වෙයි.

 

කසිකබල් මාක්ස්වාදියකු හා භෞතිකවාදියකු සිටි මට අවුරුදු හතළිහකට පමණ ඉහත නැවත බෞද්ධයකු වීමට බලපෑවේ ක්වෙන්ටම් භෞතික විද්‍යාවයි. එහෙත් මා අද දන්නවා ක්වොන්ටම් භෞතික විද්‍යාවට බුදුදහම අහළකටවත් එන්න බැහැ කියා. ඊනියා යථාර්ථයක් ගැන විශ්වාස කරන, ඔව් විශ්වාස කරන, බටහිර විද්‍යාව එදත් අදත් කරන්නේ දෙවියන් වහන්සේගේ මනස තේරුම් ගැනීමට උත්සාහ කිරීම පමණයි. එහෙත් යුදෙවූ දෙවියන් වහන්සේගේ. අර වියුක්ත, හිතෙන් මවා ගැනීමට නොහැකි, අඹන්න බැරි එහෙමත් නැත්නම් අමූර්ත, ඉන්ද්‍රිය ගෝචර නොවන දෙවියන් වහන්සේ. යුදෙවුවන්ට වාස්තවික සත්‍යයක්, වාස්තවික යථාර්ථයක් නැහැ කියා හිතන්නවත් බැහැ. අයින්ස්ටයින්ටත් එහෙමයි. අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාව කතා කරන්නේ සැම නිරීක්‍ෂකයාට පොදු අවිචලක (invariants) ගැන.  

 

අද අප බුදුදහම කියන්නේත් ඉංගිරිසි වචනවලින්. ඉංගිරිසියෙන් බුදුදහම කියල දෙන්න බැහැ. මා බව වරක් කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර ඉගැන්වු ගුරුවරුන්ට කී විට ඔවුන් ජනපද නිරුක්තියක් මතක් කෙරුවා. පසුව දැනගත්තේ සකාය නිරුක්තිය එහෙම නැත්නම් තම නිරුක්තිය ගැන සංස්කෘතෙන් ධර්මය කීමට ඇසූ මගධයේ බමුණන්ට කී කතාවක් බව. ඉංගිරිසි බමුණන් මගධයේ නො වෙයි. මෛත්‍රිය ඉංගිරිසියට පරිවර්තනය කරන්නෙ කොහොම ? තෙරුවන් සරණයි කියන්නෙ (May the Triple Gems Bless you)  කියන එක නොවෙයි. බ්ලෙස් කරන්නේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ චාල්ස් රකිනවා.

 

අද තරුණයන් කැමතියි කියන එකටත් ආදරෙයි කියනවා. මා අහවල් නිළියට ආදරෙයි කිවුවම එයින් මොකක් කියැවෙන්නෙ. අප ඉන්නේ සංස්කෘතික අගාධයක. ඉංගිරිසියට ලව් ලෙස පරිවර්තනය වෙලා තියෙන්නෙ අගාපෙ කියනවා. අගාපෙ මොන භාෂාවෙ කියා මා දන්නෙ නැහැ. හිබ්‍රෑ ඇරමයික් වෙනත් භාෂාවක් ? මොකක් වුණත් අගාපෙ සිංහලෙන් කියන්න බැරුව වගේ. ඒකට කමක් නැහැ. අපට කරුණාව, මෛත්‍රිය වගේ වචන තියෙනවා. අනුකම්පාවත් තියෙනවා.   අද වරද්දා ගත් තරුණයන්ට වචන පාවිච්චිය ගැන තේරුමක් නැහැ. අවශ්‍ය වන්නේ අනුකරණය පමණයි. එය විලාසිතාවක්. එය බොරු උගත්කම ප්‍රදර්ශනය කිරීමක්.

 

කමක් නැහැ. සියලු සත්වයෝ (මිනිසුන් පමණක් නොවෙයි) සුවපත් වෙත්වා! 

 

https://fb.watch/ktqxHmKAdm/?mibextid=RUbZ1f