Main Logo

Tuesday 16 May 2023

රනිල්ට අවශ්‍ය පුරාවිද්‍යාව ඉතිහාසයට එක් කරන්න ද?

 

රනිල්ට අවශ්‍ය පුරාවිද්‍යාව ඉතිහාසයට එක් කරන්න ද (නැති කරන්න ද) ?

 

මා ඉතිහාසය උගත්තේ සාමාන්‍ය පෙළ පළමුවැනි වසරට පමණයි. එක් අර්ථයකින්. තවත් අර්ථයකින් මා පශ්චාත් උපාධිය සඳහා ඉතිහාසය හැදෑරුවා. පිළිවෙළින් අවුරුදු හැටහතරකට හා අවුරුදු පනස්තුනකට පෙර. මා පශ්චාත් උපාධියට හැදෑරුවේ විශ්වයේ ඉතිහාසය. අවුරුදු බිලියන දහහතරක පමණ ඉතිහාසය. අවශ්‍ය නම් ප්‍රාග් ඉතිහාසය. ප්‍රාග් ඉතිහාසයටත් දේශපාලනයක් තියෙනවා. ප්‍රාග් ඉතිහාසය කියා කිවුවේ ලිඛිත ඉතිහාසයක් නැති නිසා. යෙදුම මිනිස් ඉතිහාසයටවත් හරි නැහැ.

 

ඉතිහාසයත් ප්‍රාග් ඉතිහාසයත් හදාරන්න වෙන්න වර්තමානයෙ තියෙන දැනුමට සාපේක්‍ෂ (මා සාපේක්‍ෂතාව යන වචනය ව්‍යවහාර කරන්නේ මගේ ලෝකයේ විස්තර කෙරෙන අයුරින්). වර්තමාන දැනුම වර්තමාන සංස්කෘතියට සාපේක්‍ෂයි. එය වර්තමාන සංස්කෘතීන්ට සාපේක්‍ෂයි කියා කියන්න තිබුණ නම් හොඳයි. එහෙත් අද සියලු දැනුම් තියෙන්නෙ බටහිර ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්‍ෂ . මා කතා කරන සාපේක්‍ෂතාව ගැලීලියොගෙ හරි අයින්ස්ටයින්ගෙ හරි සාපේක්‍ෂතාවලට වඩා පළල්. මගේ රාමුව සංස්කෘතිය හා තවත් ටිකක් එහාට ගියොත් චින්තනය. විශ්වයේ ඉතිහාසය හැදෑරීමත් දේශපාලනික වෙන්නෙ අපට ඔවුන්ගෙ මැවීමට, මහා පිපිරුමට අනුගත වීමට සිදු වීම නිසා. අප අග්ගඤ්ඤ සුත්‍රයට අනුව විශ්ව ආකෘතියක් සකස් කර ගත්තත් ඔවුන් එය පිළිගන්නෙ නැහැ. විශ්වයේ ඉතිහාසයත් දේශපාලනික වෙන කල මිනිස් ඉතිහාසය ගැන කියනුම කවරේ ?

 

අද පුරාවිද්‍යාවෙ මිනුම් දඬු ඉදිරිපත් කෙරෙන්නෙ එතරම් දීර්ඝ අඛණ්ඩ එහෙමත් නැත්නම් සන්තතික ඉතිහාසයක් නැති සංස්කෘතිවල. සන්තතික කියන්නෙ වෙනස් නොවෙන කියන එක නොවෙයි. සිංහල සංස්කෘතිය අවුරුදු දෙදහසකට වැඩි කාලයක් තිස්සෙ වෙනස් වෙනවා. එහෙත් අපට එහි ඇති විකාශය තේරුම් ගන්න පුළුවන්. අනුරාධපුරයෙ ථූපාරාමය හා කොළඹ ඉසිපතානාරාමය අතර සම්බන්ධකමක් තියෙනවා. එංගලන්තයෙ විල්ට්ෂයර් ප්‍රාන්තයෙ පිහිටි ස්ටෝන්හෙන්ජ් හා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පල්ලිය අතර සම්බන්ධයක් නැහැ. එහෙත් එංගලන්තය තමයි අපට පුරාවිද්‍යාව කියල දෙන්නෙ. අපට ඔවුන්ගෙ මිනුම් දඬු, එනම් සංකල්ප ප්‍රවාද ආදිය යොදා ගැනීමට සංස්කෘතික ආධිපත්‍යයෙන් බල කෙරෙනවා. මා හිතුවේ ලිපි දෙකකින් මේ කතාව අවසන් කරන්න. එහෙත් එය තරමක් දිගට කරන්න වෙනවා.

 

අපි පළමුවෙන් රනිල්ගෙ කතාව ඉවරයක් කරමු. රනිල් පසුගිය දා කතා දෙකක් කෙරුවා ඉතිහාසය හා පුරාවිද්‍යාව සම්බන්ධයෙන්. එකක් රාජකීය ආසියාතික සංගමයෙ 178 වැනි සංවත්සර රැස්වීමෙ දි. එහි දී ඔහු කියා හිටියා ඉතිහාසය හැදැරීමට ආයතනයක් පිහිටුවන බව. ගමන් ඔහු කියා හිටියා පුරාවිද්‍යාව තමන්ගේ ගමනක් ගොස් ඇතැයි පෙනෙන බවත් ඔවුන් ආපසු ඉතිහාස කාර්යයට ගත යුතු බවත්.

