Main Logo

Saturday, 28 February 2015

ශ්‍රී ල නි ප කැඩී ඉවරයි

ශ්‍රී ල නි ප කැඩී ඉවරයි

අගමැති සිහිනය මවාගෙන ශ්‍රී ල නි පක්‍ෂය කඩා නොදමන ලෙස ඒ සිහිනය වඩාත්ම දුටු නිමල් සිරිපාල ද සිල්වා කියා ඇත. ඔහු අද මෛත්‍රිපාල සිරිසේනගේ විපක්‍ෂ නායකයා ය. මෛත්‍රිපාල ද ඒ වචනවලින් ම නොවුණත් එවැනි අදහසක් ප්‍රකාශ කරයි. ඔහු ද අගමැති සිහිනය තදින් ම දුටුවේ ය. මේ දෙදෙනා එක් ව හොරා හොරා යැයි කියන්නේ කාහට ද? අගමැතිකම වෙනුවෙන් ශ්‍රි ල නි පක්‍ෂය කැඩීමේ පාපකර්මයට ඔවුන් වගකිව යුතු ය. 

අද ශ්‍රි ල නි පක්‍ෂය කැඩීමට අවශ්‍ය නැත. එය කැඩී ඉවර ය. මෛත්‍රිපාල හා නිමල් සිරිපාල එය කැඩුවේ යැයි මම නො කියමි. ඔවුන්ට ඒ සඳහා ශක්තියක් නැත. එය කැඩුවේ සබරගමු පළාතේ ඊනියා යහපාලන ආණ්ඩුකාරයාග් පුත්‍ර රත්නය වූ ඩිලාන් පෙරේරා ද නො වේ. ඔහුට ද ඒ සඳහා ශක්තියක් නැත. ඔවුන්ට ශක්තිය නො තිබුණත් අද ශ්‍රී ල නි පක්‍ෂය මහින්ද පිළ හා මෛත්‍රිපාල පිළ යනුවෙන් කණ්ඩායම් දෙකකට කැඩී ඇත. 

එ කණ්ඩායම්වලට අමතර ව චන්ද්‍රිකා කණ්ඩායමක් ද ඇති වීමේ ප්‍රවනතාවක් තිබිණි ද අද වන විට ඒ සඳහා කිසිම ඉඩක් නැති බව පැහැදිලි ය. චන්ද්‍රිකා කණ්ඩායමක් ලංඩනයේවත් පිහිටුවිය නො හැකි ය. චන්ද්‍රිකා වරක් ඇගේ සැමියා වූ සිංහල බෞද්ධ විරෝධී විජය කුමාරතුංග සමග එකතු වී ශ්‍රි ල නි පක්‍ෂය දෙකඩ කළා ය. රාජිත ද විටෙක කුමාර් රූපසිංහ සමගත් විටෙක චන්ද්‍රිකා සමගත් බණ්ඩාරනායකලාට හා ශී්‍ර ල නි පක්‍ෂයට විරුද්ධ ව එකතු විය. ඒ සෑම අවස්ථාවක ම ශ්‍රී ල නි පක්‍ෂය ඇතුළතින් සිට ආරක්‍ෂා කළේ මහින්ද රාජපක්‍ෂ ය. පිටතින් සිට ආරක්‍ෂා කළේ දිනේශ් ගුණවර්ධන ය.  

ශ්‍රී ල නි පක්‍ෂය මෙරට ජාතිකත්වයේ පක්‍ෂය වෙයි. එය කැඩීමේ අවශ්‍යතාව සිංහල බෞද්ධ විරොධී කුමාර් රූපසිංහට විය. විජය කුමාරතුංගට විය. එහෙත් එයටත් වඩා විජාතික බලවේගවලට විය. කුමාර් රූපසිංහලා විජය කුමාරතුංගලා විජාතික බලවේගවල බළල් අත් පමණක් වූහ. අපි කිසි විටෙක ශ්‍රී ල නි පක්‍ෂයට හිස නැති කවන්ධයක් කියා අපහාස නො කෙරුවෙමු. ශ්‍රි ල නි පක්‍ෂයට හා මහින්ද රාජපක්‍ෂට එරෙහිව කිසිම විටෙක මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඊනියා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සමග එකතු නො වුනෙමු. 

ශ්‍රි ල නි පක්‍ෂය කඩනු ලැබුවේ ප්‍රධාන වශයෙන් ම ඉන්දීය ඔත්තු සේවය (රෝ) විසිනි. එහි දී යොදාගනු ලැබූ එක් පුද්ගලයකුට පසුගියදා බර්ග්හෝෆ් ආයතනයේ මැතිහත් වීමෙන් කටුනායක දී පැවැත්වූ ශ්‍රී ල නි ප මන්ත්‍රි වැඩමුළුවේ දී කුමාර වෙල්ගම (වාචික ව)  පහර දී ඇති බව පුවත්පත්වලින් කියවීමු. විජය කුමාරතුංගගේ මාමා කෙනකු වූ කාලෝ ෆොන්සේකා අතින් ද  පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි මත පමණක් පදනම්වන බුද්ධිමතකු ලෙස හඳුන්වනු ලැබූ මොහු ඉන්දියාවේ පශ්චාත් උපාධියකට ඉගෙන ගත්තේ යැයි කියැවෙයි. දෙමළ ප්‍රශ්නය ගැන හා මානුෂීය මෙහෙයුම් ගැන ඔහු පොතක් ලියා ඇත්තේ ඉන්දීය දෘෂ්ටි කෝණයකිනි. බර්ග්හොෆ් ආයතනය සිංහල විරෝධය ගැන ප්‍රසිද්ධියක් උසුලයි. ඩිලාන් පෙරේරා හා ඔහු විසින් රැගෙන එනු ලැබුවේ යැයි කියන එ ජා පක්‍ෂයේ නීතිඥයා ගැන අමුතුවෙන් කිවයුතු නැත. 

කටුනායක වැඩමුළුව සංවිධානය කරනු ලැබුයේ ශ්‍රි ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල කණ්ඩායම විසින් බව පැහැදිලි ය. ඒ කණ්ඩායම පිටුපස නූතන කඩහපොළ හිමිවරු ද උන්වහන්සේලාගේ දායකයෝ ද රෝ ඒජන්තයෝ ද වෙති. නුදුරු අනාගතයේ දී ම ශ්‍රී ල නි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකුට ඇමතිකම් හිමිවන බවට රාවයක් වෙයි. ඒ කුමක් වුවත් මෛත්‍රිපාලට ශ්‍රී ල නි පක්‍ෂය එකතු කිරීමේ කිසිම අවශ්‍යතාවක් නැති බව පැහැදිලි ය. ඔහුට අවශ්‍ය ඇමතිකම් දීමෙන හෝ වෙනත් ක්‍රමයකින් හෝ තම ගොඩ වැඩි කරගෙන මහින්ද පක්‍ෂයෙන් එළවා දැමීම ය. තමාට අගමැතිකම නොදීමේ පළිය ඔහු ගන්නේ මහින්දගෙන් පමණක් නොව ශ්‍රී ල නි පක්‍ෂයෙන් ද ය. සිංහල ජාතිකත්වයෙන් ද ය. 

අද අමුතුවෙන් ශ්‍රී ල නි පක්‍ෂය කැඩීමට අවශ්‍යතාවක් නැත. ජාතික හෙළ උරුමයට කිසිම දවසක ජාතිකත්වයක් නො තිබිණි. ජනතා මිතුරෝ කාලයේ සිට ඔවුන් ක්‍රියාකර ඇත්තේ අවස්ථාවාදීව ය. අද කළ යුත්තේ හැකිනම් මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකමෙන් ඉවත් කිරීම ය. ඔහු විධායක ජනාධිපති බලය හේතුවෙන් ඒ තනතුරට බටහිරයන්ගේ හා ඉන්දියාවේ පිහිටෙන් පත්වූවෙකි. දේශීය හා විදේශීය විජාතික බලවේගවලට අවශ්‍ය සිංහල ජාතිකත්වයේ පක්‍ෂය වූ ශ්‍රී ල නි පක්‍ෂය කඩා එය දුර්වල කිරීමට ය. අගමැති සිහිනය දකිමින් සිටි මෛත්‍රිපාල ඒ ක්‍රියාදාමයේ බළල් අතක් පමණකි.  

ශ්‍රී ල නි පක්‍ෂයට අනාගතයක් ඇත්තේ මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් පමණකි. තවදුරටත් ඔහු අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කළ යුතු නැත. මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි ප නායකයන් කියන්නේ අගමැති අපේක්‍ෂක යනුවෙන් කෙනකු ඉදිරිපත් කරන්නේ නැති බව ය. එසේ නම් ඔවුන් කළ යුත්තේ ශ්‍රි ල නි පක්‍ෂයේ නායකත්වයට මහින්ද රාජපක්‍ෂ පත්කර ගැනීම ය. එවිට අගමැති අපේක්‍ෂක ප්‍රශ්නය නිරායාසයෙන් ම විසඳෙනු ඇත. ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වයට පත්කර ගත යුත්තේ අගමැති තනතුරක් නොලැබීම නිසා ඉන්දිය ඔත්තු සේවයට යට වී පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයාට විරුද්ධව මෙරට බටහිර නියෝජිතයා වූ එ ජා පක්‍ෂය ප්‍රමුඛ සංධානයක ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූවකු ද නැත්නම් අවුරුදු හතළිහක පමණ කාලයක් පක්‍ෂය ආරක්‍ෂා කරගෙන සිටි තැනැත්තකු ද? 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 28

  

පළිගැනීම

පළිගැනීම

මේ ජී බී සේනානායකගේ කෘතිය පිළිබඳ විචාරයක් නො වේ. අවිචාරයෙන් ක්‍රියා කරන මෛත්‍රීපාලකයන්ගේ පළිගැනීම පිළිබඳ ව සටහනක් පමණකි. අද වන විට ආණ්ඩුවේ දින සියයෙන් දින පනහක් ගෙවී ගොස් ය. අද වන විට ආණ්ඩුව කර ඇත්තේ මොනවා ද? ඉටු කර ඇති පොරොන්දු කවරේ ද? දින සියය එකින් එක ගෙන කරුණු දැක්වීම අවශ්‍ය නො වේ. සාධාරණ වශයෙන් (පොදු යන අරුතින්) ආණ්ඩුව කර ඇත්තේ කුමක් ද? 

මේ ආණ්ඩුව යනු පාන්ඩුවක් යැයි අපි කීවෙමු. අද ඇත්තේ යහපාලනයක් නොව යමපාලනයක් යැයි ද අපි කීවෙමු. ඒ ආණ්ඩුවට දින විසිපහක් පිරීමට ද පෙර ය. පැහැදිලිව ම නුගේගොඩ රැස්වීමට පෙර ය. ආණ්ඩුව දන්නේ වැඩ දෙකක් පමණ ය. ඒ අනාගැනීම හා පළිගැනීම ය. අකිල විරාජ් කාරියවසම් මෙරට අධ්‍යාපන ඇමති ය. ඔහු දැන් ටයිපටියක් පැළඳ කබායක් අඳියි. එහෙත් ඔහුට බොහෝ දේ ඉගෙනීමට තිබේ. උසස් පෙළ පංතියට යෑමට සාමාන්‍ය පෙළ ගණිතය සමත්වීම කල්දැමීමට හැකි යැයි පසුගිය ආණ්ඩුව ගත් තීරණය අකිල විරාජ් වෙනස් කළේ ය. ඒ ගණිතය වැදගත් යැයි සිතෙන නිසා විය හැකි ය. එසේත් නැත්නම් පසුගිය ආණ්ඩුවෙන් පළිගැනීමට විය හැකි ය.  පසුගිය ආණ්ඩුවේ ඊනියා වැරදි කීම පළිගැනීමක් මිස වෙන කිසිවක් නො වේ. 

ගණිතය යනු උසස් පෙළට බටහිර විද්‍යාව ඉගෙනීමට බලාපොරොත්තුවන සිසුන්ට හැරෙන්නට අනෙක් අයට කිසිසේත් ම අනිවාර්ය විය යුතු නො වේ. බටහිර ගණිතය ඉගෙනීමෙන් නිරවුල් ව කල්පනා කිරීමට පුහුණුවක් ලැබෙන්නේ යැයි සිතන්නන්ට නිරවුල් ව සිතීමට නො හැකි ය. උදාහරණ වශයෙන් මා සමග ලිඛිත වාදවලට එළඹි අයගේ (මොවුහු වාචික විවාදවලට සහභාගි වීමට අකමැති වෙති) නම් ලැයිස්තුව ද වෙනත් පඬියන්ගේ නම් ද ඉදිරිපත් කළ හැකි ය.ඒ කුමක් වුවත් අකිල විරාජ් අනාගෙන ඇත. ආණ්ඩුව නැවතත් පරණ චක්‍රලේඛය වලංගු කර ඇත. 

ආණ්ඩුව විද්වත් සභාව යනුවෙන් කුමක්දෝ එකක් ඇටවී ය. එහි කැඳවුම්කරුවහන්සේ මාදුළුවාවේ සෝභිත හිමියෝ ය. එහෙත් උන්වහන්සේ නොදැන ම එහි රැස්වීම් හතරක් පවත්වා ඇත. සෝභිත හිමියන්ට රෝ ඔත්තු සේවයේ පිහිට ය. ජ වි පෙ නායක අනුර කුමාර දිසානායකට නම් විද්වත් සභාව ගැළපෙයි. ඒ එහි කිසිම විද්වත්කමක් නැති බැවිනි. 

ආණ්ඩුව අනාගැනීමට අමතර ව කරන්නේ තමන්ගේ දේශපාලන විරුද්ධකාරයන්ගෙන් පළිගැනීම පමණ ය. ඊනියා අතුරු අයවැය ජනතාවට අත්‍යවශ්‍ය යැයි කී කොත්තමල්ලි හා උම්බලකඩ සහන මිලකට දීම හැර තම දේශපාලන විරුද්ධකරුවන්ට අධික බදු පැනවීමට ගත් නීච උත්සාහයක් පමණකි. ඊනියා ධනපතියන්ට බදු පැටවීමට තරම් එ ජා පක්‍ෂය ධනපති විරෝධී නොවන බව අපි දනිමු. වැලි ගොඩ දමන්නන්ට එරෙහිව ගත් පියවර මෛත්‍රී සිතින් ගත් එකක් නොවන බව පොළොන්නරුවේ වැසියෝ දනිති. 

විවිධ චෝදනා මත දේශපාලන විරුද්ධකරුවන් අත්අඩංගුවට ගැනීම් කීයක් පසුගිය දින පනහේ දී අපි දුටුවෙමු ද? ඒ බොහෝ දෙනාට, සියල්ලට ම පාහේ, ඇප දීමට අධිකරණයට සිදුවෙයි. ගත් ගමන් බලපත්‍ර ආපසු දීමට සිදුවෙයි. අනුර කුමාර ඒ පිළිබඳ අධිකරණ ඇමතිට චෝදනා කරයි. එහෙත් එය අධි මාධ්‍ය සංදර්ශනයෙහි තවත් දිග හැරීමක් පමණකි. 

වැඩිකල් නොගොස් ආණ්ඩුව ආණ්ඩුවේ ම අයගෙන් පළිගන්නා දිනය උදාවනු ඇත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි පක්‍ෂය ද විරුද්ධ ය. දින සියය පිළිබඳ දැන් පරස්පර කතා ආණ්ඩුවේ ලොක්කන්ගේ කටවලින් පිටවෙයි. අප්‍රියෙල් විසිතුන්වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ යුද්ධය ආරම්භ වී ඇත. වඩාත් භයානක පළිගැනීම් ඉදිරියට ය. 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 28

Friday, 27 February 2015

මෛත්‍රීට පුළුවන් ද ?

මෛත්‍රීට පුළුවන් ද?

රටක ජනාධිපතිවරයකු ද සිරකරුවකු වීමට හැකි ය. අද මෛත්‍රිපාල සිරිසේන එ ජා පක්‍ෂයේ සිරකරුවෙකි. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශ්ව කටයුතු කළ බව රහසක් නො වේ. ඒ අතර විදේශීය ඔත්තු සේවා ද තානාපති (මහා කොමසාරිස්) කාර්යාල ද විය. ඔවුන්ට අවශ්‍ය ව තිබුණේ මහින්ද රාජපක්‍ෂ පැරදවීම මිස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කරවීම නො වේ. මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම යනු මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කරවීම නො වේ දැයි කාරණාකාරයකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. එය තර්කයක් ලෙස ඇත්තක් ලෙස පෙනී යයි. එහෙත් මෛත්‍රිපාල සිරිසේන වෙනුවට නිමල් සිරිපාල ආදේශ කළත් එය වලංගු වීමට තිබිණි. 

