Main Logo

Wednesday 3 May 2023

වැඩ්ඩා කවුද?

 වැඩ්ඩා කවුද?


අද රනිල් බලයේ ඉන්නේ කොහොම ද? විමල්ගේ ජුලි නෝනා අන්දරය (අවශ්ය නම් කතා අන්දරය හෙවත් කතන්දරය) කෙසේ වෙතත් රනිල් බලයට පත් කෙරුණේ ගෝඨාභය එළවා දැමීමට අවශ්ය වූ බටහිරයන් විසින්. එයට අවශ්ය පසුබිම සකස් කෙරුණේ අප විසින්. අපේ අධිපරිභෝජනය, බොරු ෂෝක් හා බොරු උගත්කම් එයට හේතු වුණා. අප අපේ ආදායමට වඩා වියදම් කෙරුවා. අද ඇතැම් බටහිර වෙදමහතුන්ට සරසවි ඇදුරන්ට හා වෙනත් මධ්යම පාංතිකයන්ට ණයට ජීවත්වීම නිසා ණය ගෙවා ගැනීමට බදු වැඩි කිරීම බාධාවක් වෙලා. රටේ තත්වයත් එයමයි. අප කලකට සිට හැම දෙයක් ම රජයෙන් බලාපොරොත්තු වුණා. ඊනියා සමාජවාදයක් මුවාවෙන් නොයෙකුත් සහන ලබා ගත්තා. අද අපට ඒ එකක්වත් දරා ගන්න බැහැ.
අප සිතුවේ ජාතිකත්වයක් ඇති දැඩි තීන්දු ගැනීමේ සමත් ගෝඨාභය ජනාධිපති ධුරයට සුදුසු ම පුද්ගලයා කියා. එහෙත් ඔහුට ප්රශ්න දෙකක් තිබුණා. එකක් පවුලෙන් සහායක් නොලැබීම. ඔහු ජනාධිපති අපේක්ෂකයා කෙරුණේ පවුලේ විරුද්ධතාව මැද. මහින්ද රාජපක්ෂ එදා සුගතදාස ගෘහස්ථ ක්රීඩාගාරයේ දී සහෝදරයා ජනතාවට භාර කර යන්න ගියා. දෙවනුව ඔහුට ඊනියා ප්රජාතන්ත්රවාදියකු වීමට බටහිරින් බල කෙරුණා. අද රනිල් ගෙනෙන පනත්වලින් පනවන දැඩි නීතිවලින් දාහෙන් එකක් ඔහු පැනවූවේ නැහැ. එහෙත් බටහිරයන් ඊනියා මානව අයිතිවාසිකම්වලට මුවා වී ඔහුට බලපෑම් කළා. ඔහුට අවසානයේ දී පුංචි බණ්ඩාගෙන් හා හමුදාවෙන් උපදෙස් ගන්න සිදු වුණා.
බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ ගෙන ගිය දැඩි අධිපතිවාදී ක්රියා මාර්ගයට ඇතැමුන් විරුද්ධ වුණා. දෙමළ ත්රස්තවාදය පැරදවීමේ දී එයට දේශපාලන නායකත්වය දුන්නේ මහින්ද. ඔහු එතැනට තල්ලු කිරීමට ජාතිකවාදීන් සමත් වුණා. කෙසේ නමුත් එහි ගෞරවය ඔහුට හිමි විය යුතුයි. ඒ මෙහෙයුම් කළමනාකරණය කෙළේ ගෝඨාභය. එහි හමුදා නායකත්වය ගත්තේ සරත් ෆොන්සේකා. ඔවුන් දෙදෙනාටත් කොටි පැරදවීමේ ගෞරවය හිමි වෙන්න ඕන. එහෙත් අකෘතඥ ජනතාවක් අද බටහිර හා ඉන්දීය ප්රචාරවලට හසු වී ගෝඨාභයගේ ඡායාරූපවලට කෙළ ගහන තත්වයකට පත් වෙලා. අද ගෝඨාභය පචුලෙන් ද ඊනියා මිතුරන්ගෙන් ද කොන් කෙරී තනිව ම ඉන්නවා. ඇතැම් ජාතිකවදීන් ද ගෝඨාභය තමන්ට සැලකුවේ නැහැ කියමින් බලු බැනුම් බැන්නා. ඔහුට සිදු වී ඇති ඒ සියලූ අකටයුතු සම්බන්ධයෙන් ඔහු ජනාධිපති අපේක්ෂක විය යුතු යැයි කී මා ද වැරදිකරුවෙක්. සිංහලයා මෝඩයා යන්න කාගේ කියමනක් වුවත් එය ඇස් පනාපිට පේනවා.
