තතු,මත හා දැනුම්
බටහිර යුරෝපය හා පසුව උතුරු ඇමරිකාව, ඕස්ටේර්ලියාව හා නවසීලන්තය දියුණු වූයේ ඇයි ද යන්න පිළිබඳ ව විවිධ අය විවිධ මත පළ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇත්තේ මත, එහෙමත් නැත්නම් කතන්දර විතරක් බව අමතක කරන්න එපා. බටහිරයන් මත හා දැනුම දෙකක් ලෙස සලකනවා. ඒ මදිවාට ඔවුන්ට තතු කියා දේත් තියෙනවා. මා තතු කියන්නේ ඔවුන් ඉංගිරිසියෙන් ෆැක්ට්ස් යනුවෙන් හඳුන්වන දේට. එය ඒක වචනයෙන් තතුව වෙනවා. මේ තතු කියන දේ වාස්තවික ලෙසයි ඔවුන් සලකන්නේ. වෙනත් විධියකින් කිවුවොත් එය නිරීක්‍ෂකයකු මත රඳා පවතින්නේ නැති බව කියැවෙනවා. උදාහරණයක් වශයෙන් දැන් වහිනවා කියන එක තතුවක්. එහෙත් මෙහි දැන් කියන්නෙ මොකක් ද වහිනවා කියන්නෙ මොකක් ද කියන දේ මිනිස් නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂයි. සමහර සංස්කෘතීන් තිබෙන්නෙ පුළුවන් දැන් කියන සංකල්පය නැති. මිනිසුන් නොවන සතුන් වැස්ස ගැන හිතන්නෙ මොකක් ද කියලා අප දන්නේ නැහැ. වතුරෙ ඉන්න මාළුන්ට වැස්සක් තියෙනව ද? ලෝකයේ දැනුම තියෙන්නෙ මිනිසුන්ට විතරක් නෙවෙයි. සියළු සත්වයන් අවිද්‍යාව නිසා දැනුම රැස් කරනවා, සසර සැරිසරනවා.
බටහිර රටවල් දියුණු වෙලා කියන එක තතුවක් ද? අප බොහෝ දෙනා හිතන්නේ ඒ එසේ බවයි. මෙතන දි ප්‍රශ්නය වන්නෙ දියුණුව කියන්නෙ මොකක් ද කියන එක. ඒකට එක එක අයගෙන් ස්වාධීන අර්ථකථනයක්, නිර්වචනයක්, හැඳින්වීමක් තියෙනව ද? මිනිසුන් දිනෙන් දින දියුණු වෙනව ද? අප ගල් යුගයේ සිට අද දක්වා දියුණු වෙලා ද? මේ යුග කතාව ලෝකෙ හැමතැනකට ම පොදු ද? මේ මහා භද්‍ර කල්පෙ කාශ්‍යප බුදු හාමුදුරුවන්ගෙ කාලෙ තිබුණෙ ගල් යුගයක් ද? මහා භද්‍ර කල්පෙ ඉවඑ වෙන්න ඉස්සෙල්ල කල්ප විනාශයක් තියෙන්න බැහැ. ලෝකය රේඛාවක් දිගේ දියුණු වෙනව ද? එහෙම නැත්නම් ඒකෙත් චක්‍රිය බවක් තියෙනව ද?