මේ පාර්ශ්වවලට අවශ්‍ය ව තිබුණේ් ඔවුන්ගේ වචනවලින් කියන්නේ නම් රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීම මිස අහවලා දිනවීම නො වේ. අහවලා කවුරුන් වුවත් ඔවුන්ට ප්‍රශ්නයක් නො වී ය. මහින්ද රාජපක්‍ෂ පරාජය කළ හැකි හොඳම අපේක්‍ෂකයා තෝරා ගැනීම ඔවුන්ගේ ප්‍රශ්නය විය. යම් කිසි පුද්ගලයකු තෝරා ගෙන ඔහු ජනාධිපති කළ යුතු ය යන හැඟීමක් ඔවුන්ට ප්‍රායෝගික ව ගත්කල නො තිබිණි. 

ප්‍රායෝගික ව ගත්කල යනුවෙන් මා කියන්නේ ඔවුන්ගේ අපේක්‍ෂකයා වූ රනිල් වික්‍රමසිංහට ජයගැනීමට නොහැකි බව ඔවුන් යම් අවබෝධයකින් පසු වූ නිසා ය. ඔවුන්ට මහින්ද රාජපක්‍ෂ පරාජය කර රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීමට අවශ්‍ය විය. එහෙත් ඒ දෙක ම එක්විට කළ නොහැකි බව ඔවුහු දත්හ. එබැවින් ඔවුන්ට අවශ්‍ය වූයේ වෙනත් කවුරුන් ලවා මහින්ද රාජපක්‍ෂ පරාජය කරවා රනිල්ට පසුව විධායක බලතල ලබා දීම ය. එනම්  රනිල් පළමුව අගමැති කර පසුව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අගමැතිට විධායක බලතල පැවරීම ය. 

රනිල් අගමැති කිරීමට තිබූ හදිසිය මෛත්‍රිපාල ජනාධිපති කිරීමට තිබූ වුවමනාවට වැඩි විය. ඒ නිසා ම දෝ ව්‍යවස්ථානුකූල ව රනිල් අගමැති ලෙස පත්කර ගැනීමට නොහැකි විය. කලබලය නිසා රනිල් පික්පොකට් අගමැතිවරයකු ලෙස පත්විණි. කෙසේ වෙතත් එතැන දක්වා නීත්‍යානුකූල ව නොවුනත් සැලැස්මට අනුව කටයුතු කෙරිණි. දැන් ඇත්තේ සැලැස්මේ ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීම ය. රනිල් ට අද අවශ්‍ය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ඒ බලතල අගමැතිට පැවරීම ය. එහෙත් එය කරගන්නේ කෙසේ ද? මෛත්‍රිපාල සිරිසේන දැන් අවුරුදු හයකට ජනාධිපති ය. 

මෛත්‍රිපාලට තම විධායක බලතල අහිමි කර ගැනීමට දැන් අවශ්‍යතාවක් නැත. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ඔහු විසින් පත්කරන ලද නායකයන් ලවා විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරයි. ශ්‍රී ල නි පක්‍ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු තබා බලතල අඩු කිරීමට ද අද එකඟ නැත. බලතල අඩු කිරීමට නම් වෙනත් යෝජනා ද සමගාමී ව ක්‍රියාත්මක විය යුතු යැයි ශ්‍රී ල නි පක්‍ෂය කියන්නේ එබැවිනි. මැතිවරණයට පෙර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටත් වැදගත් ඇමති ධුර පහක් සහිත ව තවත් ඇමති ධුර තමන්ට ලැබිය යුතු යැයි මෛත්‍රිපාලගේ  ශ්‍රී ල නි ප නායකයෝ කියා සිටිති. එහෙත් රනිල්ට අවශ්‍ය  මැතිවරණයෙන් පසු ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ය.

රනිල්ට ඒ කටයුතු සියල්ල කරගැනීම සඳහා අප්‍රියෙල් විසිතුන්වැනි දාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය වෙයි. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ජනාධිපතිට ය. ජනාධිපතිට රනිල්ට ඇහුම්කම් නොදී අප්‍රියෙල් විසිතුනට පසු පාර්ලිමේන්තුව විසුරුවා නොහැර සිටීමට ප්‍රළුවන් ද? අප්‍රියෙල් විසිතුනට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විදේශිකයන් ද බලපෑම් කරනු ඇත. මෛත්‍රිපාලට ඒ බලපෑම්වලට නොසැලී මුහුණ දිය හැකි ද? 

එසේ මුහුණ දීමට හැකි ක්‍රමයක් ඇත. ඒ මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට පත්කර ඔහු අගමැති කර වෙනත් අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමෙනි. බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ බලපෑම් ඉදිරියේ නොසැලී සිටීමේ ශක්තිය මහින්දට ඇත. මෛත්‍රිපාල එයට සූදානම් ද?

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 27
    

රණවිරුවන්ට එරෙහිව දෙමළ ජාතිවාදී සාක්‍ෂිකරුවන් සුරැකීම

රණවිරුවන්ට එරෙහිව දෙමළ ජාතිවාදී සාක්‍ෂිකරුවන් සුරැකීම

දින කිහිපයකට පෙර ආණ්ඩුව සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කරගැනීමේ පණතක් සම්මත කර ගත්තේ ය. බැලූ බැල්මට එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ ය. ආණ්ඩුවේ විපක්‍ෂය ද සැබෑ විපක්‍ෂය ද පණතට පක්‍ෂ විය. එහෙත් පණත කුමක් සඳහා ද? එය තේරුම් ගෙන ඇත්තේ ඉන්දියාවේ එන්ඩීටීවී ආයතනය ය. ඔවුන්ගේ වෙබ් අඩවියේ පෙබරවාරි 20 වැනි දා ඒ පිළිබඳ නියම තත්ත්වය පැහැදිලි කර ඇත.

පණතෙහි අරමුණ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් රැකීම හෝ මානව අයිතිවාසිකම් සුරැකීම හෝ නො වේ. ආණ්ඩුවටත් දෙමළ ජාතිවාදීන්ටත් ඉන්දියාවටත්, නූතන කඩහපොළ හිමියන්ටත් අවශ්‍ය දෙමළ ජාතිවාදී රායප්පු ජෝසෆ් හා ඔහුගේ සගයන් සුරැකීම ය. මෙහි දී ආණ්ඩුව යනු රනිල් වික්‍රමසිංහගේ එ ජා ප මෙන් ම මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රී ල නි පක්‍ෂයත් ය. මේ පණත පිටුපස එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් හා ඉන්දියාව ඇති බව පැහැදිලි ය. 

පණත කඩිමුඩියේ ගෙනාවේ ආණ්ඩුව ඊනියා මානව හිමිකම් කඩවීම් පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණය ආරම්භ කිරීමට පෙර බටහිරයන්ගේ ඉන්දියාවේ හා දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාවට ය. පණතෙන් කෙරෙන්නේ මූලිකව ම රණවිරුවන්ට, මහින්ද රාජපක්‍ෂට හා ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව පැවැත්වීමට යන මේ යමපාලන පරීක්‍ෂණයේ දී බොරු සාක්‍ෂිකරුවන්ට ආරක්‍ෂාව සැපයීමට ය. ඒ බව එන්ඩීටිවි වෙබ් අඩවියේ පළ වී ඇති නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පෙරේරාගේ ප්‍රකාශයකින් ද තහවුරු වෙයි. 

බටහිරයන් හා දෙමළ ජාතිවාදීන් අදත් කියන්නේ දෙමළ ජනයා සමූලඝාතනය කෙරුණු බව ය. එසේ සමූලඝාතනය කෙරිණි නම් රායප්පු ජෝසෆ්ලා තවමත් ජීවත්වන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි. ඒ කෙසේ වෙතත් බටහිරයන්ට ඔවුන්ගේ චැනල් ෆෝ වැනි ජනමාධ්‍යවලට දෙමළ ජාතිවාදීන්ට අනුව හමුදාව විසින් මානුෂීය මෙහෙයුම් අවසානයේ දී හතළිස් දහසකට අධික පිරිසක් මරා දමනු ලැබ ඇත. 

රායප්පු ජෝසෆ් මේ පැමිණිලි ඉදිරිපත් කරන ප්‍රධානියෙකි. එහෙත් ඒ සඳහා ඔහුටවත් බටහිර ජනමාධ්‍යවලටවත් සාක්‍ෂි නැත. අද මේ සූදානම් වන්නේ ආණ්ඩුවේ ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයට බොරු සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කිරීමට රායප්පුලාට අවස්ථාව ලබා දීම ය. එහෙත් රායප්පුලා මෙයින්වත් සෑහීමකට පත්නොවෙති. ඔවුන්ට අවශ්‍ය ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයකි. මේ මත ප්‍රකාශ කිරීම ජාතිවාදය ඇවිස්සීමකැයි රනිල් කියනු ඇත. ජ වි පෙරමුණ ද එසේ කියනු ඇත.

ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් කතාව ආරම්භ කළේ සරත් ෆොන්සේකා ය. ඔහු මානුෂීය මෙහෙයුම්වල හමුදාවට අණදුන් හමුදාපති ය. ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම්වලට ඔහු ද වග කිව යුතු ය. ඔහුට විරුද්ධව ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ අධිකරණයක නඩුවක් ද විය. එහෙත් නඩුව අස්කර ගනු ලැබිණි. ඔහු කුප්‍රසිද්ධ සුදුකොඩි කතාව අම්බලන්ගොඩ දී මෙන් ම රත්නපුරේ දී ද කළේ ය. මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ජනාධිපති අපේක්‍ෂකයා ද විය. ආණ්ඩුව විසින් ඔහුට විරුද්ධව තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරී ඇත. එහෙත් ඔහුට මන්ත්‍රීකම නො ලැබෙයි. රනිල් කෙසේවත් ඊනියා පොදු අපේක්‍ෂකයන්ට කැමති නැත. 

ඒ කෙසේ වෙතත් සරත් ෆොන්සේකාට ද ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණය ඉදිරියේ ඕනෑම සාක්‍ෂියක් දීමට දැන් අවස්ථාව ලැබී ඇත. ආණ්ඩුව ඉහත සඳහන් පණත යටතේ ඔහු ද ආරක්‍ෂා කරනු ඇත. 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 27

Thursday, 26 February 2015

රනිල්ගේ බොරු තර්ක

රනිල්ගේ බොරු තර්ක

රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන අතර සීතල යුද්ධයක් කෙරී ගෙන යන බව අපි කලින් ද කීවෙමු. ආරක්‍ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති වූ ද රනිල්ගේ බෑණා වූ ද රුවන් විජේවර්ධනගේ තටු කපා දැමීමට මෛත්‍රිපාල පියවර ගත්තේ ය. අද රුවන්ට ඇත්තේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ පාසල්, ශිෂ්‍ය භට කණ්ඩායම් ආදිය ගැන සොයා බැලීමට ය. ආරක්‍ෂක කටයුතු පිළිබඳ වැදගත් කාර්යයන් සියල්ල මෛත්‍රිපාල සිරිසේන යටතේ ම පවතියි.  

රනිල් මෙන් ම ජේ ආර් ජයවර්ධන ද ජනතාවට කියා සිටියේ රකින්නට පරම්පරාවක් නැති බව ය. වෙනත් කටයුතුවල දී කෙසේ වෙතත් රාජ්‍ය පාලන උරුමය සම්බන්ධයෙන් ඔවුහු මාතෘ මූලික සම්ප්‍රදාය අනුගමනය කරති. රනිල් ජේ ආර්ගේ බෑණා ය. රුවන් රනිල්ගේ බෑණා ය. රනිල්ගෙන් පසු උරුමය දීමට ඔහුට අවශ්‍ය වන්නේ රුවන්ට ය. සජිත්, රවි ආදීන් එහි දී කෙසේ ක්‍රියා කරාවි දැයි කිව නො හැකි ය. එහෙත් ඒ ඉදිරි සටනකි. අද සටන ඇත්තේ රනිල් හා මෛත්‍රිපාල අතර ය. 

රනිල්ට අවශ්‍ය වූයේ පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ය. එහෙත් ඔහුට දිනීමට නොහැකි බව බටහිරයෝ ද ඉන්දියානුවෝ ද දත්හ. ඔවුන්ගේ ඔත්තු සේවා වෙනත් අපේක්‍ෂයකු ඉදිරිපත් කිරීමට ක්‍රියාත්මක විය. විශේෂයෙන් ම ඉන්දියානු රෝ ඔත්තු සේවය එහි දී ඉදිරියෙන් සිටියේ ය. ඔවුහු සිංහල ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි පිරිස් හමුවූහ. ඒ අතර මාදුළුවාවේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි, චම්පික රණවක, කරුණාරත්න පරණවිතාන ආදීහු සිටියහ. එක් කලෙක බටහිරයන්ට අවශ්‍ය වූයේ කරු ජයසූරිය ඉදිරිපත් කිරීමට ය. ඔවුන් සෙවූයේ රනිල් වැනි සිංහල බෞද්ධ සංස්කෘතිය සමග පෑහීමට නොහැකි පුද්ගලයකු නොව සිංහලත්වය සමග ඇයි හොඳයි කම් පැවැත්විය හැකි අයකු ය.

අවසානයේ දී ඉන්දියාවට අවශ්‍ය වූයේ මෛත්‍රිපාල සිරිසේන හා නිමල් සිරිපාල යන දෙදෙනාගෙන් එක් අයකු ඉදිරිපත් කිරීමට ය. එහෙත් මහින්ද රාජපක්‍ෂ නිමල්ට අගමැතිකම දීමට පොරොන්දු වී ඔහු නවතා ගත්තේ ය. මෛත්‍රිපාලට අගමැතිකම පොරොන්දු වීීී නම්  ඊනියා පොදු අපේක්‍ෂකයා වන්නේ නිමල් සිරිපාල ය. අද ඔහු ව්‍යාජ විපක්‍ෂ නායකයා ය. රටේ දේශපාලනය සිදුවන්නේ ඒ ආකාරයට ය. මෛත්‍රිපාල ඊනියා පොදු අපේක්‍ෂකයා වීමේ දී  රතන හිමියන් යම් වැඩ කොටසක් කර ඇති බව පැහැදිලි ය. මෛත්‍රිපාල එහිමියන් නූතන කඩහපොළ හිමියන් ලෙස හැඳින්වූයේ නිකමට නො වේ. 

රනිල් කැමති වුවත් නැතත් අද මෛත්‍රිපාල විධායක ජනාධිපති ය. රනිල්ට අවශ්‍ය ඉක්මණින් ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක බලතල විශාල ප්‍රමාණයක් අගමැතිට පවරා ගැනීමට ය. එහෙත් වත්මන් පාර්ලිමේන්තුවෙන් ඒ කරවා ගැනීමට නොහැකි බව ඔහු දනියි. ඔහුට අවශ්‍ය හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවා හැර එ ජා පක්‍ෂය බහුතරය වූ පාර්ලිමේන්තුවක් පත්කර ගෙන තමන්ට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය කර ගැනීම ය. ඔහුගේ ඊනියා ජාතික ආණ්ඩුව මැතිවරණයෙන් පසුව පිහිටුවා ගන්නකි. 

එහෙත් මෛත්‍රිපාලට හා ශ්‍රී ල නි පක්‍ෂයේ ඉහළ නායකයන්ට අවශ්‍ය මේ පාර්ලිමේන්තුව තව අවුරුද්දක් පවත්වාගෙන යෑමටත් එතෙක් ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටත් මහින්ද රාජපක්‍ෂ නැතිව මැතිවරණයට ඉදිරිපත් වීමටත් ය. ශ්‍රී ල නි පක්‍ෂයේ දෙවැනි පෙළ නායකත්වයට හා සාමාජිකත්වයේ අති විශාල බහුතරයට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් හැකි ඉක්මණින් මැතිවරණයකට යෑමට ය. ඒ ඒ අය කරන ප්‍රකාශවලින් මේ වෙනස දැකගත හැකි ය. රාජිත සේනාරත්නට අවශ්‍ය අවුරුද්දක් මේ ආකාරයෙන් පවත්වාගෙන යෑමට ය. දින සියය නොව අවශ්‍ය වන්නේ දින සියයේ වැඩ නිම කිරීම බව ඔහු පවසන්නේ දින සියයකින් මැතිවරණයකට යෑමට ඔහු, මෛත්‍රිපාල  හා ශ්‍රි ල නි පක්‍ෂයේ ප්‍රබලයන් යැයි කියන නිවටයන් සූදානම් නැති බැවිනි. 

