ප්‍රජාතන්ත්‍රවාදයට කිට්ටු රනිල් හා ජේ ආර්
මා මේ ලිපි ලියන්නේ මා නිරවුල් වීම සඳහා පමණයි. එහෙත් ඇතැමුන් කියනවා ඒ ලිපි සුරක්‍ෂිත වෙන්න ඕන කියා. මා ලිපි පන්දාහකට ආසන්න සංඛ්‍යාවක් ලියා ඇතැයි හිතනවා. මා සමීපයේ ලිපි සීයක්වත් තිබුණේ නැහැ. එහෙත් දැන් සකර්බර්ග්ට හා චින්තන පර්ෂදයේ වෙබ් අඩවියකට පින් සිදුවන්නට ලිපි යම් ප්‍රමාණයක් සුරක්‍ෂිත වෙනවා. මේ ලිපිවලින් උගන්නා අය ඉන්නවා කියා මා හිතන්නේ නැහැ. එහෙත් මට උගන්වන අය නම් විශාල පිරිසක් ඉන්නවා. අදත් එක් අයකු විමල් සුදනකු බව මට කියා දී තිබුණා. ඔහු කියන්නේ විමල් ඇමති ධුරයෙන් අස් කෙළේ බැසිල්ගේ වුවමනාවට බවයි. මා බැසිල් මෙන් ම විමල් ද පෞද්ගලික ව ආශ්‍රය නොකළත් කාලයක් තිස්සේ දන්නවා. විමල් ඇමතිකමෙන් අස් කෙරුණේ ඔහු ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස සිටිමින් ම ජනප්‍රියතාව සඳහා වීරයකු වී ඡන්ද ලබා ගැනීම සඳහා ආණ්ඩුව විවේචනය කළ නිසයි. එය අස් කරවා ගැනීමක්. විමල් ඌව පළාත් සභා මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කය සඳහා තනිව තරග කෙළේ දිනේෂ් 1994 දී තරග කළාක් මෙන් ගෙන ඒමට තිබූ පැකේජයකට විරූද්ධ ව නො වෙයි. මා බැසිල් හොඳය කියනවා නො වෙයි. බැසිල් හා මහින්ද පුතුන් නිසා තමයි 2015 දී ආණ්ඩුව පරාජයට පත් වුණෙ. දැන් බැසිල් මෙන් ම විමල් ද දේශපාලනික ව අනාථයි. විමල් ඕන නම් තව ටික දවසක් බටහිර කුමන්ත්‍රණ ගැන ගැලරියට කතා කරාවි. ඒ ගැන කතා කිරීමෙන් වැඩක් නැහැ. බැසිල්ටවත් විමල්ටවත් ජාතිකත්වයක් නැහැ. චම්පකටත් නැහැ. ඔවුන් සිංහල ඡන්ද සඳහා විවිධ අඩව් අල්ලනවා පමණයි. මට මෙහි දී අවශ්‍ය අපට මේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය වැළඳ ගැනීමට නොහැකි වූයේ ඇයි ද කියා දැන ගැනීමට.
ඒ සඳහා පළමුව බටහිර ප්‍රජාතන්ත්‍රවාදය
කියන්නෙ මොකක් ද කියල දැන ගන්න ඕන. මා ප්‍රජාතන්ත්‍රවාදය නොකියා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය
යන්න යොදා ගන්නවා. ඒ බටහිර විද්‍යාව කියා යොදා ගන්නා විධියට ම. අප මොන තරම් විද්‍යාඥයන් කියා බෙරිහන් දුන්නත් අපට අවුරුදු දෙසීයක පමණ බටහිර විද්‍යා අධ්‍යාපනයකින් පසුවත් හරිහමන් බටහිර විද්‍යාඥයකු බිහි කර ගැනීමට නොහැකි වී තියෙනව. එමෙන් ම බටහිර ප්‍රජාතන්ත්‍රවාදියකු ද බිහි කර ගන්න බැරි වෙලා තියෙනවා. ඒ කිට්ටුවටවත් එන්න පුළුවන් වුණෙ වෙලා තියෙන්නෙ ජේ ආර්ට හා රනිල්ට පමණයි.