අප බටහිර රටවල් දියුණු වෙලා කියන්නෙ බටහිර සංකල්ප කිහිපයක් මත පදනම් වෙලා. පළමුවෙන් ම අප ළඟ තියෙනවා පරිණාමවාද කතාව. ඒක අපට ඩාවින් දුන්න දෙයක්. බටහිර නූතනත්වය අනුව සිංහල බෞද්ධ සංස්කෘතිය ද ඇතුළුව ලෝකය දැක්ක එහි දරුවකු වූ මාර්ටින් වික්‍රමසිංහ ජනප්‍රිය ඉංගිරිසි පොත් කියවලා ඒ කතාව සිංහල කියවන අය අතර ප්‍රචලිත කළා. පාසල් හා විශ්වවිද්‍යාල මගින් එය තහවුරු කෙරුණා. දැන් ප්‍රශ්නයක් එනවා. ඉස්සෙල්ලා ම මිනිසා ඇති වුනේ කොහේ ද? මිනිසුන් කිහිප දෙනකු ඇතිවුනා ද? ජාන සම්බන්ධයෙන් විකෘතිය (ම්‍යුටේෂන්) කියන සංකල්පය එතෙන දි ක්‍රියාත්මක වුනේ කොහොම ද? අපේ සංසාර ගමන පටන් ගත්තෙ කොහොම ද කියලා අපේ ලොකු මුණුබුරා අහනවා. සංසාරයට මුලක් තියෙනවා ද? ඒක ගැන අපට කිසිම දිනෙක කතන්දරයක් හදාගන්න බැරි බව බුදුන්වහන්සේ ඒ පිළිබඳ දේශනා කර ඇති දෙයින් පැහැදිලියි.
මෙතන තියෙන්නෙ රේඛීය චින්තනය හා චක්‍රීය චින්තනය අතර ප්‍රශ්නයක්. බටහිරයන්ට මුලක් ඕනමයි. ස්වදේශික ඇමරිකානුවන් කියලා තියෙන දෙයක් තමයි සුද්දන් හැම එකට ම හේතු සෙවූ බව. ස්වදේශිකයන් එහෙම හේතු හොයලා නැහැ. චක්‍රීය චින්තනයට අනුව මුලක් අවසානයක් නැහැ. ඒත් සමහරවිට චක්‍රය කඩන්න පුළුවන්. පටිච්ච සමුප්පාදය චක්‍රීයයි. නිවන් අවබෝධයේ දී ඒ කැඩනෙවා. බටහිරයන් කියන විධියට මිනිසුන් ඉස්සෙල්ලා ම ඇති වෙලා තියෙන්නෙ අප්‍රිකාවෙ. ඉන් පසු මිනිසුන් එක එක පැතිවලට සංක්‍රමණය වෙලා, ගිහිල්ලා. ඒ ඒ රටවලත් බටහිරයන් කියන්නෙ එකම විධියට ශිලා යුගය, යකඩ යුගය ආදී වශයෙන් යුග පහු කරමින් මිනිසුන් දියුණු වුනා කියලා. ඒත් හැම රටකම එකම වේගයෙන් ඒ ක්‍රියාවලිය වෙලා නැහැ. බටහිර පුරා විද්‍යාව පදනම් වන එක නියමයක් තමයි මේ යුග මාරුව. ඒත් යුග මාරුවත් හැම තැනක ම එකම විධියට වෙලා නැහැ. ලංකාව හොඳම උදාහරණයක්. ලංකාවෙ යුග කතාව බටහිර අච්චුවට ගැලපෙන්නෙ නැහැ.