ජ වි පෙරමුණ ඇත්තේ රනිල් සමග ය. ඔවුහු අද ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට විරුද්ධ වෙති. චම්පිකලාට යන එන මං නැත. චම්පික අවුරුදු හයක් ඇමතිකම කිරීමේ සිහිනය දකියි. නූතන කඩහපොල හිමියන් ගැන ආරංචියක් නැත. එහෙත් රනිල් බොරු තර්ක ගෙන එමින් අපියෙල් 23 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කතාකරයි. එහෙත් ඔහුත් අපත් දන්නා කරුණ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ජනාධිපතිට බව ය. ජනාධිපති අපියෙල් 23 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අකමැති ය. 

රනිල් බොරු තර්ක ඉදිරිපත් කරන්නේ එක් පැත්තකින් තමා පික්පොකට් ගැසූ අගමැතිකම රැක ගැනීමට ය. අනෙක් පැත්තෙන් අප්‍රියෙල් 23 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ය. එහෙත් මෙය අසංගත බව පරස්පර විරෝධී බව ඔහුට නො වැටහෙයි. ඔහු කියන්නේ මේ පාර්ලිමේන්තුව මහින්ද රාජපක්‍ෂට සහාය දීමට පත්කරගත් එකක් බවත් එබැවින් ජනවාරි 8 වැනි දාට පසු එයට පැවැත්මක් නැති බවත් ය. ඒ බොරුවකි. එසේ ජනාධිපති වෙනස්වන විට පාර්ලිමේන්තුව අහෝසි වන බවක් කියා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිනම් වගන්තියේ ද? එය ඇත්තක් නම් අද පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ව්‍යවස්ථාව කිහිප වතාවක් ම උල්ලංඝනය කර ඇති රනිල් වික්‍රමසිංහට එය ප්‍රශ්නයක් නොවිය හැකි ය. එහෙත් එය බොරුවක් බව අපි දනිමු. 

රනිල්ට පෙන්වීමට අවශ්‍ය මේ පාර්ලිමේන්තුවට අප්‍රියෙල් 23 දිනට පසු පැවැත්මක් නැති බව ය. එහෙත් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ සඳහා ප්‍රතිපාදනයක් සොයාගත නො හැකි ය. ජනාධිපතිට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව 2016 දක්වා පවත්වාගෙන ගිය හැකි ය. රනිල්ගේ බොරු තර්කයෙන් කියන්නේ මේ පාර්ලිමේන්තුව ජනවාරි 8 වැනිදාට පසු නීත්‍යානුකූල නොවන නමුත් දින සියයේ මගඩිය හේතුවෙන් එය අප්‍රියෙල් 23 දින තෙක් පවත්වාගෙන ගියත් ඉන්පසු නම් කෙසේවත් පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිය නොහැකි බවත් ය. මෛත්‍රිපාල සිරිසේන නීතිය හදාරා නැති නමුත් පාර්ලිමේන්තු පත්කර ගන්නේ ජනාධිපතිවරුන්ට සහාය දීමට නොවන බව දනියි. හැරත් මේ පාර්ලිමේන්තුව මහින්දට සහාය දීමට පත්කර ගත් එකකැයි මෛත්‍රිපාල කෙසේවත් පිළිගනියි ද? 

අද රනිල්ට කළ හැක්කේ බටහිරයන් ලවා මෛත්‍රිපාලට බලකර අප්‍රියෙල් 23 දා කෙසේ නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරවීමට උත්සාහ ගැනීම ය. බොරු තර්ක ගෙන ඒමේ වාසිය මෛත්‍රිපාලට ය. එහෙත් මෙහි දී වැදගත්වන අනෙක් සාධකය වූ ඉන්දියාව  කිනම් පියවරක් ගනියි ද? ඔවුන් ගන්නා පියවර දෙමළ ජාතිවාදය සමග බැඳී ඇත. 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 26

අමරතුංග මහතා සාපේක්ෂතාව පිළිගනියි (විදුසර ලිපියකි)

අමරතුංග මහතා සාපේක්‍ෂතාව පිළිගනියි

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමාගේ ම වූ මතයක්, අදහසක් ඉදිරිපත් කරන බවක් අපට කියයි. මේ අදහස ඊනියා විද්‍යාත්මක ප්‍රවාදයක් ද යන්න ඔහු අපට පවසන්නේ ද? එය පංචෙන්ද්‍රිය ගෝචර පරීක්‍ෂණවලින් තහවුරු කළ හැකි ද? පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම්වලින් තොර ලෝකයක් නැති කාලෝ ෆොන්සේකා මහතා අමරතුංග මහනතාගේ නව අදහස පිළිගන්නේ ද?

Wednesday, 25 February 2015

ඉදිරි මැ තිවරණයේ තීරකය ජතිකත්වය්යි

 ඉදිරි මැතිවරණයේ තීරකය ජාතිකත්වයයි

අද (පෙබරවාරි 25) ජ වි පෙරමුණේ අනුර කුමාර දිසානායක නුවර දී පවත්වන ලද කතාවකින් ඔහු ජාතිවාදීන් යැයි හඳුන්වන්නන්ට හොඳ හැටි බැට දී ඇතැයි වාර්තා වෙයි. එසේ ම අප්‍රියෙල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසිරුවා නොහැර ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කතාකරන්නන් ද ඔහු අතින් විවේචනය වී ඇත.  කටහඬ අනුරගේ වුවත් චින්තනය රනිල් වික්‍රමසිංහගේ ය, නැත්නම් රවි කරුණානායකගේ ය. ඒ කාගේ වුවත් ජ වි පෙ නායකයන් දැන් මැදිවියේ පසුවුව ද, ජ වි පෙරමුණ එක්සත් ජාතික පක්‍ෂයේ තරුණ සංවිධානය බවට පත් වී අවසන් ය. 

ඊනියා ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අනුර කුමාර අතින් විවේචනය වන්නේ ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය බව පැහැදිලි ය. මේ නායකයෝ තම වැරදි වසාගැනීමට හෝ වෙනත් හේතුවකට හෝ ඇමතිකම් ලබාගෙන ජාතික ආණ්ඩුවක් යැයි කියන මගඩියක තවත් අවුරුද්දක් හෝ දෙකක් හෝ කල්ගත කිරීමට උත්සාහ දරති. එ ජා පක්‍ෂයේ සිරකරුවකු බවට පත් වී සිටින මෛත්‍රිපාල සිරිසේන කැබීනට් මණ්ඩලයේ තම ශක්තිය වැඩිකර ගැනීම සඳහා එවැනි ඊනියා ජාතික ආණ්ඩුවක් පත්කර ගැනීමට කැමතිවනු ඇත. එවැනි ආණ්ඩුවක් පිහිටුවීම නම් වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමකි. 

මහින්ද රාජපක්‍ෂගේ දෑත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවක් එකල නො වී ය. බොහෝ දෙනා ආණ්ඩුවට එකතු වූයේ තම තමන්ගේ දෑත් ශක්තිමත් කර ගැනීමට ය. එහෙත් ඔවුන් කීවේ ජනාධිපති දෑත් ශක්තිමත් කිරීමට යන බවකි. එහෙත් දැන් නම් මෛත්‍රිපාල සිරිසේනගේ දෑත් ශක්තිමත් කිරීමට අවශ්‍ය වී ඇත.  රනිල් හා අනුර කුමාර ඒ සඳහා සහාය නොදෙන බව පැහැදිලි ය. මෛත්‍රිපාලගේ කෙසේ වෙතත් රනිල්ගේ දෑත් ශක්තිමත්ව කිරීමට අනුර කුමාරට අරලිය ගහ මන්දිරයෙන් කාමරයක් ලැබී ඇතැයි කියැවෙයි. 

එහෙත් මේ සියල්ලට ම වඩා වැදගත් වන්නේ අද ඊනියා ජාතිවාදීන්ට එරෙහිව කරන උද්ඝෝෂණය ය. රනිල් වික්‍රමසිංහ මෛත්‍රිපාල සිරිසේන සමග එකතු වී ඊනියා ජාතිවාදයට එරෙහිව රැළියක් පැවැත්වීමට යන බව කියැවෙයි. ඉතා පැහැදිලිව මේ පසුගිය 18 වැනි දා නුගේගොඩ පැවති රැළියට පිළිතුරකි. එසේ පිළිතුරු රැළි පැවැත්වෙන බව අපි කල්තබා ම කීවෙමු. එසේ කීමෙන් අපි ගෞරවයක් බලාපොරොත්තු නො වෙමු. දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බොහෝ අය පිළිතුරු රැළි ගැන සිතන්නට ඇත. 

පසුගිය ජනාධිපතිවරණයේ දී ද මතුවීමට තිබුණේ ජාතිකත්වය ය. අපි ඒ බව සංධානයට කීවෙමු. එහෙත් එහි ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවූවෝ අවසන් සතිය දක්වා ම ජාතිකත්වය අමතක කළහ. ඒ අතර සිදුවූයේ ජාතිකත්වය අමතක කර ඊනියා දුෂණය ගැන කතාකිරීමට එ ජා ප ප්‍රචාරකයන් ඉදිරිපත් වීම ය. අවුරුද්දකට වැඩි කලක් තිස්සේ එ ජා ප මේ ප්‍රචාරය ගෙන ගියේ ය. එහි දී ඔවුන්ට ඇමරිකාව ප්‍රමුඛ  (ප්‍රශ්නය ඇති කළේ එංගලන්තය වුවත් අද එය මෙහෙයවන්නේ ඇමරිකාව ය) බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ සහාය නොමඳ ව ලැබිණි. ඉන්දියාවේ උගත් රෝ ඔත්තු සේවයට වැඩ කරන සිංහලයෝ මෙහි දී විශේෂයෙන් යොදාගනු ලැබිණි. මේ එකකු මා හමුවීමට ද පැමිණියේ කොටින්ට විරුද්ධව රණවිරුවන් කළ මෙහෙයුම් ඔහු ඉන්දීය දෘෂ්ටි කෝණයකින් විස්තර කර ලියූ පොතක් ද රැගෙන ය. විය යුතු පරිද්දෙන්ම මම ඔහු ගෙදරින් එළවා දැමුවෙමි.  

සිංහල ජාතිකත්වය හා සිංහල බෞද්ධ චින්තනය (මෙය අමරසේකරගේ ජාතික චින්තනයෙන් වෙනස් බව දැන්වත් පාඨකයා දැනගත යුත්තේ අවුල් සහගත ව නොසිතීමට ය) විස්තර කරන ලිපි ඉදිරියේ දී තව තවත් ලිවීමට බලාපොරොත්තුවෙමි. එහෙත් කිව යුත්තේ බටහිර හා ඉන්දීය ගැත්තන් කෙසේ කීව ද සිංහලයන්ගේ ඡන්දවලින් 65%ක් හෝ සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් 70%ක් හෝ ගත්තේ නම් මහින්ද රාජපක්‍ෂට ජනාධිපතිවරණය ජයගැනීමට තිබුණු බව ය. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද එය දැන සිටියහ. එබැවින් ඔවුන්ට අවශ්‍ය වූයේ 65% අඩුකිරීම ය. ඒ සඳහා ඔවුහු වෙනසක් අවශ්‍යය, දූෂණයට එරෙහි විය යුතු ය, ඊනියා සාධාරණ සමාජයක් බිහිකළ යුතුය, ඊනියා යහපාලනයක් ඇතිකළ යුතු ය, ඊනියා පිවිතුරු හෙටක් උදාකළ යුතු ය ආදී සිහින ඡන්දදායකයා, විශේෂයෙන් ම තරුණ ඡන්දදායකයා හමුවේ තැබූහ. එහි දී ඔවුහු, විශේෂයෙන් ම බටහිරයෝ , සයිබර් අවකාශය යොදාගත්හ.

ජ වි පෙරමුණේ මිනීමැරුම්, බටලන්ද, වයඹ පළාත් සභා ඡන්දය, වෝටර්ස් ගේට් ආදී කිසිවක් ගැන පමණක් නොව කොටි බෝම්බ ගැන ද නොදත් තරුණ තරුණියෝ ජාතිකත්වය පිළිබඳ අවබෝධයක් නැතිව මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය දුන්හ. මහින්ද රාජපක්‍ෂට ලැබුණු සිංහලයන්ගේ ඡන්දය 58%ක් පමණ විය. එය 65%ට වඩා අඩු විය. බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ජයග්‍රහණය වූයේ 65%, 58% දක්වා අඩුකිරීම ය. 

ඉදිරි මැතිවරණයේ ද ීඑය එසේ ම සිදු නොවන බව මෛත්‍රිපාල කෙසේ වෙතත් රනිල් දනියි. එබැවින් එහි දී ජාතිකත්වය තීරක බලය වීම වැළැක්වීමට රනිල් බටහිරයන්ගේ ද ඉන්දියානුවන්ගේ ද සහාය ඇතිව දැන් සිට ම සූදානම් වෙයි. අසාද් සාලි කී අයුරින් නොව නුගේගොඩ රැස්වීමේ බෞද්ධ කොඩි නො වී ය. එහෙත් එහි ජාතික කොඩි ද මහින්ද රාජපක්‍ෂගේ ඡායාරූප ද විය. පැහැදිලිව ම අද මහින්ද රාජපක්‍ෂ සිංහල ජාතිකත්වයේ සංකේතය වෙයි. නුගේගොඩ රැස්වීම අහවල් පක්‍ෂයක හෝ අහවල් පුද්ගලයකුගේ රැස්වීමක් නො විය. එය වත්මන් යුගයේ ජාතිකත්වයේ රැස්වීම විය.

රනිල් ද බටහිරයෝ ද ඉන්දියානුවෝ ද  ඒ බව දනිති. රනිල් අද ජාතිකත්වයට බිය වී ඇත. ඔහු ජාතිකත්වය වෙනුවෙන් යම් ප්‍රමාණයකට වුවත් පෙනී සිටින ජනමාධ්‍ය මර්දනය කිරීමට සැරසෙන්නෙත් නුගේගොඩ ජාතිකත්ව රැස්වීමට විරුද්ධව ඊනියා ජාතිවාදී නොවන රැස්වීම් සංවිධානය කරන්නේත් එබැවිනි. 

නලින් ද සිල්වා 

2015 පෙබරවාරි 25  

රනිල් පික්පොකෙට් අගමැති කෙනෙක්

රනිල් පික්පොකට් අගමැති කෙනෙක්

රනිල් වික්‍රමසිංහ අගමැති වී ඇත්තේ නීත්‍යානුකූල ව නොවේ. ඔහු අගමැතිකම ගැටකැපූ අයෙකු බව පැහැදිලි ය. මේ ආණ්ඩුව නී්‍යානුකූල ද යන මැයෙන් කලින් පළවූ ලිපියක් සුළු සංශෝධන සහිත ව නැවත පළකරන්නේ ඇතැමුන්ගේ ඉල්ලීම පරිදි ය. 

අප මේ වෙබ් අඩවියෙහි කිහිප විටක් ම සඳහන් කර ඇත්තේ පසුගිය ජනවාරි 8 වැනි දා පවත්වන ලද්දේ ජනාධිපතිවරණයක් මිස මහා මැතිවරණයක් නොවන බව ය. ජනතාව ඡන්දය දුන්නේ ජනාධිපතිවරයකු පත්කර ගැනීමට මිස අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීමට නො වේ. එහෙත් කිසිවකු, විශේෂයෙන් තමන් සියල්ල දන්නේ යැයි සිතන ඊනියා පක්‍ෂ නායකයන් ඇතුළු ඇතැම් දේශපාලනඥයන්, බියගුළු ඇතැම් නීතිඥයන් ආදීන් අප කියන කරුණු සතපහකටවත් මායිම් නොකරණ බව පැහැදිලි ය. දහදෙනකු සිටින පක්‍ෂයක ඊනියා පක්‍ෂ නායකයන් ද සිතන්නේ තමන් කියන දෙයට සෙසු අය සවන් දිය යුතු බවත් තමන් අප වැන්නන්ට සවන් දීමට අවශ්‍ය නැති බවත් ය. ඔවුන් වෙනුවෙන් මේ වෙබ් අඩවිය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නැති වුවත් මේ කරුණු ඉතා සුළු පිරිසකට වුවත් වැඩදායක වේ යැයි සිතන බැවින් තව ටික කලකට ලිවීමට අදහස් කරමි. 

පහත දැක්වෙන්නේ නීතිඥයකු හෝ දේශපාලනඥයකු හෝ නොවන මට හැඟෙන දේ ය. ඒ වැරදි විය හැකි ය. එහෙත් ඒ අදහස් ගැන සාකච්ඡාවක් නොවීම කණගාටුදායක ය. මේ ලිපිය ලිවීමට නිමිත්ත වූයේ ජෝන් අමරතුංගට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට රනිල් වික්‍රමසිංහ කරන තර්ජනය ය. මම ඇතැම් පඬියන් මෙන්  ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝග ගෙන ආ යුතු යැයි නො කියමි. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැනි දෝෂාභියෝගයක් ගෙන ඒමට අවශ්‍ය ඡන්්ද ප්‍රමාණය නැත. එහෙත් මේ පඬියන් සිතන්නේ ව්‍යවස්ථාව කියවීමට අවශ්‍ය නැති බවත් සාමාන්‍ය බුද්ධියෙන් සියල්ල කරගත හැකි බවත් ය. මේ අයට ඇත්තේ ඉතාමත් සාමාන්‍ය බුද්ධියක් බව පැහැදිලි ය.

