මගේ
බුදුහාමුදුරුවෝ
මා බුදුදහම හදාරලා නැහැ. සාමාන්‍ය පෙළ දෙවැනි වසරෙන් පසු බුදුදහම ගැන ක්‍රමවත් අධ්‍යාපනයක් ලබා නැහැ. මගේ පාලි දැනුම සාමාන්‍ය පෙළ පළමු වසරට සීමා වෙනවා. දහම් පාසලේ හතරවැනි පංතියේ අභිධර්ම දැනුමක් පමණයි මට ඇත්තේ. මා සූත්‍ර කිහිපයකට වඩා කියවලා නැහැ. මා කේ එන් ජයතිලක ඩේවිඩ් කළුපහන සහ තවත් කිහිප දෙනකුගේත් වල්පොල රාහුල හිමියන්ගේ ඇතැම් පොත් කියවා තියෙනවා. ඒ පොත් බටහිරයන්ගේ අච්චුවට බුදුදහම දැමීමට තැත් කිරීමක් ලෙසයි මට හැඟී ගියේ.
මා
කුඩා කාලයේ බුදුදහමට ලැදියි. මට පැවිදි වීමේ ආශාවකුත් තිබුණා. එහෙත් තාත්තා එයට කැමති වුණේ නැහැ. මා පසුව බටහිර දැනුම පස්සේ ගියා. මාක්ස්වාදියකු ද වුණා. විද්‍යාඥයකු වීමට කටයුතු කළා. එහෙත් මට වැඩි දුර යන්න ලැබුණේ නැහැ. මට එංගලන්තයේ දී බටහිර දැනුම් ක්‍රමයට හිතන්න බැරි
බව වැටහුනා. මා විද්‍යාපති උපාධියක් සමග ආපසු ලංකාවට ඒමට තීරණය කෙළේ ලංකා විශ්වවිද්‍යාලයේ රැකියාවේ ස්ථිර
වීම සඳහා. එහෙත් මට සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් දුන්නා. මගේ බටහිර විද්‍යා දැනුම එයට සීමා වුණා. පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ
ක්වොන්ටම් භෞතිකය උගන්වන අතර මට එහි ඇත්තේ වෙන ම කතාවක් බව වැටහුණා. එය ගැන කල්පනා කරන විට මට බුදුදහම මතක් වුණා. මා නැවතත් බෞද්ධයකු වුණා. මා බුදුහාමුදුරුවන්
ගැන කල්පනා කරන්න පටන් ගත්තා.
මට
අවශ්‍ය වුණේ බුදුහාමුදුරුවන් දේශනා කෙළේ කුමක් දැයි දැන ගැනීමට. යුදෙවුවන් තම දෙවියන්වහන්සේ පිළිගනිමින් දෙවියන්වහන්සේ කවුදැයි දැන ගැනීමට වෙහෙසෙනවා. මා බුදුහාමුදුරුවන්
දෙවියන්වහන්සේ කෙනකු බවට පත් කරන්න හදනවා නො වෙයි. බුදුහාමුදුරුවන් අසාමාන්‍ය මිනිසකු බව මා දන්නවා. උන්වහන්සේ අසමසම. උන්වහන්සේ දෙසූ දහමත් අසමසම. වෙනත් කිසිම දහමක් දැනුමක් සමග ඒ සසඳන්නවත් බැහැ. එහෙත් ප්‍රශ්නයක් තියෙනවා.
නැවතත් ක්වොන්ටම් භෞතිකය සම්බන්ධ කතාවක්. නීල්ස් බෝර් වරක් කියා තියෙනවා ක්වොන්ටම් භෞතිකයේ ලොකුම ප්‍රශ්නය එය සම්භාව්‍ය, අපි නිවුටෝනීය කියමු, භෞතිකයේ වචනවලින් විස්තර කිරීමට සිදු වීම කියා. තවත් නොබෙල් ත්‍යාගලාභියකු වූ රිචඩ් ෆයින්මාන් පවසා ඇත්තේ කිසිවකුටවත් ක්වොන්ටම් භෞතිකය නොතේරෙන බවයි. මා බුදුදහම ක්වොන්ටම් භෞතිකය සමග සසඳනවා නො වෙයි. එහෙත් අපට බුදුදහම දැන ගැනීමට සිදු වී ඇත්තේ එදිනෙදා යොදා ගන්නා වචන ආධාර කර ගනිමින්.