බටහිරයන්ට මුළු ලෝකෙම ඔවුන්ට ඕන කරන විධියට වෙනස් වෙලා තියෙන්න ඕන. පුරා විද්‍යාවත් ඔවුන්ට ඕන කරන විධියට කෙරෙන්න ඕන. අභයගිරිය සුදු පිරියම් නොකර පුරා වස්තුවක් හැටියට තියන්න මෙරට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියා කරන්නෙ ඒ නිසා. රුවන්වැලි සෑය සුදු පිරියම් නොකර තිබුණ නම් අපට ශ්‍රද්ධාවක් ඇති වෙනව ද? බටහිරයන්ගෙ පුරා විද්‍යාව (ඉතිහාසය) කෞතුක පුරා විද්‍යාවක්. අපට ඇත්තෙ ජීවමානන ඉතිහාසයක්. අපට අපේ ජීවමාන ඉතිහාසය නොදී අභයගිරිය කෞතුක පුරා විද්‍යාවක්, ඉතිහාසයක් බවට පත් කරන්නෙ බටහිරයන්ගෙ සංකල්පවලට යටවෙලා. අභයගිරිය යනු නැති වූ සංස්කෘතියක පිරමිඩයක් වැනි පුරා වස්තුවක් නොව ජීවමාන සංස්කෘතියක අප අවුරුදු දහස් ගණනක් වැඳ පුදාගත් චෛත්‍යයක්. අභයගිරිය කියන කොට අපට වට්ටගාමිණී අභය මෙන් ම ගිරි නිඝන්ඨයාවත් මතක් වෙනවා. තමන්ට විරුද්ධ වූ අයකු ද මතක් වෙන විධියට ඒ නම් කිරීම ම සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්‍ෂණයක්. ගැමුණු රජු රුවන්වැලි සෑය නම් කරලා තියෙන්නෙ කුවේණිගෙ මෑණියන් වූ රත්නවල්ලි රහත් මෙහෙණිය සිහිවෙන්න කියලා යක්‍ෂ ජනතාවගෙ වර්ගපූර්ණිකාවෙ කියැවෙනවා. අපේ දරු මුණුබුරන්ටත් ශ්‍රද්ධාවකින් අභයගිරිය වැඳ පුදා ගන්න තියෙන්න ඕන. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඒකට ඉඩ දෙන්නෙ නැහැ. ඔවුන් අභයගිරිය පිරමිඩයක් කරලා.
ලෝකය දියුණුය යන්න රේඛීය චින්තනයේ ම එක කොටසක් පමණයි. බටහිරයන්ට අනුව අප්‍රිකාවෙන් ගිය මිනිසුන් බටහිර යුරෝපයෙ දි විකාශයෙන් මේ වත්මන් දියුණුව අත්පත් කරගෙන. ඒක තතුවක් ද, දැනුමක් ද, මතයක් ද? මට නම් මේ හැම එකක් ම සාපේක්‍ෂයි. වත්මන් දියුණුව පරිහාණියක් කියලා අයකුට කියන්න පුළුවන්. දියුණුව මනින නිර්ණායක මොනව ද? පරිසරය විනාශ කරගෙන සම්පත් සූරා කා අපේ දරුවන්ට ඒ අහිමි කිරීම දියුණුවක් ද? බටහිරයන්ට පරිසරය රකින්න පුළුවන් ද? පරිසරය රැකීම කියන එක ම හරි ද? ඒකෙ තේරුම කුමක් ද? පෞද්ගලික ආශාවන් වැඩි කිරීම දියුණුවක් ද?
මත එක් එක් අයට සාපේක්‍ෂ බවත් දැනුම එසේ නොවන බවත් බටහිර සාමාන්‍ය විශ්වාසයයි. දැනුමත් සාපේක්‍ෂයි. දැනුම කියලා දෙයක් මිනිසුන්ගෙන් ස්වාධීන ව ස්වායත්තව තියෙනව ද? දැනුම යනු කාගෙ හරි දැනුමක් මිස නිරපේක්‍ෂ දැනුමක් නෙවෙයි. අපට කිසිම දෙයක් සංස්කෘතියෙන් මනසෙන් හා පංචෙන්ද්‍රියනාගෙන් තොරව ස්වාධීනව කියන්න බැහැ. මා මේ කියන්නේ පෘථග්ජනයන් ගැන මිස නිවන් අවබෝධ කරගත් රහතන් වහන්සේ ගැන නෙවෙයි. රහතන් වහන්සේ අවබෝධ කරගන්නා නිවන වෙනමයි.
අප අපේ ඇහැකින් බලන්න පුරුදු විය යුතුයි.
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් කියවිය හැකි යි.
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)
නලින් ද සිල්වා
2016 ජූලි 31