අද තිබෙන ආණ්ඩුව, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පත්කරනු ලැබුයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසිනි. කැබිනට් මණ්ඩලය පත්කිරීම, විසුරුවා හැරීම ගැන කියැවෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 43, 44, 47, 48, 49 වැනි ව්‍යවස්ථාවල ය. කැබිනට් නොවන ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් ගැන 45 හා 46 වැනි ව්‍යවස්ථාවල සඳහන් වෙයි. මේ එක් ව්‍යවස්ථාවකවත් එක් ජනාධිපති කෙනකු නායකත්වය දරණ කැබිනට් මණ්ඩලයක් තිබිය දී  වෙනත් ජනාධිපතිවරයකු පත්වුවහොත් ක්‍රියා කළ යුත්තේ කෙසේ දැයි සඳහන් නො වේ. නව ජනාධිපතිවරයකු පත් වූ පමණින් කැබිනට් මණ්ඩලය අහෝසි වන බව හෝ විසුරුවා හැරෙන බව හෝ ව්‍යවස්ථාවෙහි සඳහන් නො වේ. එහෙත් ඉතා පැහැදිලිව 49 (1) ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ අගමැති තම පදවිය දැරීමෙන් ඉවත් වුවහොත් ඒ සමග කැබිනට් මණ්ඩලය ද විසුරුවෙන බව ය. එහෙත් 43 (2) ව්‍යවස්ථාව යටතේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැරිණි ද ජනාධිපති තම  කාර්යයන්හි නිරත වෙයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි එක් ජනාධිපති කෙනකු ඉවත් වී (කෙරී) වෙනත් ජනාධිපතිවරයකු පත්වීමෙන් පසුව කැබිනට් මණ්ඩලය ඉවත්වෙන බව හෝ විසුරුවා හැරෙන බව හෝ සඳහන් නොවීමෙන් කියැවෙන්නේ තිබූ කැබිනට් මණ්ඩලය අගමැති ද සමගින් දිගට ම ක්‍රියාත්මක වන බව ය. ඒ සඳහා වෙනත් අර්ථකථනයක් දිය හැකි යැයි නො සිතමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමට හැක්කේ ශ්‍රෙෂ්ඨාධිකරණයට පමණ ය. එහෙත්  එය ඊනියා නිරපේක්‍ෂ වාස්තවික අර්ථනිරූපණයක් නොවන බව පමණක් කිව හැකි ය. ඒ සියල්ල සාපේක්‍ෂ වන බැවිනි. 

වත්මන් ජනාධිපති පත්වීමෙන් පසු කැබිනට් මණ්ඩලය හෝ අගමැති හෝ අස් නො වී ය. එපමණක් නොව ඔවුහු අස්කරනු නො ලැබූහ. එයින් කියැවෙන්නේ වත්මන් ජනාධිපති  දිවුරුම් දීමෙන් පසුව ද  කැබිනට් මණ්ඩලය දිගට ම ක්‍රියාත්මක වූ බව ය. සිදු වූ එකම වෙනස වූයේ කැබිනට් මණ්ඩලයේ නායකත්වයට වෙනත් අයකු පත්වීම පමණ ය. 

43 (3) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි යැයි තමා සිතන පුද්ගලයාව අගමැති ලෙස පත්කළ හැකි ය. මම එයට අභියෝග නොකරමි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු නො වේ. එහෙත් එසේ පුද්ගලයකු අගමැති ලෙස පත්කළ හැක්කේ අගමැති ධුරය හිස්ව පවතින්නේ නම් පමණකි. එසේ වුවත් නව ජනාධිපති එම පදවියේ දිවුරුම් දෙන විට (ඒ සියල්ල නීත්‍යානුකූල ව සිදුවිණි යැයි උපකල්පනය කරමින්) අගමැතිවරයෙක් සිටියේ ය. කැබිනට් මණ්ඩලයක් ද ක්‍රියාත්මක විය. එවිට ජනාධිපතිට 43 (3) ව්‍යවසාථාව යටතේ වෙනත් අයකු අගමැති ලෙස පත්කළ නො හැකි ය. කඩිමුඩයේ අගමැති කෙනකු පත්නොකර ජනාධිපති කළ යුතුව තිබුණේ පළමුව 47 (අ) ව්‍යවස්ථාව යටතේ දි මු ජයරත්න අගමැති ධුරයෙන් ඉවත් කිරීම ය. එසේ නොකළ බැවින් ඔහු අදටත් නීත්‍යානුකූල අගමැති වන අතර අනෙක් ඇමතිවරු නීත්‍යානුකූල ව තමන් දැරූ තනතුරු දරති. එසේ ඉවත් නොකර පත්කරන ලද අගමැති නී්‍යානුකූල වන්නේ කෙසේ ද?

දැන් යමකුට තර්ක කළ හැක්කේ 44 (1) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට කලින් කලට ඇමති ධුර සංඛ්‍යාව නියම කර අමාත්‍යාංශ වෙන්කර ඇමතිවරුන් පත්කිරීමට ප්‍රතිපාදන ඇති බව ය. එහෙත් එසේ කළ හැක්කේ නීත්‍යානුකූල ව පත්කරන ලද අගමැතිවරයකු සිටින විට ය.   ඒ ව්‍යවස්ථාව යටතේ ඇමතිවරුන් පත්කිරීමේ දී  අගමැති විමසුවත් නැතත් අගමැතිවරයකු සිටිය යුතු ය. එහෙත් ජනාධිපති අගමැති ලෙස පිළිගත්තේ නී්‍යානුකූල අගමැති දි මු ජයරත්න නොව ඔහු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව පත්කරන ලද පුද්ගලයකු ය. ඒ පිළිගැනීම ම වැරදි ය. එබැවින් ජනාධිපති විසින් පත්කරන ලද ඇමතිවරු ද නීත්‍යානුකූල නැත.

ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකයන් නොවන්නට මේ වන විටත් රනිල් සහ අනෙක් ඇමතිවරුන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ඔවුන් ඇමති ධුරවලින් ඉවත්කර සංධාන ආණ්ඩුවක් පිහිටුවා අවසන් ය. 

නලින් ද සිල්වා 

2005 පෙබරවාරි 25 


Tuesday, 24 February 2015

රායප්පු ජෝෆ්ගේ පෙළපාලිය

රායප්පු ජෝසෆ්ගේ පෙළපාලිය

එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම මාර්තුවේ දී ජෙනීවා සැසියට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබූ ලංකාවේ මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ වාර්තාව සැප්තැම්බරයට කල් දැමීම පිළිබඳ විවිධ කතා දේශපාලන ක්‍ෂෙත්‍රයෙහි අසන්නට ලැබෙයි. ප්‍රධාන වශයෙන් ම එ ජා පක්‍ෂයට හා ජ වි පෙරමුණට සම්බන්ධ භික්‍ෂූන් වහන්සේලා අරලිය ගහ මන්දිරයට වඩම්මවා රනිල් වික්‍රමසිංහ කියා ඇත්තේ මානව අයිතිවාසිකම් කොමිසම ස්වෙච්ඡාවෙන් ම වාර්තාව ඉදිරිපත් කිරීම මාර්තුවේ සිට සැප්තැම්බරය දක්වා කල් දමා ඇති බව ය. 

දේශපාලනයේ දී බොරු කීම සාමාන්‍යය වෙයි. එහෙත් වාර්තාව කල්දැමීම ගැන අපි ද කාලයක සිට කතා කළෙමු. එය කල් දමන බව අපි ඒ දිනවල ම කීවෙමු. (ජෙනීවා මානව හිමිකම් වාර්තාව කල් දමයි ලිපිය හා තවත් ලිපි කියවන්න) අපට ලැබුණු තොරතුරු අනුව ජයන්ත ධනපාල පසුගිය මාසයක පමණ කාලයක් එය කල්දමා ගැනීම පිළිබඳ සාකච්ඡා කර ඇත. සමහර විට ඒ සාකච්ඡා ගැන රනිල් වික්‍රසිංහ නොදැන සිටින්නට ඇත! මංගල සමරවීර නම් මේ සම්බන්ධව ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජොන් කෙරී සමග ඒ ගැන කතා කරන්නට නැත. මංගල කතා කරනු තබා තම ස්වාමියා සමග එකට හිටගෙන සිටියේත් මහත් අපහසුවෙනි. සිංගප්පූරුවේ විදේශ ඇමති සමග විහිළු තහළු කළ මංගල කෙනකු කෙරී ඉදිරියේ දැකගත නොහැකි විය. එසේ වුවත් මංගල ද වෙනත් අය සමග ඒ ගැන කතාකර ඇති බව පැහැදිලි ය. ඔවුන් ඒ සාකච්ඡා ගැන රනිල්ට නොකියන්නේ ඇයි ද යන ප්‍රශ්නය නම් නොඅසා සිටීමට නො හැකි ය. රනිල් ඇත්ත කියන පුද්ගලයෙකි1

ඒ කුමක් වුවත් ලංකාවේ ඉල්ලීමට බටහිරයන් එකඟ වී වාර්තාව ගෙන ඒම මාස හයකින් කල්දමා ඇති බව පැහැදිලි ය. ඒ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණයේ දී එ ජා පක්‍ෂයට වාසි ලබා ගැනීමට ය. එ ජා පක්‍ෂයේ විදේශ ප්‍රතිපත්තියේ හොඳකම නිසා ම එය කල් දැමුණු බව රනිල් ට පැවසිය හැකි ය. එහෙත් එය කල් දැමුවේ ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට ලංකාණ්ඩුව එකඟ වූ බැවිනි. ආණ්ඩුව ඒ බව ප්‍රතික්‍ෂෙප කරනු ඇත.

මේ ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණය එතැනින් නොනවතින බව ද අපි කීවෙමු. එය ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයකින් ම කෙළවර වනු ඇත. අද මේ පරීක්‍ෂණ සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන් අතර ප්‍රධාන වශයෙන් මත දෙකක් ඇත. සුමන්තිරන් (ඔහුට අනුව ඔහු සමාජවාදියෙකි) ඇතුළු පිරිසක් කියා සිටින්නේ හුදු අභ්‍යන්තර පරීක්‍ෂණයක් ප්‍රමාණවත් නොවන බව ය. ඔවුන්ට ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂකයන් (විනිශ්චයකරුවන්) ද එයට සහභාගි කරවා ගැනීමට අවශ්‍ය වෙයි. එහෙත් විසුරුණු දෙමළ ජනයා එයට ද අකමැති වෙති. ඔවුන්ට අවශ්‍ය වනුයේ මුළුමනින් ම ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයකි. ඔවුහු වාර්තාව ඉදිරිපත් කිරීම කල් දැමීම ගැන විරුද්ධ වෙති. අප කලින් ලිපියක සඳහන් කළ පරිදි ම බටහිර රටවල් විසිරුණු දෙමළ ජනයාට කන් නොදී වාර්තාව ගෙන ඒම කල් දැමීමෙන් පෙන්නුම් කරන්නේ බටහිර රටවල් විසුරුණු දෙමළ ජනයාට අවශ්‍ය ආකාරයෙන් ම කටයුතු නොකරන බව ය. 

රායප්පු ජෝසෆ්ගේ පෙළපාලිය යාපනය විශ්වවිද්‍යාලයේ සිට නල්ලුර් කෝවිල දක්වා ගමන් ගෙන ඇත්තේ වාර්තාව කල් දැමීමට විරෝධය පෑමටත් ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ ව ජාත්‍යන්තර කොමිසමක් ලබාගැනීමටත් ය. රනිල්ට අනුව රායප්පු ජෝසෆ්ලා ජාතිවාදියෝ නො වෙති. ඔහුට අනුව ජාතිවාදීන් ඇත්තේ සිංහලයන් අතර ය. රායප්පු ජාතිවාදයකු යැයි කිවහොත් බටහිරයන් හා ඔවුන් විසින් නඩත්තු කෙරෙන කසිකබල් පඬියන් ආණ්ඩුවට විරුද්ධ වනු ඇත. රායප්පු දේශප්‍රේමියෙකි! ඔහුට ජාතිවාදියා යැයි කියන්නෝ ම පමණක් ජාතිවාදීහු වෙති.

රායප්පු ජෝසෆ්ගේ පෙළපාලිය අද අමතක කෙරෙනු ඇත. එහෙත් නොබෝ කලකින් මැතිවරණයක් පවත්වා එ ජා පක්‍ෂය බලයට පත්වුවහොත් මේ වසර අවසාන වන විට ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වෙනු ඇත. රායප්පු ක්‍රියා කරන්නේ ඒ වෙනුවෙනි. ඇතැම් විට මේ සියල්ල තීර නාටකයකට අනුව සිදුවනවා ද විය හැකි ය. බටහිරයන්ට ද දෙමළ ජාතිවාදීන්ට ද පඬියන්ට ද රනිල්ලාට ද නින්ද යන්නේ මහින්ද හා ගෝඨාභය දංගෙඩියට දැක්කවීමෙන් පසුව ය. 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 24


රනිල්ට චන්දය දුන්නේ කවු ද?

රනිල්ට ඡන්දය දුන්නේ කවු ද?

රනිල් වික්‍රමසිංහ පසුගිය දා කියා තිබුණේ තමාට අගමැති වීම සඳහා ජනතාව ඡන්ද හැට දෙලක්‍ෂයක් දී ඇති බව ය. ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ 2005 පැවැත්වූ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ දිනුවේ කොටි සංවිධානය එහි දී ඡන්දය දීම වර්ජනය කළ නිසා බව ය. ඉන්පසු ඔහු මහින්ද රාජපක්‍ෂට අභියෝග කර ඇත්තේ හැකි නම් මහා මැතිවරණයට ඉදිරිපත් වී තමා පරාජය කර අගමැති වීමට ය. 

රනිල් වික්‍රමසිංහ අද වියරුවෙන් මෙන් කතා කරන්නේ , හැසිරෙන්නේ තමන් නීත්‍යානුකූල ව අගමැති නොවන බව දන්නා නිසා ය. ඔහු සිංහල ජාතිකත්වයට මූලික වශයෙන් විරුද්ධ ය. එබැවින් සිංහල ජාතිකත්වයට යම් ආකාරයකින්වත් පක්‍ෂව කටයුතු කරන රිවිර හා දිවයින පුවත්පත් මර්දනය කිරීමට ඔහුට අවශ්‍ය වෙයි. පාර්ලිමේන්තු මැතිවරණයක දී ඔහුගේ සිංහල ජාතිකත්ව විරෝධයට ජනතාව එරෙහි  වන බව ඔහු දනියි. ඔහු මහින්ද රාජපක්‍ෂට අභියෝග කරන්නේ මෛත්‍රිපාල සිරිසේන පික් පොකට් ගැසූ ශ්‍රී ල නි පක්‍ෂයෙන් මහින්දට නාම යෝජනා දීමට ඇති ඉඩ ඉතාමත් අඩු නිසා ය. 

රනිල්ට මහින්ද පැරදවිය හැකි නම් ඔහුට 2010 දී හා 2015 දී ජනාධිපතිවරණවලට ඉදිරිපත් වීමට තිබිණි. එහෙත් ඔහුට එය කළ නොහැකි බව දන්නා බැවින් ඔහු වෙනත් අයට ඒ අවස්ථාව ලබා දුන්නේ ය. සිංහලයන්ගේ ඡන්ද ඔහුට ලැබෙන්නේ  අඩු ප්‍රමාණයකිනි. ඔහු පවසන පරිදි 2005 දී ඔහු පැරදුණේ කොටි සංවිධානය ඡන්දය වර්ජනය කළ බැවිනි. එයින් කියැවෙන්නේ සිංහලයන් ඔහුට ඡන්දය අඩුවෙන් දෙන බව හා කොටි සංවිධානය ඡන්දය වර්ජනය නොකළේ නම් දෙමළ ඡන්ද ඔහුට ලැබීමට තිබුණු බව ය. ඔහුට සිංහල ඡන්ද ප්‍රතිශතයට වඩා දෙමළ ඡන්ද ප්‍රතිශතයක් ලැබෙයි. එසේ වන්නේ කුමක් හෙයින් දැයි රනිල් තේරුම් කරන්නේ ද?  