කොටි පරාද කිරීමෙන් උදම් වී ක්රියා කළ බැසිල් හා මහේන්ද්ර පුත්රයන් ශ්රී ල නි පක්ෂයේත් මිතුරු පක්ෂවලත් ඇතැමුනට තම ආධිපත්යය පෙන්නුවා. මෛත්රිපාල ප්රමුඛ පිරිස පක්ෂය හැර දා ගියේ බැසිල් නිසා. ඉන් වූ හානිය ඉමහත්. අද මෛත්රිපාල ඉන්නේ රනිල්ට කීකරුව. විමල් විවිධ අවස්ථාවල තනියම යන්න උත්සාහ කළා. එයට බැසිල් මෙන් ම විමල් මානය ද බලපෑවා. පළාත් සභා ඡන්දයේදීත් ඔහු තනිව යන්න උත්සාහ කළා. ගෝඨාභය බලයට පත්වීමෙන් පසු ඔහුට හා පිරිසට බැසිල් නාමල් ආදීන් බලය පෙන්නුවා. තෙල් ගෑස් ප්රශ්නය හදිසියේ ඇති වුවක් නො වෙයි. ගෑස් සිලින්ඩර පිපිරුණේ කොහොම ද කියන එක අදටත් ප්රශ්නයක්. කොවිඩ් වසංගතයත් ආර්ථිකයට බල පෑවා.
ආණ්ඩුව ඇතුළේ ම පිරිසක් ඒ ප්රශ්න විසඳා ගැනීමට කටයුතු කරනු වෙනුවට ප්රසිද්ධියේ තමන් ඇමතිවරුන් වූ ආණ්ඩූව විවේචනය කළා. එය මුහුණත් එක්ක තරහට නහය කපා ගැනීමක් හා ජනප්රිය වීම සඳහා කළ ගැලරිය පිනවීමක්. ඔවුන් නිල වශයෙන් ඇමති ධුරවලින් ඉවත් වෙන්න නැතුව ඇති. එහෙත් ඔවුන් තව දුරටත් ඇමතිවරුන් ලෙස කටයුතු කිරීම ප්රශ්නයක් වුණා. ඔවුන් ඇමති ධුරවලින් ඉවත් කෙරුණු බව ඇත්ත. එහෙත් එය ඉල්ලන් කැමක්. අවසානයේ දී ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වුණා. මා ආණ්ඩුව කියන්නේ ආණ්ඩු පක්ෂයට. ඔවුන්ට අවශ්යතාවක් තිබුණා නම් ඇමති ධුර නැතුව ආණ්ඩුවේ ඒ කියන්නේ ආණ්ඩු පක්ෂයේ ඉන්න තිබුණා. එදා මෛත්රිපාල කළ වරද මෙදා ඔවුන් කළා. ඔවුන්ටත් වෙන්නෙ රනිල්ගෙ අණසක යටතේ ජීවත්වීමට.
ඔවුන්ගේ අස්වීම, ආණ්ඩු පක්ෂය හැරදා සුවාදීන වීම පරගලයට ශක්තියක් වුණා. බටහිරයන් හා ඉන්දියාව තම වුවමනාව ඉටු කර ගත්තා. එහි දී ඇතැම් හමුදා නිලධාරීන්ට ද බලය ලබා ගැනීමට අවශ්ය බව පෙනී ගියා. ඔවුනුත් ගෝඨාභයටයි අවසාන විග්රහයේ දී විරුද්ධ වුණේ. අද ගෝඨාභය හැරෙන්න අනෙක් රාජපක්ෂලා දේශපාලනය කරනවා. ගෝඨාභයට තම පුතා මිණිබිරිය බලන්නවත් යන්න බැහැ. ඊනියා මානව හිමිකම් ක්රියා කරන්නෙත් අමුතු විධියකට. බැසිල් හා සරත් ෆොන්සේකා හොඳ මානව හිතවාදීන් වන විට ගෝඨාභය හා කරන්නාගොඩ මානව හිමිකම් කඩ කරන්නන් බවට පත්වෙනවා.
ආර්ථික අර්බුදය ඇති වු අවස්ථාවේ රාජපක්ෂලා හොරකම් කිරීම නිසා ප්රශ්නය ඇති වු බවට කතාවක් ප්රචාරය කිරීමට සැලසුම් කරුවන් සමත් වුණා. කිසිම විචාරයක් නැති සිංහලයන් ඒ සියල්ල විශ්වාස කළා. තව ටිකෙන් ගෝඨාභය ජනාධිපති මැදුරේ සිට පාරේ ඇද ගෙන යනවා. හමුදාවට නිසි නියෝග ලැබී නොතිබූණු බව පැහැදිලියි. පරගල කාලයේ කිසිවකු ප්රශ්නය විසඳීමට ඉදිරිපත් වුණේ නැහැ. අද මොන කතා (අන්දර) කිවුවත් තමන් අදක්ෂයන් බව ඔවුන් දැන සිටියා. රනිලුත් දක්ෂයෙක් නො වෙයි. එහෙත් මහා