වමාලා
හා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් ඒ කියමනට විරුද්ධ වෙන්න පුළුවන්. හිනහ වෙන්න පුළුවන්. මගේ මෝඩකම ගැන ලියන්නත් පුළුවන්. මට අනුව රනිල් හා ජේ ආර් ප්‍රජාතන්ත්‍රවාදී කියන්නත් පුළුවන්. ඒත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය තරමකටවත් තේරුම් අරන් ඉන්නෙ ඒ දෙන්න පමණයි කියා මට හිතෙන්නෙ. ඔවුන් බටහිර සංස්කෘතියෙ තරමක්වත් හැදිච්ච අය. එෆ් ආර්, ඩී එස්, සිරිමාවෝ, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, ගෝඨාභය ආදීන්ට යම් බෞද්ධ ආභාසයක් තිබුණා. ඔවුන්ට බටහිර කතා ඒ තරම් තේරුණේ නැහැ. චන්ද්‍රිකා සෝබෝන් ගියත් පඬි නැට්ටන් කියන ආකාරයට බයි උරුමයක් තිබුණා. සබරගමු රදළ පවුල් අර සේනානායකලා වගේ ම ලොක්කන් වූ සොක්කන්. බණ්ඩාරනායකට ක්‍රිස්තියානි සංස්කෘතිය යම් ප්‍රමාණයකට නොතිබුණා නොවෙයි. එහෙත් ඔහුට ජේ ආර්ට වගේ ඉවසීමේ හැකියාවක් තිබුණේ නැහැ. ජේ ආර් සේනානායකලාගේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී නොවන පවුල් දේශපාලනය ඉවසා ගෙන සෑහෙන කාලයක් හිටියා. මා හිතන්නෙ නැහැ ඔහු රනිල් ගෙනාවෙ පවුල් සම්බන්ධය නිසා කියල. රනිල්ගෙ දේශපාලන දක්‍ෂතා ඔහු දකින්න ඇති. අපත් ඒ බව ඔහු සරසවි සිසුවකු ව සිටි සමයේදිත් දැන සිටියා. රනිල්ට පුළුවන් වුණා එකල සමසමාජ ශිෂ්‍ය නායක එම් ඒ ජස්ටින් හසුරුවන්න. ජස්ටින් කියන්නෙ පරණ පාර්ලිමේන්තුවෙ කතානායක පුටුවෙ වාඩිවෙලා ශිෂ්‍ය රැස්වීමක් පවත්වපු අයෙක්. ඒ පරගල අස්සෙ නො වෙයි.
බටහිර
සංස්කෘතියේ කිසිම අංගයක් අපට අවශෝෂණය කරන්න බැරි වෙලා. ඉංගිරිසියෙන් ලියා ඊනියා ජාත්‍යන්තර තෑගි ගන්නා අය ගැන සැලකිලිමත් වෙන්න ඕන නැහැ. එහෙමත් නැත්නම් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ
ආරාධිත දේශනයක් දීම ගැනවත් හිතන්න ඕන නැහැ. ඒ සියල්ල දේශපාලන පිළිගැනීම්. ක්‍රීඩාවේ දී ක්‍රිකට් නම් අපි තරමක අවශෝෂණයක් කළා. එහෙත් අප දැන් හුදු අනුකාරකයන් බවට පත් වෙලා. අප ඇති කළ එක ම දේ ඊනියා බිග් මැචස් නමින් හැඳින්වෙන පාසල් ක්‍රිකට් තරග පමණයි.