ඔහුට නොව පොළොන්නරුවේ ගොවියකුගේ පුතකු යැයි කියන මෛත්‍රිපාල සිිසේනටවත් සිංහල ඡන්ද වැඩි ප්‍රමාණයක් ලැබී නැත. මෛත්‍රිපාලට සිංහල ඡන්දවලින් ලැබී ඇත්තේ 42%ක් පමණ ය. අද මහින්ද සිංහල ජාතිකත්වයේ ඉහළ ම නියෝජිතයා වෙයි. ඔහු සමග අද සිංහල ඡන්ද සඳහා තරග කිරීමට වෙනත් කිසිම දේශපාලනඥයකුට නො හැකි ය. අප මෙයින් අදහස් කරන්නේ දෙමළ හා මුස්ලිම් ඡන්ද ප්‍රතික්‍ෂෙප කළ යුතු බව නො වේ. එහෙත් ඒ ඡන්ද ලබාගැනීමට බටහිරයන් හා ඉන්දියාව පසුපස ගොස් සිංහල ජාතිකත්වය පාවා නොදිය යුතු ය. අද මෙරට ජාතිවාදය නමින් රනිල් ඇතුළු එ ජා ප, පඬියන් හා අන් අය විසින් හැඳින්වෙන්නේ සිංහල ජාතිකත්වය පාවාදීමට විරුද්ධ වීූම ය.    

ඒ කෙසේ වෙතත් ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස  පාර්ලිමේන්තු මැතිවරණයක් නො වේ. එහි දී දි මු ජයරත්න වෙනුවට රනිල් අගමැති කළ යුතු ය යන්න යම් කිසිවකුගේ සිතේ තිබුණි නම් ඒ රනිල්ගේ විය යුතු ය. ජනවාරි 8 වැනි දා රනිල් අගමැති කළ යුතු බවට කිසිම වේදිකාවක හඬක් නො නැඟිනි. යම්කිසි අයුරකින් කිසිවකු එවැනි අදහසක් ප්‍රකාශ කළේ නම් නිසැකව ම මෛත්‍රිපාල පැරදීමට තිබිණි. 

තමා නීත්‍යානුකූල අගමැති නොවන බව රනිල් හොඳාකාරව ම දනියි. මෛත්‍රිපාල සිරිසසේන දිවුරුම් දුන් විගස ඔහු අගමැති ලෙස දිවුරුම් දුන්නේ දි මු ජයරත්නගේ අගමැතිකම පික්පොකට් ගැසීමට ය (මේ වෙබ් අඩවියේ පළ  වී ඇති මේ ආණ්ඩුව නීත්‍යානුකූල ද යන ලිපිය කියවන්න). තවමත් මේ රටේ අගමැති දි මු ජයරත්න ය. අද රනිල් අගමැති වී සිටින්නේ විධායක ජනාධිපති බලතලවලට හා ශ්‍රී ල නි ප ඉහළ නායකයන්ගේ නිවටකමට පින්සිිදුවන්නට ය. රනිල්ට අගමැති වීමට ජනතාව ඡන්දය දී නැත.      

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 24


Monday, 23 February 2015

ජාතික ආණ්ඩුවක් කුමකට ද?

ජාතික ආණ්ඩුවක් කුමකට ද?

පසුගිය දා කටුනායක පැවති ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්විමක දී ජාතික ආණ්ඩුවක් ඇති කර මැතිවරණය අවුරුද්දකින් කල් දැමිය යුතු ය යනුවෙන් යෝජනාවක් සම්මත වී ඇතැයි වාර්තා වෙයි. ඊනියා ජාතික ආණ්ඩුවේ වැදගත් ඇමතිධුර ශ්‍රී ල නි පක්‍ෂයටත් හිමි විය යුතු යැයි නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කර ඇතැයි ද ඒ සමග වාර්තා වෙයි. අලුතෙන් පත් වු සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයාගේ පුත් ඩිලාන් පෙරේරා ඕනෑම ඇමති ධුර කිහිපයක් භාර ගෙන ජාතික ආණ්ඩුවට එකතු විය යුතු බව කියා ඇතැයි ද සඳහන් වෙයි. මේ විවිධ පුද්ගලයන්ට තම තමන්ගේ න්‍යාය පත්‍ර මිස රටක් ජාතියක් ගැන හැඟීමක් නැති බව පැහැදිලි ය.

ජාතියක් ගැන හැඟීමක් නැති වුව ද ඔවුහු ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට  කතා කරති. ජාතික ආණ්ඩුවක් එක් පක්‍ෂයකට හෝ පක්‍ෂ කිහිපයක සංධානයකට හෝ සීමා නො වේ. එය ප්‍රධාන පක්‍ෂ සියල්ලේ ම ආණ්ඩුවකි. මේ පිහිටුවීමට යන ජාතික ආණ්ඩුවේ පක්‍ෂ කවරේ ද? එ ජා පක්‍ෂය හා මෛත්‍රිපාල සිරිසේන සභාපතිත්වය දරණ ශ්‍රී ල නි පක්‍ෂය හැරුණු විට ජාතික ආණ්ඩුවක හවුල් කාරයන් වන වෙනත් පක්‍ෂ කවරේ ද?   

ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුත්තේ ජාතික අවශ්‍යතාවක් ඇති විට ය. පිටරටක් සමග යුද්ධයක් ඇති අවස්ථාවක ජාතික ආණ්ඩුවක් පිහිටුවිය හැකි ය. එසේත් නැතහොත් පොදු ජාතික න්‍යාය පත්‍රයක් සකසා එය ක්‍රියාත්මක කිරීමට ජාතික ආණ්ඩුවක් පිහිටුවිය හැකි ය. ප්‍රභාකරන්ගේ කොටි ත්‍රස්තවාදින් පරාජය කිරීම සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත හැකිව තිබිණි. එහෙත් එ ජා පක්‍ෂය අඩුම තරමෙන් මානුෂීය මෙයෙවුම්වල යෙදුණු හමුදාව ධෛර්යමත් කරන අන්දමේ ප්‍රකාශයක් නිකුත් නො කළේ ය. ඔවුහු ඒ වෙනුවට හමුදාව හෑල්ලවට ලක් කළහ. 

එදා එසේ ක්‍රියා කළ එ ජා පක්‍ෂයට අද ජාතික ආණ්ඩුවක් අවශ්‍ය වී ඇත්තේ දෙමළ ජාතිවාදයේ ඉල්ලීම් තව තවත් දීමට බව පැහැදිලි ය. උතුරේ හා නැගෙනහිර හමුදා කඳවුරුවලින් ඉතා විශාල ප්‍රමාණයක් පසුගිය ආණ්ඩුව ආපසු ජනතාවට දී ඇති නමුත් තවමත් අධි ආරක්‍ෂිත කඳවුරු පවත්වාගෙන යන ඉඩම් වෙයි. වත්මන් ආණ්ඩුව මේ ඉඩම්වලින් අක්කර දාහක් පලාලේ කඳවුරු භූමියෙන් ජනතාවට යැයි කියමින් ආපසු භාර දී ඇත. මෙය පලාලේ කඳවුර ආරක්‍ෂිත ව පවත්වාගෙන යෑමට එරෙහි වූ ක්‍රියාවකි. 

පසුගිය දා රාජකීය විදුහලේ තමන් පිළිගැනීමේ උළෙලකට සහභාගි වූ රනිල් කියා සිටියේ තමන්ට අවශ්‍ය මුලු පාර්ලිමේන්තුව ම ආණ්ඩුව බවට පත් කිරීම බව ය. මේ අතර රනිල් පුවත්පත් දෙකකට හා එහි කතෘවරුන්ට තර්ජනය කර ඇත්තේ ඒ පුවත්පත් ජාතිවාදය අවුස්සන බවක් කියමිනි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ රනිල් විපක්‍ෂයක් නැතිකර ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට යන බව ය. එය ඉතා මර්දනකාරී ආණ්ඩුවක් වනු ඇත.

රනිල්ගේ ප්‍රතිපත්තිවලට දැනටමත් ජනතාවගේ විරෝධය පළ වී ඇත. නුගේගොඩ රැසිවීම මහින්ද අගමැති කිරීම සඳහා සංවිධානය කරන ලද්දක් පමණක් නො වේ. රනිල්ගේ විජාතික ප්‍රතිපත්තිවලට ද එරෙහි ව පවත්වන ලද රැස්වීමකි. ්

රනිල්ට විග්නේස්වරන් මහ ඇමති අවශ්‍ය වෙයි. එමෙන් ම දෙමළ නිදහස් සංධානය ද අවශ්‍ය වෙයි. ආණ්ඩුව දැනටමත් බටහිරයන් සමග දෙමළ ප්‍රශ්නය වෙනුවෙන් යම් ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වී ඇත. එහි දී ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක් සිදු කරන බවට එකඟතාවකට පත් වී ඇත. 

අද මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් ඇති ශ්‍රී ල නි පක්‍ෂයට අවශ්‍ය මහින්ද ගෙදර යැවීමට සහාය දී ඇමති ධුර කිහිපයක් ලබා ගැනීම පමණකි. ඒ ඇමති ධුරර භාර ගැනීම සඳහා ඩිලාන් පෙරේරා වැනි මන්ත්‍රීවරු ද සිටිති. වැඩිකල් නොගොස් ශ්‍රී ල නි පක්‍ෂයේ ඉහළ නායකත්වය රනිල්ගේ නායකත්වයෙන් ඇති ආණ්ඩුවකට පක්‍ෂය ද පක්‍ෂයට ඡන්දය දුන් ඡන්දදායකයන් ද පාවා දෙනු ඇත. එය ඉතා භයානක ප්‍රතිඵල රටට අත්කර දෙනු ඇත. 

ජාතිවාදී යැයි කියමින් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරන රනිල්ට අවශ්‍ය බටහිරයන්ගේ හා ඉන්දියාවේ බහට අවනත වී දෙමළ ජාතිවාදයේ ඉල්ලීම් ලබා දීමට ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරුණ ද දෙමළ ජාතිවාදය පරද්දා නැත. දෙමළ ජාතිවාදය පරාජය කරන තුරු රටේ ආරක්‍ෂාව ගැන ඉතා සෙවිල්ලෙන් සිටිය යුතු ය. අධිආරක්‍ෂිත කලාපවල ඉඩම් බෙදාදීමට වඩා රටේ ආරක්‍ෂාව වැදගත් වෙයි. එහෙත් රනිල් වික්‍රමසිංහට අවශ්‍ය දෙමළ ජාතිවාදයට කප්පන් ගෙවීම ය. එහි දී ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා විරුද්ධ පක්‍ෂය නැති කිරීමටත් තම කප්පන් ප්‍රතිපත්තිය විවේචනය කරන රිවිර හා දිවයින වැනි පුවත්පත් දරුණු පාලනයකට යටත් කිරීමටත් ඔහුට අවශ්‍ය වෙයි.  නිමල් සිරිපාලලා මේ වැඩ පිළිවෙළට එක පයින් කැමති වනු ඇත. 

මේ පිහිටුවීමට යන්නේ බටහිරයන්ගෙන් හා ඉන්දියාවෙන් රට  ගලවා ගෙන දෙමළ ජාතිවාදය පරාජය කරන ජාතික ආණ්ඩුවක් නොව බටහිරයන්ට හා ඉන්දියාවට යටත් ව දෙමළ ජාතිවාදයට කප්පන් ගෙවන විජාතික ආණ්ඩුවකි. දිවයිනට හා රිවිරට තර්ජනය කරන රනිල් යාපනයේ පළවන දෙමළ ජාතිවාදයට පක්‍ෂපාති පුවත්පත් පළ කිරීමට විරුද්ධ නැත. රනිල් ජාතිවාදය, ජාතික ආණ්ඩුව යනුවෙන් හඳුන්වන්නේ කුමක් දැයි පළමුව ජනතාවට ප්‍රකාශ කළ යුතු ය. 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 23

මෛත්‍රීගේ තර්ජනය

මෛත්‍රීගේ තර්ජනය

රනිල් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරන අතර මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා කටුනායක හෝටලයක පැවැත් වූ වැඩමුළුවක දී ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට තර්ජනය කර ඇත. රනිල්ට අනුව අදාළ පුවත්පත් කතුවරුන් මහින්ද රාජපක්‍ෂගේ වැසිකිළි සෝදා ඇත.  ඔහු එහි දී සක්කිළි යන වචනය ද යොදා ගෙන ඇත්තේ එක් ජනවර්ගයකට එයින් අපහාසයක් වන බව නො දැන ද? ඒ කෙසේ වෙතත් මෛත්‍රිපාල නුගේගොඩ රැස්වීමට ගිය ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන්ට තරයේ බැණ වැදී ඇත. ඔහු පක්‍ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්තට හා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට පක්‍ෂයේ සාමාජිකයන්ට නුගේගොඩ රැස්වීමට සහභාගි වීම තහනම් කිරීම සඳහා කොන්දක් තිබී නැතැයි කියා ඇත.

අගමැතිකම ගැන කතාකරන්නේ තමන්ට අගමැතිකම නොදුන් බව අමතක කරමින් ද යන ප්‍රශ්නය මෛත්‍රිපාලගේ මුවින් පිට වී ඇත. ඒ අතර වෙල්ගම නුගේගොඩ රැස්වීමට බස් විස්සක් යැවීම ගැන ද ඔහු සඳහන් කර ඇත. මෛත්‍රිපාල මන්ත්‍රී වෙල්ගමට දොස් කියන අතර රනිල් වෙල්ගමගේ සොයොයුරාට අයත් දිවයින පුවත්පතට තර්ජනය කළේ ය. 

කටුනායක දී සම්මත කරගත් යෝජනාවකට අනුව 2016 අපියෙල් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින ලෙසත් එතෙක් ඇමතිවරුන් පනහකගෙන් පමණ සමන්විත ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් පිරිසකට ද ඇමතිකම් ලබා දෙන ලෙසත් ඉල්ලා ඇත. 

මේ සියළු තර්ජනවල, යෝජනාවල ඇත්තේ එක් අරමුණකි. එනම් මහින්ද රාජපක්‍ෂ සදහට ම දේශපාලනයෙන් ඉවත් කිරීම ය. මෙය රනිල්ගේ හා මෛත්‍රීපාලගේ අවශ්‍යතාවක් පමණක් නොව බටහිරයන්ගේ ද ඉන්දියාවේ ද අවශ්‍යතාව වෙයි. ඒ පිටුපස දෙමළ ජාතිවාදය පෝෂණය කර සිංහල ජාතිකත්වයට එරෙහිව යොදා ගැනීමත් චීනයට ඇති විරුද්ධතාවත් වෙයි. චීනයේ මුහුදු සේද මාර්ගය නැවත්වීම හා චීනයට එරෙහිව ඉන්දියාව ඉදිරියට ගෙන ඒම චීන විරුද්ධතාවට මුල වෙයි. අද ඉන්දියාව පැහැදිලිව ම තම අවශ්‍යතා සඳහා මෛත්‍රිපාල යොදා ගනියි.

මේ තත්ත්වය හමුවේ මහින්ද මෛත්‍රී එකතුවක් බලාපොරොත්තු විය නො හැකි ය. අද මෛත්‍රිපාලගේ නායකත්වය යටතේ ශ්‍රී ල නි පක්‍ෂය එ ජා පක්‍ෂයේ අතකොළුවක් බවට පත්වෙමින් ඇත. ශ්‍රී ල නි පක්‍ෂ වත්මන් නායකත්වයට මහින්ද රාජපක්‍ෂ මුළුමනින් ම දේශපාලනයෙන් අතුගා දැමීමට අවශ්‍ය වුවත් රටේ තත්ත්වය සම්පුර්ණයෙන් ම වෙනස් ය. එය නිරූපණය වන්නේ පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් මිස තම පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ආරක්‍ෂා කර ගැනීමට බලාපොරොත්තුවන මන්ත්‍රීවරුන්  සුළු පිරිසකගෙන් නො වේ. මෛත්‍රිපාලට මේ සුළු පිරිසට තර්ජනය කළ හැකි ය, අවශ්‍ය නම් එ ජා ප සමග එකතු වී ප්‍රසන්න රණතුංග මහඇමතිකමෙන් ඉවත් කළ හැකි ය. 

මෛත්‍රිපාලට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය දිය කර හැරීම බව පැහැදිලි ය. ඔහුට අගමැතිකම නොදීම ගැන මහින්ද රාජපක්‍ෂ ගෙදර  යැවීමට හා දංගෙඩියට යැවීම ගැන සිහින මවන මෛත්‍රිපාල තම වෛරය පාලනය කරගත  නොහැකි ව පක්‍ෂය ම දියකර හැරීමේ මාවතකට යොමු වී ඇත. ශ්‍රි ල නි පාක්‍ෂිකයන්ට පස්සා දෙරෙන් පත් වූ පක්‍ෂ සභාපති ඉවත් කිරීමට කාලය පැමිණ ඇත. 


