Main Logo

Thursday 4 May 2023

පරගලය හා ක්‍රම වෙනස

  

පරගලය හා ක්‍රම වෙනස

 

පරගලයේ නායකයකු යැයි කියන අයකු කාල් මාක්ස් කරේ තියාගෙන රට ගොඩගන්න බෑ කියා තිබෙන බව වාර්තා වෙනවා. ඔහු කියන්නෙ රටක් දියුණු වෙන්න නම් නිදහස් වෙළෙඳපොල තිබිය යුතු බව. කියන්නෙ රටක් දියුණු වෙන්න නම් සාමාන්‍යයෙන් කියන විධියට ධනපති ක්‍රමය අවශ්‍ය බව. දැන් අර සිස්ටම් චේන්ජ් ඉල්ලපු ප්‍රභූ දේශපාලනය නැති කරන්න ඕන කිවුව වැරදුණු පරම්පරාව කියන්නේ මොකක් ? පරගලයේ අවශ්‍යතාව වුණෙ අප තව තවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ වියගහට බැඳ තැබීමයි.

 

අද ධනපති ක්‍රමය කියන්නෙ ඊනියා නව යටත්විජිතවාදයක් නො වේ. අද තියෙන්නෙ සංස්කෘතික ආධිපත්‍යයක්. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයක්. මෙහි දී මා ක්‍රිස්තියානි යන්න යොදා ගන්නේ ආගමික අර්ථයකින් නොවෙයි. එහි ඇත්තේ පෞද්ගලිකත්වය ඉස්මතු කළ මාටින් ලූතර්ගේ කතාවයි. ඔහු කළේ දෙවියන් වහන්සේ පෞද්ගලිකකරණයට ලක් කිරීමයි. ඔහුගේ සුප්‍රසිද්ධ පෝස්ටරය ඇළවූයේ 1517 දී. ගැලීලියෝට පෙර. කාර්මික විප්ලවයට බොහෝ කලකට පෙර. සියල්ල ඇති වුණේ මාටින් ලූතර්ගේ අදහස පසුබිමේ තියා ගෙන.

 

අප බොහෝ දෙනා දැනුම් සමාජයක් ගැන කියන්න කැමතියි. බොහෝ දෙනා කරන්නේ දැනුම අත්පත් කර ගැනීමයි. අප සෑමවිටක පාහේ කරන්නේ අපේ දැනුම ප්‍රදර්ශනය කිරීම. අද ලෝකයේ ප්‍රශ්නය දැනුම එක මධ්‍යස්ථානයකින් කෙසේ වෙතත් එක ක්‍රමයකට අභිසංස්කරණය කිරීම. ඇමරිකාවේ කළත් රුසියාවේ කළත් චීනයේ කළත් දැනුම එක විධියකට අභිසංස්කරණය වෙනවා. එහි ආධිපත්‍යය තියෙන්නේ බටහිරට. චීනය කෙතරම් භාණ්ඩ නිෂ්පාදනය කළත් ඔවුන්ට බටහිර පරයා යන්න බැහැ. සෝවියට් දේශයට වූ දේ චීනයටත් වෙනවා.

 

ලංකාව ඉතා අවාසනාවන්ත ආකාරයකට අනුකාරකයන්ගේ පාරාදීසය වෙලා. අප කැමතියි ලංකාව පාරාදීසය කියා හඳුන්වා ගන්න. එය වෙලා වසර කිහිපයක් වෙනවා. මොන තරම් අනුකාරක පාරාදීසයක් කියනවා නම් මෙරට විචාරය අනුකරණයක් පමණයි. මා සඳහන් කරන්නේ සාහිත්‍ය විචාරය පමණක් නො වේ. සරච්චන්ද්‍ර පටන් ගත් අනුකාරක සහිත්‍ය විචාරය ගම්ලත්ගේ දෙඤ්ඤම් බැටේ විචාරය දක්වා පසුබැස්සා. මෙයින් අදහස් කරන්නේ සරච්චන්ද්‍රට යම් ජාතිකත්වයක් නොතිබුණා යන්න නොවේ. ඔහුගේ නාට්‍යවල යම් ජාතිකත්වයක් තිබුණා. එහෙත් ඔහුගේ සාහිත්‍ය විචාරය නම් අනුකාරක පුස්සක්. අමරසේකර කලක් ඔහුගේ වචනවලින් මනස්පුතුන් බිහි කෙළේ සාහිත්‍ය විචාරයට පින් සිදුවන්නට.

 

මා විචාරය යන්න එයට වඩා පුළුල් අර්ථයකින් යොදා ගන්නවා. අද බුදුදහම දෙස බලන්නේත් ඉතිහාසය දෙස බලන්නේත් දේශපාලනය දෙස බලන්නේත් සිනමාව දෙස බලන්නේත් අනුකාරක විචාරාත්මක ඇසකින්. එය විචාරයකට වඩා විකාරයක් ලෙස හඳුන්වන්න පුළුවන්. විකාරය අපට ලැබෙන්නේ බටහිරින්. බටහිර රටවල යම් පිරිසක් ඉන්නවා ඔවුන්ගේ සංස්කෘතියේ විචාරාත්මක ලෝකය දිහා බලන. එය සෑම ක්‍ෂෙත්‍රයක දකින්න පුළුවන්. ඔවුන් අලුත් අලුත් දේ තනන අය. අප කරන්නේ ඔවුන් අනුකරණය කිරීම පමණයි.