ඉතා
කෙටියෙන් මා දන්නා බුදුදහම ගැන කියන්නම්. ඉතා විශාල පිරිසක් ඒ සමග එකඟ නො වේවි. ඔවුන් මට වඩා බුදුදහම හදාරා ඇති බව මා දන්නවා. එහෙත් මට මගේ නොදැනුම්කම ඔවුන් හමුවේ පෙන්වන්න වෙනවා. මා නාගර්ජුන හිමියන්ගේ පොතපතත් කියවා නැහැ. මහායානික පොතපතත් කියවා නැහැ. සෞත්‍රාන්තික හරි තන්ත්‍රයානික හරි පොතපතත් කියවා නැහැ. ශුන්‍යතාව අපට ශුන්‍යය සඳහා සංකේතයක් සකස් කර ගැනීමට උපකාර වුණත් මා එය සංකල්පයක් හැටියට ප්‍රතික්‍ෂෙප කරනවා.
බුදුහාමුදුරවන් අපට දේශනා කෙළේ සසර ගමන කෙළවර කරන්න. එදා දඹදිව සසර ගමන කෙළවර කරන්න සිතුවේ මරණයක් නැති සදාකාලික ජීවිතයක් ලබා ගැනීමෙන්. බුදුහාමුදුරුවන්ට
අවශ්‍ය වුණේ යළි නොඉපදී සසර ගමන කෙළවර කරන්න. එවිට සසරේ සැරිසරන පුද්ගලයාට සිදුවන්නේ කුමක් ද? පුද්ගලයා අර නොමැරෙන තැනක උත්පත්තිය ලබතොත් ශාස්වත කතාවක් කියැවෙනවා. එහෙම නැත්නම් පුද්ගලයා නැති වෙනවා ද? එවිට උච්ඡෙද කතාව.
බුදුහාමුදුරුවන් දේශනා කෙළේ පුද්ගලයකු නැති බව. එවිට ශාස්වතත් නැහැ උච්ඡෙදත් නැහැ. ආත්මයක් කියා එකක් ඇත කියා ගැනීමෙන් තමයි අවුල ඇති වෙන්නෙ. අනිච්ච දුක්ඛ අනත්ත කියන්නේ මේ නැති බව ශුන්‍ය බව හිස් බව. පැවැත්මක් නැති බව. පවත්නා සත්වයකු නැති බව. උත්පාද භංග මිස තිථියක් නැති බව. මට තේරෙන විධියට සත්වයා කියා කිසිවකුත් නැහැ. සත් කියන්නෙ ම ඇති බව. සත්‍යය ඇත්ත ආදී වචන පැවැත්මත් එක්ක සම්බන්ධයි. අනත්ත ලක්ඛණ සූත්‍රයේ කියැවෙන්නේ මා කියා කෙනකු ආත්මයක් නැති බව. එහෙත් සත්වයා පුද්ගලයා මා ආදිය නැතුව අපට කතා කරන්න බැහැ. අපට කියන්න වෙන්නෙ ඊනියා මා ඊනියා සත්වයා ඊනියා පුද්ගලයා ආදී වශයෙන්. ඒත් හැම තැන ම ඊනියා යොදාගන්න එක තේරුමක් නැහැ. අප සත්වයා කියන්නේ ආත්මයක් ගැන සිතා නොවෙයි. එය සම්මුතියක් පමණයි. අපට සියලු සත්වයෝ සුවපත් වේවා කියන්න වෙනවා. ඊනියා සත්වයෝ ඊනියා සුවපත් ඊනියා වේවා කියන්න බැහැ.
අප
බොරු ගොඩක් තනා ගෙන. එසේ කීමත් බොරු. අපට බොරු නොකියා බැහැ. මෙහි බොරු කියන්නේ මුසා කියන අරුතින් නො වෙයි. මා යම් වැඩක් කර ඒ කළේ නැහැ කීම මුසාවක්. මා ඒ වැඩේ කළ බව කීම බොරු වැළක්. අප කියන බොරු සංගත වුණා ම වැඩ කළා ම අප ඒ පිළිගන්නවා. මා ගෙදර ගියා කීම බොරු වැළක් වුණත් එය වැඩ කරනවා. ගෙදර කියා නිත්‍ය තැනක් නැහැ. කිසිවකු තමා පිටත් වූ ගෙදරට ආපසු යන්නේ නැහැ. කිසිවකු ඇත්තෙත් නැහැ.