නලින් ද සිල්වා

2015 පෙබරවාරි 23

Sunday, 22 February 2015

රනිල් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරයි

රනිල් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරයි

රනිල් වික්‍රමසිංහ අඩු තරමෙන් මෙරට නීත්‍යානුකූල අගමැතිවත් නො වේ. අප ඉතා පැහැදිලිව කිහිප වතාවක් ම මෙම වෙබ් අඩවියෙන් පවසා ඇත්තේ ජනවාරි 8 වැනි දා පවත්වනු ලැබුයේ ජනාධිපතිවරණයක් මිස මහාමැතිවරණයක් නොවන බව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ජනාධිපතිවරණයකින් හිටපු ජනාධිපති වෙනුවට වෙනත් ජනාධිපති කෙනකු පත්වූ විට අගමැති හා කැබිනට් මණ්ඩලය වෙනස්වන බවක් සඳහන් නො වේ. සිදුවන්නේ නව ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කැබිනට් මණ්ඩලයට එකතු වීම පමණකි. අගමැති වෙනස්වීමක් අස්වීමක් ගැන සඳහන් නොවන බැවින් අනෙක් කැබිනට් ඇමතිවරුන්ගේ ද වෙනසක් නො සිදුවෙයි. අදටත් නීත්‍යානුකූල අගමැති දි මු ජයරත්න ය. 

එසේ වුවත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ නිකුත් කරන්නේ තමා ජනාධිපති ලෙස සලකමිනි. වාර්තා වී ඇති අන්දමට කුරුණෑගල පැවති රැස්වීමක දී ඔහු කියා ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මෙන් ඔහු පුවත්පත් කතුවරුන් මුණගැසීමක් නොකරන බව ය. මහින්ද රාජපක්‍ෂ මෙන් මුණගැසීමට රනිල් ට නොහැක්කේ ඔහු ජනාධිපති නොවන නිසා ය. එසේ කළ හැක්කේ මහින්දට පමණ ය. ඒ කෙසේ වෙතත් රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට විටෙක තර්ජනය කරයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ඇත්තේ ජනාධිපතිට පමණක් බව ඔහු නො දන්නේ ද? 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකමින් ක්‍රියාකරන රනිල් ජාතිවාදය අවුස්සන්නේ යැයි කියමින් ඉරිදා දිවයින පුවත්පතටත් එහි කතෘ අනුර සොලමන්ස් මහතාටත් ඉරිදා රිවිර පුවත්පතටත් එහි කතෘ සිසිර පරණතන්ත්‍රී මහතාටත් තර්ජනය කර ඇත්තේ නමින් ම ය. රනිල් මේ අවසාන වතාව බවත් පුවත්පත් හිමියන් ගෙන්වා කටයුතු කරන බවත් ප්‍රකාශ කර ඇත. ඔහු කරන්නට යන්නේ කුමක් ද යන පැහැදිලි ය. 

මගේ ලිපි ඉරිදා දිවයින පුවත්පතෙහි පළ නොවීම පිළිබඳ මට කුකුසක් ඇති වී තිබිණි. අද පුවත්පත් නිල නොවන වාරණයකට යටත් ව ඇති බවට සැකයක් තිබිණි. රනිල්ගේ කුරුණෑගල ප්‍රකාශයෙන් එය තහවුරු වෙයි. මේ පුවත්පත් ජාතිවාදය අවුස්සන්නේ ය යන්නෙන් රනිල් අදහස් කරන්නේ කුමක් ද? මේ පුවත්පත් දෙකම එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ වැඩුණු පුවත්පත් ය. රණසිංහ මහතා මා දන්නා ආකාරයට එ ජා ප නිල පුවත්පත වූ සියරට පත්‍රයෙහි ද කතෘ ධුරය දැරී ය. 

එහෙත් රණසිංහ මහතා එ ජා පක්‍ෂයේ සාමාජිකයකු ව සිටියේ යැයි මම නො සිතමි. කෙසේ වෙතත් ඒ මහතාට එ ජා පක්‍ෂයට හා එහි නායකයන්ට නැති ජාතිකත්වයක් තිබුණේ ය. රිවිර හා දිවයින පුවත්පත්වල රණසිංහ මහතාගේ ජාතිකත්ව ලකුණ ඇත. මේ ජාතිකත්ව ලකුණ පිළිබඳ ව රනිල් වික්‍රමසිංහට එඩ්මන්ඩ් රණසිංහ මහතාගෙන් තවදුරටත් කරුණු දැනගත හැකි ය. අද රනිල් වික්‍රමසිංහ ජාතිවාදය යනුවෙන් හඳුන්වන්නේ මේ ජාතිකත්වය විය යුතු ය. හැකිනම් ජාතිවාදය යනු කුමක් දැයි නිර්වචනය කර ඒ පුවත්පත්වලින් ජාතිවාදයක් නිරූපණය වන්නේ කෙසේ දැයි පැහැදිලි කර දෙන මෙන් රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටිමි. 

මෙරට දෙමළ ජාතිවාදීන් ද ඊනියා රාජ්‍ය නොවන පඬියන් ද සිංහල විරෝධීන් ද කලක් තිස්සේ මේ පුවත්පත් ජාතිවාදී යැයි කියන බව අපි දනිමු. පෘතුගීසීන් ලංකාවට පැමිණි දින සිට ම සිංහල බෞද්ධ ජාතිකත්වයට පහර එල්ල වන්නට විය. රනිල් ට පෘතුගීසීන් පැමිණීමේ පන්සිය වස සැමරීමට වුවමනාවක් 2005 දී වූ බව ද අපි දනිමු. එය මගහැරී ගියේ ඔහුට අගමැති පදවිය අහිමි වීම නිසා ය. 1815 ජනවාරි පෙබරවාරි 18 වැනි දා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගිරිසින්ට පාවා දෙනු ලැබිණි. රනිල්ට සෘජුව ම අභියෝග නොකළත් මහින්ද රාජපක්‍ෂ අගමැති බවට පත්කිරීමේ සටන නුගේගොඩින් ඇරඹුණේ ඉන් හරියට ම අවුරුදු දෙසියයකට පසුව ය. මාර්තු 2 වැනි දාට සිංහල ඉංගිරිසි ගිවිසුම අත්සන් කර අවුරුදු දෙසියයක් පිරෙයි. ආණ්ඩුව එය සැමරීමට කල්පනා කරන්නේ ද?     

තමා නීත්‍යානුකූල ව  අගමැති නොවන බව දන්නා රනිල් අද හැසිරෙන්නේ  ආත්ම විශ්වාසයක් ඇතිව නො වේ. ඔහුට නුගේගොඩ රැස්වීම ප්‍රශ්නයක් වී ඇත් ද? ඒ කෙසේ වෙතත් සිංහලයන්ට දිනාගැනීමට ඇති අයිතිවාසිකම් බොහොමයකි. එ අයිතිවාසිකම් සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට නැති වූයේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි ආක්‍රමණ සමග ය. 1505(6) දී ඇරඹී මේ ක්‍රියාදාමය 1833 ව්‍යවස්ථාදායක මණ්ඩලය පිහිටුවීමත් සමග සෘජු දේශපාලන තලයට පැමිණියේ ය. එදා පටන් ඉංගිරිසිහු සිංහල ජාතිකත්වයට එරෙහි ව දේශපාලනික වශයෙන්  දෙමළ ජාතිවාදය යොදාගත්හ. දෙමළ ජාතිවාදය හතළිස් ගණන්වල දෙමළ බෙදුම්වාදය බවටත් හැත්තෑවේ දශකයෙහි දෙමළ ත්‍රස්තවාදය බවටත් විකාශය විය. මහින්ද රාජපක්‍ෂ 2009 දී නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පැරදවීම සඳහා මානුෂික මෙහෙයුම්වලට දේශපාලන නායකත්වය ලබා දුන්නේ ය. ඒ මෙයෙුම්වලට රනිල් ඇතුළු එ ජා ප නායකයෝ උසුළු විසුළු කළහ. තොප්පිගල කැලෑවක් බවත් අලිමංකඩ යනවා යැයි කියමින් පාමංකඩ යන බවත් ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි බවත් ඔවුන් කීවේ රණවිරුවන් අධෛර්යමත් කර දෙමළ ජාතිවාදයට උඩගෙඩි දීමට ය. ඔවුන්ගේ කතාවලින් දෙමළ ජාතිවාදීහු ද ඒ ජාතිවාදය පිටුපස සිටින ඊනියා උගත්තු ද බටහිරයෝ ද උද්දාමයට පත්වූහ. 

සිංහලයන් බටහිරයන් විසින් නැතිකරනු ලැබූ අයිතිවාසිකම් දිනාගැනීමට කටයුතු කළ යුතු ය. එය සිංහලයන්ගේ අයිතියකි. එ පිළිබඳ පුවත්පත්වලට ලිපි සැපයිය යුතු ය. සිංහලයන්ට එරෙහි ව දෙමළ ජාතිවාදීන් ගෙන යන ව්‍යාපාර ගැන සිංහලයන් දැනුවත් කළ යුතු ය. එය ජාතිවාදී ක්‍රියාවක් යැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ ද? ඉංගිරිසින් සිංහල ජාතිකත්වයට එරෙහිව දෙමළ ජාතිවාදය යොදාගත් ආකාරය මා දිවයින පුවත්පතට ලියූ ලිපිවලින් හා ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා යන පොතෙන් විස්තර කර ඇත. රනිල් වික්‍රමසිංහ ඒ පොත කියවා නැත්නම් රතන හිමියන්ගෙන් හෝ චම්පික රණවකගෙන් හෝ ඒ ඉල්ලා කියවිය හැකි ය. එසේත් නැත්නම් මට එරෙහිව එකල චම්පිකලා ඉදිරියට ගෙන ඒමට තැත්කල, අද එ ජා ප මාධ්‍ය ඒකකයක සිටින සුජිත් අක්කරවත්තගෙන් හෝ ජනමාධ්‍ය ලේකම් කරුණාරත්න පරණවිතානගෙන් හෝ ඉල්ලා ගත හැකි ය. ඔවුන් සියල්ලන් ම ඒ පොත කියවා ඇත.  

රනිල්ලාගේ ජනාධිපති අපේක්‍ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේනට ජනාධිපතිවරණයේ දී සිංහලයන්ගෙන් ඡන්දවලින් ලැබුණේ ආසන්න වශයෙන් 42% කි.  ඒ ඊනියා යහපාලනයක් ගැන ගෙන යන ලද ප්‍රචාරයක් මගින් පඬියන් විසින් ජාතික යැයි  හැඳින්වෙන ප්‍රශ්නය යටපත් කර තිබිය දී ය, ඇමරිකාව අනෙක් රටවල තමන්ට විරුද්ධ නායකයන්ට එරෙහිව සයිබර් යුද්ධයක් යොදාගෙන ඇති අන්දමට මෙරට ද තරුණයන් නොමග යවමින් මහින්දට වීිරුද්ධව සයිබර් අවකාශය යොදාගැනීමෙන් පසුව ය. 

මීළඟ මැතිවරණයේ දී රනිල් පක්‍ෂ නායකයා ලෙස තරග කළහොත් එ ජා පක්‍ෂයට ලැබෙන සිංහල ඡන්ද ප්‍රමාණය ගැන අටුවා ටීකා ලිවීම මගේ අභිප්‍රාය නො වේ. රනිල් ඉරිදා රිවිරට හා ඉරිදා දිවයිනට තර්ජනය කරන්නේ ඒ පුවත්පත් සිංලයන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළහොත් තම ඡන්ද ප්‍රමාණය තවත් අඩුවේ යැයි සිතන බැවින් ද? සිංහලයන්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගීමට ඉඩ නොතැබීම යහපාලනය ද? මාධ්‍ය නිදහස ද? සිංහලයන්ට මාධ්‍ය නිදහස අහිමි ද? එය තිබිය යුත්තේ ඊනියා රාජ්‍ය නොවන පඬියන් ඇතුළු දෙමළ ජාතිවාදින්ට පමණ ද? 

ජාතිවාදී වීමක් ගැන කියමින් ඒ පුවත්පත් දෙකට හා එහි කතුවරුන්ට තර්ජනය කරන  රනිල් උතුරේ මහ ඇමති විග්නේස්වරන්ගේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදී ප්‍රකාශ, යෝජනා අමතක කර දමයි. ඔහු ඒ සම්බන්ධයෙන් කියන්නේ විග්නේස්වරන්ට ඊනියා ජාත්‍යන්තරයෙන් කණේ පහරක් ලැබී ඇති බව ය. කවුරු කණේ පහරක් දුන්නත් නැතත් විග්නේස්වරන්ට විරුද්ධව පියවරක් නොගන්නේ ඇයි? රනිල් ක්‍රියා කරන්නේ කා වෙනුවෙන් ද යන ප්‍රශ්නය මැතිවරණයේ දී පුවත්පත් තහනමක් ඇතිව හෝ නැතිව හෝ රැව් පිළිරැව් නැගීම කිසිවකුටවත් වැළැක්විය හැකි නො වේ.

නලින් ද සිල්වා 

2015 පෙබරවාරි 22

දුෂ්ට මහේන්ද්‍ර හා මිස්ට ප්‍රභා 2 (ඉරිදා රිවිර ලිපියකි )

දුෂ්ට මහේන්ද්‍ර හා මිස්ට ප්‍රභා -2

එළාර පාසල් හා විශ්වවිද්‍යාල ඇති නොකළාට මහාවිහාරය අවනත කරගත් බව පෙනෙයි. එමගින් ඔහු මෙරට ජනමතය රුවන්නට ඇත. ඇතැම් සිංහල බෞද්ධයන් එදා මිස්ට එළාරට පක්‍ෂ වූයේ මෙදා ඇතැම් සිංහලයන් මිස්ට ප්‍රභාට පක්‍ෂ වූ ආකාරයට ය. ඇතැමුන්ට අනුව ප්‍රභාකරන් විමුක්තිදායකයෙක් විය. මේ සියල්ල මතවාදවල ප්‍රතිඵල ය. මා සමසමාජ හා නවසමසමාජ පක්‍ෂවල සාමාජිකයකු ව සිටිය දී මා මෙහෙයවනු ලැබුයේ ට්‍රොට්ස්කිවාදී මතවාද මගිනි. එයට අමතර ව මට බටහිර විද්‍යා මතවාද ද විය. එහෙත් දැනට අවුරුදු තිහකට පමණ ඉහත දී ඒ සියල්ලෙන් කැඩී වෙන්වීමට මට හැකි විය. අද මා මෙහෙයවනු ලබන්නේ මා දකින සිංහල (හෙළ) බෞද්ධ මතවාදයෙනි. එයින් ද කැඩී සියලු මතවාදවලින් නිදහස්වීමට මට අවශ්‍ය වෙයි. එහෙත් ඒ කළ හැක්කේ නිවන් අවබෝධයෙනි.

Saturday, 21 February 2015

ඉන්දියාව මෛත්‍රිපාලට ගරු කරන්නේඇයි ?

ඉන්දියාව මෛත්‍රිපාලට ගරු කරන්නේ ඇයි?

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට ඉන්දියාව ගෞරව කළ බව අපි දනිමු. එහෙත් ඉන් පසු රාජ්‍ය නායකයන් වූ ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග ආදීන්ට ඉන්දියාවෙන් ඒ ගෞරවය නො ලැබිණි. විජේතුංග ජනාධිපති සිටියේ ද කියාවත් ඉන්දියාවට දැන ගැනීමට අවස්ථාවක් නො වී ය. මහින්ද රාජපක්‍ෂ ද ඉන්දියාවේ ගෞරවය දිනාගත් නායකයකු යැයි කිව නො හැකි ය. එහෙත් බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ඉන්දියාවේ ගෞරවයට පාත්‍ර වූයේ මෛත්‍රිපාල සිරිසේන ය. 

බණ්ඩාරනායක මහත්මිය ලංකාව හා ඉන්දියාව අතර තිබූ ප්‍රශ්න රාශියක් සාකච්ඡා මගින් විසඳා ගත්තා පමණක් නොව ඉන්දියාව හා පකිස්ථානය අතර වූ වැදගත් ප්‍රශ්නයක් විසඳීමට ද මැදිහත් වූවා ය. ඇය නොබැඳි ජාතීන්ගේ සම්මේලනයේ සභාපතිනිය ලෙස මහඟූ කාර්යභාරයක් ඉටු කළා ය. ඇයට සත්තකින් ම ඉන්දියාවේ ගෞරවය හිමි විය යුතුව තිබිණි. 