බටහිර
සංස්කෘතිය තරම් අධිපතිවාදී සංස්කෘතියක් ඉතිහාසයේ තිබී නැහැ. එය ඉතා සියුම්වයි දැන් ක්‍රියා කරන්නෙ. එහි ආරම්භය සිදු වුණේ තුන්වැනි සියවසේ පමණ. රෝම අධිරාජයා යුදෙවුවන්ගේ හා වෙනත් අයගේ ආගමික මතිමතාන්තර අරගෙන කතෝලික සංස්කෘතියක් නිර්මාණය කළා. එහි අධිපති ධුරයට යථා කාලයේ දී පාප්තුමා පත් වුණා. යුදෙවුවන් තමයි පරණ තෙස්තමේන්තුව නිර්මාණය කළෙ. එහි ඇත්තේ වචනය (word) මුල් කරගත් කතාවක්. වචනය යන්න සමග පිළිවෙළ නීති සහ දඬුවම් ආදිය එනවා. එහි හික්මීම ස්වයං හික්මීමක් නොව බාහිර ව සිදුවන හික්මීමක්. නීති රෙගුලාසි ආදිය මගිනුයි හික්මීම ඇති වන්නේ. බෞද්ධ සංස්කෘතියෙහි මෙන් පිළිපැදීම් එහි නැහැ. බුදුහමුදුරුවන්
අපට නීති පණවලා නැහැ. අපට මග පෙන්වලා තියෙනවා පමණයි. අපට තිබුණේ ජීවන මගක්. නීති පද්ධතියක් නොවෙයි.
එහෙත්
යුදෙවුවන්ගේ පරණ තෙස්තමේන්තුවේ නීති මගින් රෝමයේ දී පාලන තන්ත්‍රයක් බිහි කෙරුණා. අදත් යුදෙවුවන් දෙවියන් වහන්සේ කවුද කියා දැන ගැනීමට වෙහෙසෙනවා. එහෙත් රෝමයේ එය වෙනස් වුණා. රෝම අධිරාජ්‍යයේ වැසියන් දෙවියන් වහන්සේගේ නීති පිළිපදින්නන් බවට පත් වුණා. මේ නීති පිළිපැදීම බටහිර රටවල දකින්න පුළුවන්. අපට නීති පිළිපදින්න බැහැ. අප උඩින් එන අණට යටත් නැහැ. අපට හික්මීම කියා දුන්නේ නීති මගින් නොවෙයි. පිළිපැදීමෙන් නැත්නම් සිල් රැකීමෙන්. පාර්ලිමේන්තුව නීති පනවන තැන. ඒත් අපට එය තේරෙන්නේ නැහැ. නීති පනවන්නන් ම නීති කඩනවා. අර මුස්ලිම් මන්ත්‍රීවරයකු රත්තරන් ගෙන ඒමේ සිද්ධියකට සම්බන්ධ වී ඇත්තේ ඔහු මුස්ලිම් නිසා නො වෙයි. මෙරට මුස්ලිම් නීතියක් හරි ක්‍රිස්තියානි නීිතියක් හරි ක්‍රියාත්මක නොවන නිසා හා බෞද්ධ නීතියක් නැති නිසා. මුස්ලිම් සංස්කෘතිය ද පැන නැගී ඇත්තේ කතෝලික සංස්කෘතිය හා යුදෙවු නීති ඇසුරෙන්.
නීති
ඇත්තේ සාමාන්‍ය ජීවිතයේ පමණක් නොවෙයි. බටහිර විද්‍යාව් ද ඇත්තේ නීති නැත්නම් ලෝස් (Laws). සිංහලෙන් ඒ නීතිවලට නියම කියනවා. පාර්ලිමේන්තුවේ
නීති පනවනවා. බටහිර ඒ කෙරෙන්නේ කා වෙනුවෙන් ද කියන එක පසුව කතා කරමු. ලංකාවේ නම් නීති පනවන්නේ නීතිපති සඳහා. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ ලෝකය හරි විශ්වය හරි මැවීමේ දී දෙවියන් වහන්සේ කිනම් නීති අනුව ඒ කෙළේ දැයි දැන ගැනීමට උත්සාහ කිරීම.