මෙහි
දී වෙනස් වෙනවා කියන සංකල්පය අපට පිහිට වෙනවා. එහෙත් වෙනස් වන යමක් හරි වෙනස් වන යමකු හරි නැහැ. සත්වයන් පමණක් නොව ගස් ගල් ආදී වස්තූන් ද නැහැ. උත්පාද භංග මිස තිථියක් නැහැ. එහෙත් මේ වෙනස් වීම හරහා අප වෙනස් වන්නකු වෙනස් වන වස්තුවක් හදා ගන්නවා. මා අසා ඇති ආකාරයට ඈත අතීතයේ සිංහල භික්‍ෂූන් වහන්සේ වෙනස් වන්නකු නැතිව වෙනස් වීමක් ගැන කියා තියෙනවා. මා එහි මුලාශ්‍රය නම් කියවා නැහැ.
මට
තේරෙන සිංහල භාෂාව නාම පදවලට වඩා ක්‍රියා පදවලට වැදගත් තැනක් දෙනවා. අපට නාම පදයක් නැතුව වහිනවා කියන්න පුළුවන්. ඉංගිරිසියෙන් එහෙම බැහැ. It is raining කියන්න වෙනවා. අපේ භාෂාවේ චතුස්කෝටික යෙදුම් තියෙනවා. අපට ගෑවී නොගෑවී ඉන්න පුළුවන්. වස්තු පවතින්නේ නැහැ නොපවතින්නෙත් නැහැ. වස්තුවක් නැති වුවත් අපි සම්මුතියෙන් බොරුවක් එනම් වස්තුවක් හදා ගන්නවා.
අප
සසර සැරිසරන්නේ මේ නැති සත්වයකු ඇති සත්වයකු ලෙස හිතන නිසා. නැති පුද්ගලයකු ඉන්න පුද්ගලයකු ලෙස හිතන නිසා. ඒ අන් දැනුම් වගේ ම බොරුවක්. සසර කෙළවර කළ හැක්කේ මම ය මාගේ ය කියන මේ බොරුව අත්හැරීමෙන් මිස කාම සුඛල්ලිකානු යෝගයෙන්වත් අත්ථ කිල මතානු යෝගයෙන්වත් නො වෙයි. නැති පුද්ගලයකු ඉන්නවා යැයි සිතීම අත්හැරීම උච්චෙදයක් නො වෙයි. එහි දී පුද්ගලයකු නැති වන්නේ නැහැ. සිතීමක් අත්හැරීමක් පමණයි.
එහෙත්
ප්‍රශ්න තියෙනවා. අත්හරින්නේ කවුද කියා අහන්න පුළුවන්. මේ තමයි අපි එදිනෙදා ව්‍යවහාරයෙන් සිතන්න යෑමේ ප්‍රතිඵල. අත්හරින පුද්ගලයකු නැහැ. එහෙත් අත්හරිනවා. නාම පදයක් නැහැ. අවසානයේ දී ක්‍රියා පදත් නැහැ. ක්‍රියා පද හදන්නෙත් නැති සත්වයකු. ක්‍රියා පදත් අත්හරින්න ඕන. ඉතා කෙටියෙන් කියනවා නම් අත්හැරීමත් අත්හරින්න ඕන. ඒ අත්හැරීම සඳහා බුදුහාමුදුරුවන්
අපට මගක් කියා දී තියෙනවා. ඒ අරි අටැඟි මග. සසර කෙළවර කිරීමට ධර්මය මගක් පමණයි. එය පහුරක් නො වෙයි. සසර කෙළවර කිරීම සසරින් එතර වීමක් නො වෙයි. පහුර කර තියා ගැනීමක් ගැන හිතන්නවත් කිසිවකු නැහැ. සසර කෙළවර වීමේ දී ධර්මයත් අත්හැරෙනවා.
ඒ තමයි මගේ බුදුහාමුදුරුවන් දේශනා කර ඇති දේ.