ජේ ආර් බටහිර ගැත්තකු වූ අතර අවසානයේ දී එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ අණ සක පිළිගන්නා තත්ත්වයකට පත් විය. එකල ඉන්දියාව ඩික්සිත් මගින් අප පාලනය කළේ යැයි කීම වරදක් නො වේ. ප්‍රේමදාස ඉන්දියාවට ගරු නොකරන ලද අතර කල්පනාවෙන් ඉන්දු ලංකා සම්බන්ධකම් ඇති කර නො ගත්තේ ය. ඔහු ඉන්දීය ඊනියා සාම සාධක හමුදා යැවීමටට යැයි කියමින් කොටින්ට ආයුධ සැපයී ය. චන්ද්‍රිකා බටහිරට මෙන් ම ඉන්දියාවට ද බය පක්‍ෂපාතීව කටයුතු කළා ය. එහෙත් දුර්වල නායිකාවක් වූ බැවින් ඇයට අඩුම තරමෙන් පැකේජයවත් ක්‍රියාත්මක කිරීමට නො හැකි විය. 

බණ්ඩාරනායක මහත්මියගේ කාලයට වඩා පසුව ලෝක දේශපාලනය වෙනස් විය. බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ ඉන්දියාව ද නොබැඳි රටක් විය. එකල ලෝකයේ කඳවුරු දෙකක් විය. එහෙත් බර්ලින් තාප්පය කඩා වැටීමෙන් පසු බටහිරයෝ එකම බලවත්තු වූහ. ඉන්දියාව ඇමරිකාවට ක්‍රමයෙන් ළඟා විය. 

එහෙත් මහින්ද රාජපක්‍ෂ යුගයේ තත්ත්වය වෙනස් විය. සෝවියට් දේශය වෙනුවට රුසියාවක් බිහි වී තිබුණා පමණක නොව එය ශක්තිමත් රටක් ද විය. අද ඇමරිකාවට යුක්රේනයේ මැදිහත් වීමට අවශ්‍ය නමුත් රුසියාවට විරුද්ධව ක්‍රියා කිරීමට මගක් පෑදී නැත. ඒ සියල්ලට වඩා ආසියාවේ ම ශක්තිමත් චීනයක් බිහි වී ඇත. අද ලෝකයේ නොබැඳි ජාතින්ගේ එකතුවක් නැත. දළ වශයෙන් ගතහොත් ලෝකයේ බල කඳවුරු දෙකක් ඇත. බටහිර රටවල් එක් කඳවුරක ය. චීනය හා රුසියාව තවත් කඳවුරක ය. එහෙත් ඒ රටවල් දෙක අතර පොදු එකඟතාවක් ද නැත.

මේ පසුබිමෙහි   ඉන්දියාව ඇත්තේ බටහිර කඳවුරෙහි ය. එය පෙර මෙන් නොබැඳි රටක් නො වේ. විශේෂයෙන් ම චීනයෙන් එල්ලවන අභියෝගය හමුවේ ඉන්දියාව බටහිරට වඩ වඩාත් සමීප වෙයි. බටහිර රටවල් ලංකාවට විරුද්ධව දෙමළ ජාතිවාදය දෙමළ බෙදුම්වාදය හා දෙමළ ත්‍රස්තවාදය පෝෂණය කළේ ය. බටහිර රටවල් කොටින්ට මූල්‍ය ආධාර ද කළේ ය. කේ පී මේ සියල්ල දනියි. කේ පී වැදගත් වන්නේ ඒ හේතුවෙනි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කවදා නමුත් මේ තොරතුරු කේ පී ලවා ප්‍රකාශ කරවීමට බලා සිටින්නට ඇත. අද රනිල් සිරිසේන ආණ්ඩුවට අවශ්‍ය කේ පී ඒ තොරතුරු ප්‍රකාශ කිරීම වැළැක්වීම ය. ඔහු සිරකර හෝ බලපෑම් ඇතිකර හෝ කේ පී නිහඬ කිරීමට විශේෂයෙන් ම රනිල් ට අවශ්‍ය වෙයි. 

බටහිර රටවල් මෙන් ම ඉන්දියාව ද මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට විරුද්ධ වූයේ එම ආණ්ඩුව දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් බටහිරයන් කී දේට අවනත නොවූ නිසාත් චීනය සමග ආර්ථික සම්බන්ධකම් ගොඩනගා ගැනීමත් නිසා ය. ඉන්දියාවට බටහිර හැරෙන්නට අද වෙනත් පිහිටක් නැත. ගාන්ධිලාගේ ජාතිකත්වයක් නොතිබූ අතර මෝදිගේ ජාතිකත්වය එතරම් දුර දිග යන්නක් නො වේ. එය ඇඳුමෙන් එහාට නොයයි. 

ඉන්දියාව  මෛත්‍රිපාල සිරිසේනට රාජ්‍ය තාන්ත්‍රික ගෞරවයක් පිරිනැමුවේ මේ ආණ්ඩුව බටහිරයන්ට අවශ්‍ය ආකාරයට දෙමළ ජාතිවාදයට කප්පන් දීමට සූදානම් නිසාත් චීනය සමග එතරම් සම්බන්ධතාවක් ඇති කර ගැනීමට අකමැති නිසාත් ය. චීනය නැවතත් සේද මාර්ගයක් (මුහුදු) ඇතිකර ගැනීමට වෙහෙසෙයි. එහි දී කොළඹ වරාය නගරය මෙන් ම හම්බන්තොට වරාය ද වැදගත් වෙයි. ඉන්දියාව මෙන් ම බටහිර රටවල් ද වරාය නගරයටත් හම්බන්තොට වරායටත් විරුද්ධ ය. බටහිරයන්ගේ ඒජන්තයා වූ රනිල් ද විරුද්ධ ය. එහෙත් රනිල් ඒ කිසිවක් ජනතාවට නො කියයි. ජනතාවට ඔහු කියන්නේ දූ’ෂ’ණය හා ඊනියා යහපාලනය ය. රනිල් චන්ද්‍රිකාට වඩා දැඩි නායකයකු බව බටහිර රටවල් දනියි.

ඉන්දියාව මෛත්‍රිපාලට ගරු කරන්නේ ඔහු ඔවුන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියා කරන බැවින් ය. ඔහුට අවසානයේ දී වරාය නගරයට අනුමැතිය දීමට සිදුවුවත් එයත් හම්බන්තොට වරායත් නොවැදගත් වන අයුරෙන් යොදා  ගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත. ඒ අතර දෙමළ ජාතිවාදයට කප්පන් දෙනු ඇත. ඉන්දියාව පමණක් නොව ඇමරිකාව ද මෛත්‍රිපාලට ගරු කරනු ඇත. ඒ රනිල්ට කරන ගෞරවයක් ලෙස ය. ඇමරිකාව දැනටමත් මෛත්‍රිපාලට ඇමරිකාවේ සංචාරයකට ආරාධනා කර ඇති අතර අපට ඔබාමා මෛත්‍රිපාල හමුවක් ද දැක ගැනීමට හැකි වනු ඇත.

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 21

නුගේගොඩ රැස්වීමෙන් පසු (මෙය ඉරිදා දීවයින පුවත් පතෙහි පළ නොවූ ලිපියකි )

ඉරිදා දිවයින පුවත්පතෙහි යම් ආකාරයක වාරණයක් පවතින බව තේරුම් ගත් මම එයට ලිවීම නැවැත්තුවෙමි. එහෙත් දින කිහිපයකට පෙර දුරථනයෙන් මා ඇමතූ එහි ප්‍රධාන කතෘවරයා නැවත පුවත්පතට ලියන මෙන් ආරාධනය කළේ ය. ඒ අනුව මම මේ ලිපිය ඔහුට යැවීමි. එහෙත් එය පළ වී නැත. යහපාලනය යටතේ මාධ්‍ය නිදහස අපි අත්විඳිමු. (මේ ලිපය මෙම වෙබ් අඩවියේ පළ වී ඇති ශ්‍රී ල නි පක්‍ෂය නායකයන්ට ඉදිරියෙන් යන ලිපියෙහි විස්තීරණයක් බව කරුණාවෙන් සලකන්න)

නුගේගොඩ රැස්වීමෙන් පසු

පසුගිය බදාදා නුගේගොඩ පැවති රැස්වීම දශක දෙකකට පමණ පසුව එහි වැඩිම ජනකායක් සහභාගි වූ රැස්වීම විය. එ ජ නි සංධානයේ පක්‍ෂ කිහිපයක් එක්විමෙන් සංවිධානය කරන ලද එම රැස්වීම පාර්ලිමේන්තුවේ සැබෑ විපක්‍ෂවල රැස්වීමක් යැයි කිව හැකි ය. අද පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ විපක්‍ෂය ද, සැබෑ විපක්‍ෂය ද යනුවෙන් විපක්‍ෂ දෙකක්  වෙයි. ආණ්ඩුවේ විපක්‍ෂ නායකයා නිමල් සිරිපාල මහතා වෙයි. ඒ විපක්‍ෂයේ සංවිධායක ජෝන් සෙනෙවිරත්න මහතා ය. සැබෑ විපක්‍ෂයේ නායකයා දිනේශ් ගුණවර්ධන මහතා වන අතර සංවිධායක විමල් වීරවංශ මහතා වෙයි. 

එ ජ නි සංධානයේ ප්‍රධාන පක්‍ෂය වූ ශ්‍රී ල නි පක්‍ෂයේ අති විශාල බහුතරය සැබෑ විපක්‍ෂය සමග වන බව පැහැදිලි ය. සාමාන්‍ය පාක්‍ෂිකයන්ගේ හා අනුගාමිකයන්ගේ සිට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් දක්වා තත්ත්වය එබඳු ය. එහෙත් එය වැඩියෙන් ම දක්නට ඇත්තේ සාමාන්‍ය පාක්‍ෂිකයාගේ මට්ටමේ ය. අඩුවෙන් ම දක්නට ඇත්තේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් අතර ය. නුගේගොඩ රැස්වීමට බස්නාහිර පළාත් සභාවේ ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් ඉතා විශාල බහුතරය ප්‍රසන්න රණතුංග මහතාගේ නායකත්වයෙන් සහභාගි වූ අතර පාරලිමේන්තු මැති ඇමතිවරුන් ඒ ප්‍රතිශතයෙන් දැකගත නො හැකි විය. එසේ වුවත් ශ්‍රී ල නි ප ඇමතිවරු (ඔවුහු තවමත් ඇමතිවරු වෙති. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව නීත්‍යානුකූල ව පත්වූවක් නො වේ) යම් පිරිසක් රැස්වීමට සහභාගි වූහ.

ශ්‍රී ල නි පක්‍ෂයේ ස්වභාවය අනුව එය පහත සිට උඩට ක්‍රියාත්මක වන පක්‍ෂයකි. අද පක්‍ෂයේ පහත මට්ටම සම්පූර්ණයෙන් ම ඇත්තේ සැබෑ විපක්‍ෂය සමග ය. එහෙත් උඩ නායකත්වයේ කිහිප දෙනකු ඇත්තේ ආණ්ඩුවේ විපක්‍ෂයේ ය. ආණ්ඩුවේ විපක්‍ෂය ක්‍රියාත්මක වන්නේ විධායක ජනාධිපති බලතලවල පිහිටෙනි. ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ය. ඔහු සභාපති වූයේ ද විධායක ජනාධිපති බලතල යොදාගනිමින් මිස පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව  නො වේ. පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව නම් අද ශ්‍රී ල නි පක්‍ෂයට සභාපති කෙනකු නැත. 

හිටපු සභාපති මහින්ද රාජපක්‍ෂ මහතා තම දේශපාලන ජීිවිතයේ කරන ලද ලොකුම වරද කරමින් ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකමින් ඉල්ලා අස්විය. ඉන්පසු මෛත්‍රිපාල සිරිසේනට පක්‍ෂයේ සභාපති වීමට කිසිම අයිතියක් නො තිබිණි. පසුගිය ජනවාරි මුල නිමල් සිරිපාල මහතා ද ඒ බව දැන සිටියේ ය. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වූයේ ශී්‍ර ල නි පක්‍ෂයෙන් හෝ ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නො වේ. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති වීමට පක්‍ෂ ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. එහෙත් ඔහු විධායක බලතල යොදා ගනිමින් මන්ත්‍රීවරුන්ට අනියම් බියක් ඇති කරමින් පක්‍ෂ සභාපතිවරයා විය. ශ්‍රී ල නි ප ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මීළඟ මැතිවරණයේ දී නාමයෝජනා ලැබේ ද යන්න ප්‍රශ්නයක් වී ඇත. ඔවුන් පළමුව ඒ පිළිබඳ කල්පනා කිරීම පෘථග්ජන ධර්මතාවකි. 

නුගේගොඩ රැස්වීමට ශ්‍රී ල නි ප නායකත්වය හා ජාතික හෙළ උරුමය (ආණ්ඩුවේ ඉන්දීය පිළ) වැඩිකල් නොගොස් ම පිළිතුරු දෙනු ඇත. එය ඇතැම්විට තවත් රැස්වීමක විය හැකි ය. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය හා දේශපාලන බලය ඔවුන් සතු ය. අද සාමාන්‍ය අයකුට කළ හැක්කේ ඉතාමත් සීමිත දේශපාලනයකි. මෙරට දේශපාලනය ඇමරිකාවේ දේශපාලනයේ තත්ත්වයට පත් වී ඇත. විශාල ධනස්කන්ධයක් නොමැතිව පංචස්කන්ධවලට අද දේශපාලනයේ නිරත විය හැකි නො වේ. කොල්වින් ආර් ද සිල්වා මහතා වරක් ස්වාධීන අපේක්‍ෂකයන් හැඳින්වූයේ ඔළු තුනේ බූරුවන් ලෙස ය. අද මුදල් නොමැති ව ස්වාධීන ව දේශපාලනයේ යෙදීමට බූරුවන්ට ද නො හැකි ය.     

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැබුණේ මූලික වශයෙන් එ ජා ප, දෙමළ හා මුස්ලිම් ඡන්ද ය. ශ්‍රී ල නි ප ඡන්ද  ලැබුණේ මහින්ද රාජපක්‍ෂට ය. ශ්‍රී ල නි පක්‍ෂය ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා වටා මිස මෛත්‍රිපාල සිරිසේන මහතා වටා නො වේ. නුගේගොඩ රැස්වීමෙන් හෙළි වූ ප්‍රධාන කරුණ නම් ශ්‍රී ල නි ප සාමාන්‍ය සාමාජිකත්වයට හා සංධානයේ බොහෝ පක්‍ෂවලට මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස අවශ්‍ය බව ය. මහින්ද රාජපක්‍ෂ මහතා රැස්වීමට පණිවුඩයක් එවමින් කියා සිටියේ රැ්ස්වීමේ අභිලාෂයන්ට තමන්ට පිටු පෑ නොහැකි බව ය. තමන් රැස්වීමේ දික්කරන දෑත් තරයේ වැළඳ ගන්නා බව ද පණිවුඩයේ සඳහන් විණි. 

අද මෛත්‍රිපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග සීතල යුද්ධයක යෙදී සිටින බව පැහැදිලි ය. රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය එ ජා ප කැබීනට් මණ්ඩලයකි. ඔහු ආරක්‍ෂක රාජ්‍ය ඇමති ලෙස තම බෑණා කෙනකු වන රුවන් විජේවර්ධන මහතා පත් කළේ ය. එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතා විධායක බලතල යොදා රුවන් බෑණාගේ බලතල කපා දමා ඇත. රජිව් විජේසිංහ සිද්ධිය ද ඇතැම් විට දුර දිග යා හැකි ය. මෛත්‍රිපාල සිරිසේන මහතාට රතන හිමියන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහය ලැබෙයි. රනිල් වික්‍රමසිංහ මහතාට බටහිරයන්ගේ සහාය ලැබෙයි. බටහිරයන් හා ඉන්දියාව බොහෝ විට එකට සිටියත් ඇතැම් ප්‍රශ්නවල දී විරුද්ධ මත දරයි. අපේ ආරක්‍ෂක අමාත්‍යාංභය අප රටට මෙන් ම ඉන්දියාවට හා බටහිරට ද වැදගත් ය.

මෛත්‍රිපාල සිරිසේන මහතාට රනිල් වික්‍රමසිංහ මහතා සමග කරන යුද්ධයේ දී රතන හිමියන්ගේ සහාය පමණක් ප්‍රමාණවත් නො වේ. දින සියය කිනම් ආකාරයකින් නමුත් ගෙවී ගියත්, යම් අයුරකින් මැතිවරණයෙන් එ ජා ප ජයගතහොත් රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ එක ම බලධාරියා වනු ඇත. මෛත්‍රිපාල සිරදසේන මහතා ජනාධිපති බලතල සහිත ව වුවත් එහි දී අසරණ වනු ඇත. ඔහුට අල්ලපු අත්ත මෙන් ම පයගහපු අත්ත ද නැති වනු ඇත. 