 

අද බටහිර දැනුම් අභිසංස්කරණය, අවශ්‍ය නම් නිෂ්පාදනය තමයි ප්‍රධාන. භාණ්ඩ නිෂ්පාදනය ඇත්තේ එයට වඩා පහළ මට්ටමක. භාණ්ඩ නිෂ්පාදනයේ දී වැදගත් වනනේ අලුත් අදහස් නැත්නම් අලුත් දැනුම. අපට ඉංගිරිසින් උගන්වා ඇත්තේ සියල්ල අනුකරණය කිරීමට පමණයි. අප බොහෝ දෙනා ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් හාවඩ් ප්‍රින්ස්ටන් යන්න කැමතියි. දැනුම ලබා ගෙන පුහු මාන්නයක් ඇති කර ගැනීමට මිස දැනුම නිෂ්පාදනය කරන්න නො වෙයි. අප එංගලන්තයට ඇමරිකාවට ඉගෙනීමට යන්නේ රදර්ෆර්ඩ් හරි විට්ගන්ස්ටයින් හරි එංගලන්තයට ගිය අරමුණෙන් නො වෙයි.

 

අප වාමාංශික දැනුම අනුකරණය කළා පමණයි. සමසමාජ පක්‍ෂයේ සිට පෙරටුගාමින් දක්වා එය දකින්න පුළුවන්. පුස්සක් අනුකරණය කරන විට ලැබෙන ප්‍රතිඵලය කුමක් කියා අමුතුවෙන් කියන්න ඕන නැහැ.  මාක්ස්වාදය බිහි වුයේ මැරුණු චින්තනයක. එනම් කතෝලික චින්තනයෙහි. මාක්ස්වාදය ඉපදුණේ මිය ගිහින්. ඇතැමුන් හිිතන් ඉන්න ඇති පරහලය විප්ලවය සඳහා කියලා. ප්‍රභූ දේශපාලනය අවසන් කිරීම වැනි මනස්ගාත විජේවීර හරහා පැමිණි කතා පමණයි.

 

මුලින් සඳහන් කළ පරගල නායකයා පසුපස සිටියවුන් (කාදිනල්තුමාගේ මහා මොළකරුවන්) දැන සිටියා ඔවුන්ට අවශ්‍ය ක්‍රම වෙනස මොකක් කියා. ක්‍රම වෙනස අන් කිසිවක් නොවෙයි සියලූ ආකාරයේ වාමාංශික අදහස් මෙන් ජාතිකවාදී අදහස් මෙරටින් තුරන් කිරීම. එය එක් පැත්තකින් සාර්ථක වෙලා තියෙනවා. ජාතිකත්වයක් තිබූ ගෝඨාභය බලයෙන් පහ කෙරුණා. එමෙන් ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් පැත්තකට විසි කෙරුණා. අද වමක් පමණක් නොවෙයි වමාලා හැලෙනවා. වැරදුණු තරුණයන්ට ජාතිකත්වයක් නැති වෙන්න පුළුවන්. අසූවේ අනූවේ දශකවල තරුණයන්ට තිබූ ජාතිකත්වය විසිඑක්වැනි සියවසේ තරුණයන්ට නැහැ. මා වෙනස කොළඹ විශ්වවිද්‍යාලයේ දී හා කැලණිය විශ්වවිිිද්‍යාලයේ දී අත්දුටුවා. එසේ වුණත් මහින්ද හා ගෝඨාභය ජයග්‍රහණවලට ජාතිකත්ව අදහස් බලපෑවා. මෙයින් කියන්නේ දෙදෙනා ජාතිකවාදීන්ගේ නියෝජිතයන් බව නො වෙයි.

 

වාමාංශික අදහස් නැවත පණ ගන්වන්න බැහැ. වමාලා වේදිකාවෙන් බැස යනවා. එහෙත් ජාතිකවාදීන් තවමත් වේදිකාවේ. වැරදුණු තරුණ පරම්පරාව නම් ජාතිකත්වයේ නැහැ. ඔවුන් සමහරුන් හිතන්නේ රාජපක්‍ෂලාගේ ජාතිකවාදී අදහස් නිසා රට මේ තත්වයට ඇද වැටී ඇති බවයි. ඔවුන්ට ලැබෙන අවිචාර අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්. එසේ වුණත් රනිල් මෙන් බටහිරයන් දන්නවා ජාතිකත්වයේ ශක්තිය. බටහිර තානාපතිවරුන් ඉන්දීය නිලධාරීන් පමණක් නොව චීන නිලධාරීන් පන්සල් යන්නේ නිකම් නො වෙයි්. රනිල් වෘත්තීය සමිති නායකයන් බෙලහීනයන් කරාවි. එහෙත් ඔහු පන්සල් යනවා.   මෙරට සිංහල ජාතිය ගොඩ නැගුණේ බටහිර ජාතික රාජ්‍ය දෙස බලාගෙන නො වෙයි. සිංහල ජාතිය විවිධ මූල සිංහලයන්ගේ එකතුවෙන් ගොඩ නැගුණේ බුදුදහමෙන් බැඳී. ගැමුණු රජ සමයේ දී. දෙමළෙන් ලංකාවට කියන සිංහලාම් (ඊලාම්) යන්න ලංකාව සිංහලයන්ගේ සිංහල ජාතියේ දේශය බවට උදාහරණයක්. සිංහලාන් තමයි අරාබීන්ට සෙයිලාන් වුණෙත් බටහිරයන්ට සිලෝන් වුණෙත්.