 

දෙවනුව ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කිවුවා පන්සල්වල වැඩ කටයුතු එහි හාමුදුරුවරුන් හා දායකයන් දෙන මුදලින් නොකරන ලෙසත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමාගමක් නොවන බවත් එය රජයෙන් ලබා දෙන මුදලෙන් පමණක් තම කාර්යයන් කළ යුතු බවත්. මේ ප්‍රකාශ දෙක දේශපාලනිකයි. එයට තම තම දේශපාලන මතිමතාන්තර අනුව අර්ථකථන දෙන්න පුළුවන්. මා අර්ථකථනය කරන්නේ මගේ අදහස් මත හිඳිමින් වර්තමාන සන්දර්භයේ.

 

අද උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ වෙල්ලාල හින්දු දේශපාලනඥයන් පළාත්වල බෞද්ධ සිද්ධස්ථානවල වැඩ කටයුතුවලට අකුල් හෙලනවා. විවිධ ප්‍රශ්න ඇති කරනවා. පළාත්වලින් සිංහලයන් පන්නා දැමීමට ඉංගිරිසින්ගෙ කාලයෙ සිට වැඩ කෙරී තියෙනවා. අද තිරිකුණාමලයෙ ගෝකන්න විහාරය තියෙන්නෙ ගල පාමුල. අපේ පියා තමා තරුණ කාලෙ එය තිබී ඇත්තෙ ගල මුදුනෙ බව අපට කියල තියෙනවා. වැඩි කාලයකට ඉහත නො වෙයි. අවුරූදු සියයකට මෙහා පැත්තෙ.

 

අද උතුරු හා නැගෙනහිර පළාත් නැවත එක් කිරීමේ වෑයමක් තියෙනවා. දෙමළ වෙල්ලාල දේශපාලනඥයන්ට  එකට ජනාධිපති මුණ ගැහෙන්න ඕන කියනවා. ඔවුන් බිරිතානින් විසින් 1889 දි අවසන් වරට බෙදා වෙන් කළ පළාත් නවයෙ උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ නිජභූමි ලෙස සලකනවා. පළාත්වලින් බෞද්ධ සිද්ධස්ථාන ඉවත් කිරීමට ඔවුන්ට අවශ්‍යයි.

 

ඊයෙ පෙරේදා සියම් නිකායෙ උපසම්පදාව සිහිකිරීමට ත්‍රිකුණාමලයෙ පවත්වන්න ගිය පෙරහැරක් සම්බන්ධන්ලා එකතු වෙලා නවත්තලා. සියමේ සිට වැඩම කළ උපාලි මහතෙරුන් වහන්සේ ගොඩ බැස්සෙ ත්‍රිකුණාමලයට.  කාට හරි සංඝමිත්තා තෙරණින් වහන්සේ වැඩම කළ දඹකොළ පටුනෙ ඉඳන් අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ සමීපයට පෙරහැරක් සංවිධානය කිරීමට අවශ්‍ය වුණොත් සුමන්තිරන් විග්නේෂ්වරන් ආදීන්ගෙන් අවසර ගන්න වෙයි ?

 

අද යම් පමණකටවත් උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන රැකිල තියෙන්නෙ හමුදාව හා පුරවිද්‍යා දෙපාර්තමේන්තුව නිසා. රනිල් වික්‍රමසිංහට අද බලය තහවුරු කර ගැනීමට පාර්ලිමේන්තුවෙ දෙමළ දේශපාලනඥයන්ගෙ ඡන්දය අවශ්‍යයි. ඔහු විසින් පුරාවිද්‍යාව ගැන කරන ලද ප්‍රකාශ දෙකෙන් කියැවෙන්නෙ පුරාවිද්‍යාවෙ මග වෙනස් කිරීමට ඔහුට ඇති අවශ්‍යතාව. මා වැරදි වෙන්න පුළුවන්. එහෙත් මා දන්නා ආකාරයට අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට රජයෙන් ලැබෙන ප්‍රතිපාදන වැටුප් ගෙවීම්වලට පමණක් ප්‍රමාණවත්. ඉන් එහා වැඩක් කිරීමට ඔවුන්ට මුදල් නැහැ. ඔවුන් උතුරු හා නැගෙනහිර පළාත්වල යම් යම් කටයුතු කරන්නෙ දායකයන්ගෙ ලැබෙන මුදලෙන්. රනිල්ට එය නැවැත්වීමට අවශ්‍යයි.

 

පුරාවිද්‍යාව යන යෙදුම ලංකාව සම්බන්ධයෙන් නිර්වචනය කිරීම අපහසු වුණත් පුරාවිද්‍යාඥයන් කියන අය කිහිප දෙනෙක් තමයි මෙරට සංස්කෘතියට සාපේක්‍ෂව  උතුරු හා නැගෙනහිර පළාත්වල සිංහල බෞද්ධ උරුමය මතු කර දීමට කටයුතු කර ඇත්තෙ. මට තේරෙන විධියට රනිල් පුරාවිද්‍යාව ඉතිහාස ගමන් මගින් ඈතට වෙන ගමනක් යනව කියන විට, අර රජයේ මුදල්වලින් පමණක් වැඩ කරන්න කියන විට අද දේශපාලන සන්දර්භයේ ඔහුට අවශ්‍ය උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ දේශපාලනඥයන් සතුටු කිරීමයි. ඔහු හදන ඉතිහාස ආයතනය මගින් මුදල් වෙන් කිරීම සිදුවෙනවිට අපේ ඉතිහාසය ගැන මෙන් අනාගතය ගැනත් ප්‍රශ්න ඇති වෙනවා.

 

ඉතිහාසය ප්‍රාග් ඉතිහාසය පුරාවිද්‍යා සංරක්‍ෂණය ආදිය ගැන පසුව කතා කරමු. මේ ඡායාරුපය ස්ටෝන්හෙන්ජ්හි. එයට සූර්ය වන්දනාව සමග සම්බන්ධයක් තියෙන්න පුළුවන්.