ශ්‍රී ල නි පක්‍ෂයේ අනෙක් ඉහළ නායකයන්ට මෙන් ම මෛත්‍රිපාල සිරිසේන මහතාට ද මැතිවරණයෙන් පසු ආරක්‍ෂාව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමෙනි. මෙහි දී පක්‍ෂ නායකත්වය කළ යුත්තේ පක්‍ෂ සාමාජිකත්වය අනුගමනය කිරීම ය. එය ශ්‍රී ල නි පක්‍ෂ සම්ප්‍රදායට විරුද්ධ නො වේ. ශ්‍රී ල නි පක්‍ෂයේ ද රටේ ද ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රී ල නි පක්‍ෂයට ගතහැක්කේ එක් මගක් පමණකි. ඒ මග ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාට සංධානයේ අගමැති අපේක්‍ෂකන ලෙස තරග කරන ලෙස ආරාධනය කිරීම ඔස්සේ ය. සුසිල් ප්‍රේමජයන්ත මහතා කියන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා තමා අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත්වන බව දන්වා නොමැති බව ය. මේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් සෙවීමකි. මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩු පිහිටුවීම ව්‍යාජයක් පමණකි. ඊනියා ජාතික ආණ්ඩුවක් යනු එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවකි. නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ හා අවට රැස්වු අති විශාල ජනතාවට ජාතික ආණ්ඩු බොරුව අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති  වූ ආණ්ඩුවකි. මෛත්‍රිපාල සිරිසේන චම්පික රණවක රතන හිමි කල්ලිය එයට විරුද්ධව යන්නේ නම් එයින් කියැවෙන්නේ ඔවුන්ට අවශ්‍ය එ ජා ප ආණ්ඩුවක් බව ය.

නලින් ද සිල්වා 

2015 පෙබරවාරි 21

මෛත්‍රිපාලට විකල්පයක් ඇත

මෛත්‍රිපාලට විකල්පයක් ඇත

පැහැදිලිව ම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරයේ වෙනසක් සිදු වී ඇත. ඔහු අද හැසිරෙන්නේ චණ්ඩියකු විලසිනි. ඔහුූට ඔහු ගැන ම විශ්වාසයක් නැත. විසිනව වතාවක් ම පැරදීත් රනිල් සංයමයකින් ක්‍රියා කළේ ය. එහෙත් ඔහුට අද ඒ සංයමය නැත. තමා අගමැති වී  සිටින්නේ ව්‍යවස්ථා විරෝධී ව බව ඔහු දනියි. ජනවාරි 8 වැනි දා ජනතාව ඡන්දය දුන්නේ ජනාධිපතිවරයකු පත්කර ගැනීමට මිස ආණ්ඩුවක් පිහිටුවීමට නොවන බව ඔහු දනියි. ඔහු අගමැති වූයේ පස්සා දොරෙනි. ඒ බව අපි මේ වෙබ් අඩවියේ පළ ව ී ඇති ලිපි කිහිපයකින් ම ප්‍රකාශ කළෙමු. රනිල්ට තම අගමැතිකම ගැන විශ්වාසයක් නැත. ඔහු චණ්ඩිකමෙන් ඒ රැකගැනීමට උත්සාහ කරයි. 

මේ ආණ්ඩුව අද ක්‍රියාකරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති පරිද්දෙනි. ආණ්ඩුව ව්‍යවස්ථාව සත පහකට ගණන් නො ගනියි. රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරන්නේ ඔහු බලෙන් ලබාගත් අගමැතිකම තවදුරටත් තබා ගැනීමට ය. ශ්‍රී ල නි පක්‍ෂය ආණ්ඩුවට සහාය නොදුන්නොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ඔහු තර්ජනය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නො හැකි ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ජනාධිපතිවරයාට ය. ඇතැම් විට ළඟ දී ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අගමැතිගේ උපදෙස් පරිදි ක්‍රියාකළ යුතු ය යනුවෙන් වගන්තියක් ඇතුළත් කිරීමට රනිල් සිතා සිටිනවා විය හැකි ය. එවැනි වගන්තියක් ඇතුළත් කිරීමට දැනට සහාය නොදීම ශ්‍රී ල නි පක්‍ෂයේ වගකීමක් වෙයි. අවශ්‍ය නම් පසුව එවැනි වගන්තියක් ඇතුළත් කරගත හැකි ය.

මෛත්‍රිපාල සිරිසේන කාගේ ඡන්දයෙන් ජනාධිපති වුවත් අද ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ය. ඔහුට පක්‍ෂය රැක ගැනීමට ද සිදුවෙයි. ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු නො වේ. ආණ්ඩුවේ විපක්‍ෂ නායක වූ නිමල් සිරිපාල ජෝන් අමරතුංගට විරුද්ධ ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව අප කියා සිටි පරිදි ම විවාදයට නොගැනීමට ආණ්ඩුව සමග එකඟතාවක් ඇතිකර ගෙන ඇති බව පෙනෙයි. ශ්‍රී ල නි පක්‍ෂයත් සංධානයේ අනෙක් පක්‍ෂත් වහාම ඒ විවාදයට ගැනීමට බලකළ යුතු ය.

එහි දී ආණ්ඩුව පරාජය කර ශ්‍රී ල නි පක්‍ෂය ජනාධිපතිගෙන් ඉල්ලා සිටිය යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා නොහැර තමන් යෝජනා කරන්නකු අගමැති තනතුරට පත්කරන ලෙස ය. එය මෛත්‍රිපාල රටට පොරොන්දු වී ඇති දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බාධාවක් නො වේ. කෙසේ වෙතත් දින සියයේ වැඩ සටහන නිසි අයුරෙන් ක්‍රියාත්මක නොවන බව ද මතක්කර දිය යුතු ය. 

පසුගිය දා නුගේගොඩ රැස් වූ ජනතාව කියා සිටින්නේ ශ්‍රී ල නි පක්‍ෂයට එ ජා ප විරෝධී වැඩ පිළිවෙළකට වහාම අවතීර්ණ වන ලෙස ය. තවදුරත් මේ නීති විරෝධී, සිංහල විරෝධී, යටත්විජිතවාදී බටහිර ගැති ආණ්ඩුව පවත්වාගෙන යෑමට ඉඩ නොදිය යුතු ය. පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පිහිටා ආණ්ඩුව ගෙදර යැවීමට හැකි ය. පාර්ලිමේන්තුවට ආණ්ඩුව විසුරුවා හැරිය හැකි ය. එහෙත් රනිල්ට තවමත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නො හැකි ය. ඔහු ඒ බලය ලබාගැනීමට උත්සාහ ගැනීමට පෙර ආණ්ඩුව විසුරුවා හැරිය යුතු ය.

නලින් ද සිල්වා 

2015 පෙබරවාරි 21

Friday, 20 February 2015

කඳවුරු ඉවත් කිරීම

කඳවුරු ඉවත් කිරීම

පලාලි කඳවුර අවට අක්කර දහසක් ඇතුළු තවත් කඳවුරු කිහිපයකට අයත් ඉඩම් බෙදා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. කඳවුරු අවශ්‍ය වන්නේ රටේ ආරක්‍ෂාව සඳහා ය. රට සම්පුර්ණයෙන් ම ආරක්‍ෂිත නම් විශේෂ කඳවුරු එකක්වත් අවශ්‍ය නැත. එහෙත් අපට ප්‍රශ්නය වී ඇත්තේ රටේ ආරක්‍ෂාව ගැන ආණ්ඩුවට සහතිකයක් දිය හැකි ද යන්න ය. රටේ ආරක්‍ෂාව ගැන තම ජනාධිපතිවරණ ප්‍රකාශයේ වචනයක්වත් සඳහන් නොකළ මෛත්‍රිපාල සිරිසේනට වඩා වැදගත් වන්නේ ජනාධිපතිකම ආරක්‍ෂා කර ගැනීම බව අපි දනිමු. විශේෂයෙන් ම මහින්ද රැල්ලක් ඇති වී තිබෙන විට ජනාධිපතිකම ආරක්‍ෂා කරගැනීම වැදගත් වෙයි. එයට අමතර ව රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ධුරයේ තටු කපා ඒවා අගමැති ධුරයට සවි කිරීමට අර අඳිමින් සිටියි.

නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු බෝම්බ පිපිරීම් නතර වීමට එක් හේතුවක් නම් ආරක්‍ෂක අමාත්‍යාංශය හා බුද්ධි අංශය ඒ ගැන පරීක්‍ෂාවෙන් සිටීම ය. හමුදා කඳවුරු ද එහි දී ප්‍රයෝජනවත් විය. පලාලේ කඳවුර නොවන්නට කොටින්ට පලාලේ ගුවන් තොටුපළට යන එන ගුවන් යානාවලට වෙඩි තැබීම ප්‍රශ්නයක් නොවන බව අතීත අත්දැකීමෙන් කිව හැකි ය. 

මෙරට තවමත් දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන් ම රනිල් සිරිසේන ආණ්ඩුව පත්වීමෙන් පසු දෙමළ ජාතිවාදීහු පෙරට පැමිණ සිටිති. අද උතුරු පළාත් මහා ඇමති විග්නේස්වරන් ක්‍රියා කරන්නේ වඩුකොඩෙයි යෝජනාවලට ආපසු යෑමට ය. දෙමළ ත්‍රස්තවාදය නැවතත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම දෙමළ ජාතික සංධානය විසින් සකස් කෙරෙමින් පවතියි. ඒ අතර බටහිර රටවල් හා ඉන්දියාව තමන්ට සුපුරුදු ආකාරයට නැවතත් සිංහල ජාතිකත්වයට එරෙහි ව ක්‍රියා කරයි. 

රටේ ආරක්‍ෂාව ගැන සැලකිල්ලක් දක්වන ආණ්ඩුවක් කඳවුරු ඉවත් කිරීමට පෙර දෙමළ ජාතිවාදය පරාජය කිරීමට සිත යොමු කරනු ඇත. එහෙත් මේ ආණ්ඩුව එසේ නො කරයි. ඔවුහු බටහිරයන් සමග එකතු වී ඊනියා මානව අයීිතිිවාසිකම් කඩ කිරීම් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට කටයුතු කරති. හමුදාව අධෛර්යමත් කරති. පසුගිය ආණ්ඩුව බටහිරයන්ට අවශ්‍ය අන්දමට කටයුතු නොකළ බැවින් බටහිරයෝ අපට විරුද්ධව ව්‍යාජ මානව අයිතිවාසිකම් කඩවීම් චෝදනා ඉදිරිපත් කළහ. අද ඒ යෝජනා ඉදිරිපත් කිරීම කල් දමා ඇත්තේ ආණ්ඩුව බටහිරයන්ට දෙමළ ජාතිවාදයට හා කොටින්ට උඩගෙඩි සපයමින් කප්පන් දී ඇති බැවිනි. මංගල සමරවීර හා විජිත හේරත් මානව අයිතිවාසිකම් කඩවීම් ගැන කතාකරන්නේ රටට පක්‍ෂව නොවන බව පැහැදිලි ය. 

දින සියය ඇතුළත මේ සියල්ල කරන රනිල් වික්‍රමසිංහ මහා මැතිවරණයෙන් බලයට පැමිණියහොත් කුමක් කරනු ඇත් දැයි සිතාගත හැකි ය. කඳවුරු ඉවත් කිරීම පිළිබඳ නිමල් සිරිපාල වැනි පාරාජික ශ්‍රී ල නි ප නායකයන් කියන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තෙමු.  


නලින් ද සිල්වා

2015 පෙබරවාරි 20

නුගේගොඩට පැමිණියේ කවු ද?

නුගේගොඩට පැමිණියේ කවු ද?

පසුගියදා නුගේගොඩ පැවති රැස්වීමට පැමිණියෝ කවරහු ද? විවිධ අය ඒ සම්බන්ධයෙන් විවිධ කරුණු කියති. ඒ අතර රැස්වීම පැවැත්වීමේ ගෞරවය තම තමන් වෙත දිනාගැනීමට ඇතැම්හු කටයුතු කරති. ඒ රැ්ස්වීමට පැමිණි අය අතර අති විශාල බහුතරය මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් අය වෙති. එයට අමතර ව මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දුන්් පිරිසක් ද වූහ. ඒ දෙවනු කී අයගෙන් යම් පිරිසක් තමන් කළ වරද ගැන දැන් පසුතැවිලි වෙති. අපට ඔවුන්ට කීමට සිදු වී ඇත්තේ ගිය නුවණ ඇතුන් (අලින්) ලවාවත් ඇද්දවීමට බැරි බව ය. 

මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දුන් අයගෙන් සමහරු වෙනසක් පතා එසේ කළහ. ඒ වෙනස ඇති වී තිබේ. අද උතුරු පළාතේ මහ ඇමති විග්නේස්වරන් ක්‍රියා කරන්නේ කොටියකු ලෙස ය. අද අලින් සහ කොටින් එකතු වී ඇත. ඔවුන් සියල්ලන් පසු පස බටහිරයෝ සිටිති. සිදු වී ඇති වෙනසක් අනුව අප කල් තබා කී පරිදි ම මාර්තු මාසයේ ජෙනීවා සමුළුවට ඉදිරිපත් කිරීමට තිබූ ඊනියා මානව හිමිකම් කඩවීමේ වාර්තාව සැප්තැම්බර් දක්වා කල්දමා ඇත. එයින් මැතිවරණයේ දී එ ජා පක්‍ෂය තම ඊනියා නිවැරදි (එනම් බටහිර හා ඉන්දීය ගැති) විදේශ ප්‍රතිපත්තිය ගැන කියවා වාසි ලබාගැනීමට උත්සාහ දරනු ඇත. එහෙත් ඔවුන් නොකියන කරුණ වනුයේ දැනට අභ්‍යන්තර පරීක්‍ෂණයකට පමණක් සීමා කරන්නේ යැයි කියන ඊනදයා මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මැතිවරණයෙන් පසු ජාත්‍යන්තර පරීක්‍ෂණයකට ලක්කෙරෙන බව ය. 

නුගේගොඩ රැස්වීමට බස්වලින් සෙනග පැමිණියේ යැයි රාජිත සේනාරත්න නම් සිංහල බෞද්ධ විරෝධී ඇමති කියයි. ජනතාව බස්වලින් පැමිණෙන්නේ නැතිව රාජිතලා ගමන් බිමන් යන ආකාරයෙන් කාර්වලින් පැමිණෙන්න ද? ජනතාවට ලංගම බස් නොලැබුණු බවට අපි මැසිවිලි නො කියමු. රාජිත දැනටමත් පරාජිත වී ඇති බව පැහැදිලි ය. 

කෙසේ වෙතත් රාජිතටත් වෙනත් එවැනි පාරාජික වූ ශ්‍රී ලංකා කාරයන්ටත් දැනගැනීම පිණිස කිව යුත්තේ නුගේගොඩට බස්වලින් පැමිණියේ රට බෙදීමට විරුද්ධ ජනතාව බව ය, රටේ ඒකීයභාවය ආරක්‍ෂා කළ යුතු යැයි කියන්නන් බව ය, දෙමළ ජාතිවාදයට විරුද්ධ අය බව ය, දෙමළ බෙදුම්වාදයට විරුද්ධ අය බව ය, දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ ව පුවත්පත් නිවේදන හා පුවත්පත් සාකච්ඡාවලට පමණක් සීමා නොවී හදපත්ලෙන් ම සතුටුවන අය බව ය, පාරාජික ශ්‍රී ලංකා කාරයන් පක්‍ෂයෙන් එළවා දැමිය යුතු යැයි කියන්නන් බව ය, සිංහල බෞද්ධ විරෝධී ජනවේග කල්ලියකට තව දුරටත් ශ්‍රී ල නි පක්‍ෂයේ ඉඩ නොදිය යුතු ය කියන්නන් බව ය, දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වූවන් බව ය, පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල දීමට විරුද්ධ වූවන් බව ය, ඊනියා මානව හිමිකම් කඩවීම් ගැන අභ්‍යන්තර හෝ බාහිර හෝ පරීක්‍ෂණවලට විරුද්ධ වූවන් බවය, මහින්්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ හා රණවිරුවන් දංගෙඩියට යැවීමට විරුද්ධ වූවන් බව ය, රුපියල් දහදාහට කහකුඩුවලට රට පාවා නොදෙන්නවුන් බව ය, රටේ ආරක්‍ෂාව බඩේ ආරක්‍ෂාවට වඩා වැදගත යැයි සිතන්නන් බව ය, ….. .. .. .. .. .. .. .. 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 20