බැංකු අධිපති රට බංකොළොත් බව ප්රකාශ කිරීමෙන් පසු (ඔහු එය කෙළේ කාගෙන් අහල ද? එකලත් මහා බැංකුව සුවාදීන ද?) අපට ණය දෙන්න කිසිවකු සිටියේ නැහැ. ණයට කාපු අපට ණය නැතුව බැහැ. රනිල් ඉදිරිපත් වුණා නොවෙයි. ඔහු ඉදිරිපත් කෙරුණා. ඔහුට බටහිර සංගීයට හා උත්තර භාරතීය සංගිතයට නටන්න වෙනවා. ඒ අතර මෙරට නැටුමක් ද එකතු කරන්න හදනවා. එය උඩරට ද පහතරට ද සබරගමු ද කියා තවම පැහැදිලි නැහැ. ඔය මර්දනකාරී පනත් සම්මත නූණොත් ජාමුල අප හැර යනවා.
මා කුඩා කලත් තරුණ වියේත් හිතන් හිටියේ දක්ෂයකු කියා. විභාග සමත් වීම ම දක්ෂකමක් නො වෙයි. එංගලන්තයට ගිය පසුයි මා දැන ගත්තේ මා අදක්ෂයකු බව. අප රටේ විශිෂ්ටයන් නැහැ. ගස් නැති රටේ එරඬු ගස් පමණයි තියෙන්නෙ. නැත්තන් ඉන්නෙ. මා අදක්ෂයකු බව තේරුම් අරන් අවුරුදු පනහකට වැඩියි. එහෙත් බොහෝ දෙනා හිතන් ඉන්නෙ තමන් දක්ෂයන් බව. මා ඊයේ පෙරේදා කියෙවුවා මෙරට බුද්ධිමතකු කෘත්රිම බුද්ධිය ගැන ලියු ලිපියක්. ඔහුට අනුව කෘත්රිම බුද්ධිය කය නැති සිතක් වගේ. ඔහුට අරූපාවචර බ්රහ්ම ලෝකත් මතක් වෙලා. එතකොට ඔය වෙනත් යන්ත්ර සුත්ර සිත නැතුව ම කය ඇති බඹලොව ද? කෘත්රිම බුද්ධිය යන්ත්රවලින් ඉවතට පනීවි ද?
ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට තරම් රනිල් සජිත් බැසිල් විමල් රනිල්දාස මේ කිසිවකු දක්ෂයන් නො වෙයි. අද අප ජීවත් වෙන්නෙ අපේ හපන්කමකට නො වෙයි. ණය නොගෙවා සිටීමෙන්. එය අපේ කාගේවත් දක්ෂකමක් නො වෙයි.ණය දීපු අය තම දක්ෂකම පෙන්නනවා. අපි තව තවත් ණය වෙමු. අපට මහා අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. බටහිරයන් ඒ බව දන්නවා. ඒ අර්බුදයේ දී අර දැඩි නීති අවශ්ය වෙන බව ජාමුලත් දන්නවා. අදක්ෂයන් මැද බටහිරයන් හා ඉන්දියාව තම දක්ෂකම් පෙන්නනවා. වැඩ පෙන්නනවා. අප මෙරට වැඩ්ඩන් කියන්නේ වැඩ්ඩන්ට නො වෙයි.

කෘත්රිම බුද්ධිය ගැන එහි නිර්මාතෘවරයකු කියන දේ මේ සබැඳියෙන්

https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fnature.us17.list-manage.com%2Ftrack%2Fclick%3Fu%3D2c6057c528fdc6f73fa196d9d%26id%3D7c05df20f4%26e%3D2fdcdb37d8%26fbclid%3DIwAR2n2XmhhbErfK0yEhGzRdGVfvUfoniRJJvyftz668PWgEWxw-RHhgEITN4&h=AT3ituqsXRwVPnOacrmu1HNKQ9qz8VGEeDnXQCgWIvrhGBH7f4GsPk8phhmraJekLOCtcQ6irE6Z8X-Vg8aRaX3QlxBgVO8SPD4Kcuuai2tFS_TEgHWtzv7qsbtv5NlXRHuX&__tn__=R]-R&c[0]=AT2N6GsNsw8J3Pcxw5EA9Ri5q9amVHoYBjUH51EwFLoLmidgi23Q4aeFERrZ9aiIDG0zB4kRlZmX6ZLOjCnE3l9xpj51C90pW_PBc_fRL0_2O-t6URc-xO-